පොලී ගින්න

649

මේ රටේ සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචි වීම සහ අධීක්‍ෂණය වීම අනිවාර්ය කරමින් පෙරේදා නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව අපට වැටහෙන්නේ මේ රටේ මුදල් කර්මාන්තයට සම්බන්ධ ආයතන විශාල ප්‍රමාණයක් බලපත්‍ර නැතිව කටයුතු කරන බවය. බලපත්‍ර නැතිව කරන කටයුත්ත කසිප්පු හෝ කුඩු වෙළෙඳාමට සමාන වෙයි. මේ දෙකටම බලපත්‍ර නැත. මේ දෙකම ගසන එකා අගතියට පත්වේ. එහෙත් ඒවා විකුණන එවුන්ට බලපත්‍ර නැති නිසා වික්ක එකා මොකාදැයි සොයා ගැනීමට නොහැක. අවසන් ඵලයේදී බලපත්‍ර නැති ජාවාරම්කරුවාත් ගොඩ යන අතර ඔහු විකුණන දේවල් පහරිහරණය කර අගතියට පත්වන එකා පරලෝකප්‍රාප්ත වීමට බලපත්‍ර ලබයි. මුදල් වෙළෙඳපොළ යනු ඉතාම සංවේදී තැනකි. ලංකාවේ මුදල් වෙළෙඳපොළ ගැන මේ රටේ ජනතාවට කිසිදු දැනුමක් නැත. මේ දැනුම නැතිකම නිසා සක්විති රණසිංහලාත්, තිළිණි පියුමාලිලාත්, දඬුවම් මුදලාලිලාත් බිහිවූහ. අදටත් කවුරුහරි හොරෙක් පොලිය කීයක් හරි වැඩියෙන් දෙනවා යැයි කී පමණින් අපේ මිනිස්සුන් කකුල් දෙකේ දමන සෙරෙප්පු දෙක පවා විකුණා ඒ වැඩි පොලීකාරයා ගාව සල්ලි තැම්පත් කරයි. මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට නැවතත් කාලය එළඹී ඇත. නැවත වතාවක් හොර ෆිනෑන්ස් සමාගම් රට පුරා හිස ඔසවන්නට පටන්ගෙන තිබේ. ශුද්‍ර මූල්‍ය ආයතන නමින් හැඳින්වෙන සිල්ලර කඩ හැම තැනම බිහිවී තිබේ. මේ සිල්ලර කඩවල ප්‍රමුඛ කාර්ය වන්නේ ගෙවීමේ ක්‍රමයට මෝටර් සයිකල් ලබාදීමය. රුපියල් ලක්‍ෂයක් ගෙවා මෝටර් සයිකලය ගෙදර ගෙනයා හැකි අතර වාරිකය ගෙවීමට අපොහොසත් වූ පළමුවෙනි අවස්ථාවේදීම මෝටර් සයිකලය කොල්ලකෑමට ශුද්‍ර මූල්‍ය ආයතනකාරයෝ කටයුතු කරති.

ලෝකයේ සෑම සංවිධානාත්මක ආර්ථිකයක්ම මෙහෙයවනු ලබන්නේ බැංකු මගිනි. සෝමාලියාවේ මූදු කොල්ලකාරයන් පාලනය කරන ප්‍රදේශවලත් උත්තරධ්‍රැවයේ සහ දක්‍ෂිණධ්‍රැවයේ හැර ලෝකයේ හැම තැනකම බැංකු තිබේ. කිසියම් රටක බැංකුවේ බලයට වැඩි බලයක් ගිනි පොලීකාරයන් අතට ගියොත් එතැනදී ආර්ථිකයේ ට්‍රැක් එක පැනීමට පුළුවන. ගිනි පොලීකාරයන් අතට රටේ මුදල් පාලනයේ බලය ලැබීම ඉතා භයානකය. සාමාන්‍යයෙන් ගිනි පොලීකාරයා සල්ලි පොලියට දෙන්නේ මාසයකට 20% රේට් එකටය. යම්කිසි විධියකින් ඇපයක් තියාගත හොත් ඒ රේට් එක 15% දක්වා අඩු කිරීමට ගිනි පොලීකාරයා සූදානම්ය. එහෙත් ලංකාව වැනි දුප්පත් රටක ආර්ථිකයේ පහළ ස්ථරයට 20%ක් හෝ 15%ක පොලී රේට් එකක් මාසයකට දැරිය නොහැක. මේ අනුව රුපියල් සියයක් පොලියට ගත් මිනිහා අවුරුද්දකට පොලිය පමණක් රුපියල් 240ක් ගෙවිය යුතුය. ණය ගත් රුපියල් සියය මෙයට එකතුවූ විට එම ගණන රුපියල් 340ක් වේ. අපේ රටේ පොලීකාරයන් ණය ගැතියාගේ ගෙදර තිබෙන ටීවී එක, කරාබු කුට්ටම, චේන් පොට, ගෙදර ඉඩමේ ඔප්පුව, මෝටර් බයිසිකලයේ පොත යන ඕනෑම දෙයක් ඇපයට තබා ගනිති. සාමාන්‍යයෙන් මාස 3ක් ඇතුළත ණය හා පොලිය ගෙවීමට බැරිවුණොත් ඇපය සින්න කරගනු ලැබේ. මේ තත්ත්වයට ඇති හොඳම විසඳුම සංවිධානාත්මක ශුද්‍ර මූල්‍ය ආයතන ක්‍රමයක් රටට හඳුන්වා දීමය. එහෙත් ශුද්‍ර මූල්‍ය ආයතනයක් ලියාපදිංචි කළ යුතු බැවින් ද ඒවායේ ආදායම්වලට ටැක්ස් ගෙවිය යුතු බැවින් ද එවැනි ආයතන නීත්‍යානුකූලව ඇරැඹීමට කවුරුත් සූදානම් නැත. මේ රටේ බහුතරය හොරකමටම පුරුදු වූ ජාතියකි. එබැවින් ඔවුහු සොරකමෙහිම වෙලී ජීවත් වෙති.

ලංකාවේ නූතන ෆිනෑන්ස් කොම්පැණි ක්‍රමය ද අන්ත දූෂිතය. ප්‍රධාන ෆිනෑන්ස් සමාගම් පවා පාරිභෝගිකයන් කොල්ල කති. ෆිනෑන්ස් පහසුකම් ලබාගත් දේපළත් වාරික ගෙවාගත නොහී ඇරියස් වූ විට පැහැරගෙන යෑම තහනම්ය. එම දේපළ අත්පත් කරගැනීම සඳහා අධිකරණ ක්‍රමවේදයක් තිබේ. ආණ්ඩුව මොන තරම් නීති හැදුවත්, මොන තරම් ආර්ථික දේශන පැවැත්වුවත් ඒවා තඹ සල්ලියකට ගණන් නොගන්නා සීසර්ලා අදටත් පාරට පැන රියැදුරන් බෙල්ලෙන් අල්ලා ඇද දමා වාහන කොල්ලකති. රටක් දියුණු වන විට සියල්ලම දියුණුවිය යුතු නමුත් මංකොල්ලකෑම සහ සොරකම දියුණුවිය යුතු නැත. අද මේ රටේ මූල්‍ය කර්මාන්තයේ පහළ ස්ථරය තනිකරම මංකොල්ලකාරයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ක්‍ෂණික පියවරක් ගැනීම ආණ්ඩුවේ වගකීමය.

advertistmentadvertistment
advertistmentadvertistment