පොසොන් පොහෝ දා හොල්මන් මන්දිර තහනම් කරන්න

177

මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියෝ බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත ලියති

උතුම් පොසොන් පොහෝ දා විකාරරූපී හොල්මන් මන්දිර ප්‍රදර්ශනය තහනම් කිරීමට කටයුතු කරන ලෙස, අස්ගිරි විහාර පාර්ශ්වයේ පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් හා පොලිස්පතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

උන්වහන්සේ යවා ඇති ලිපියේ මෙසේ ද සඳහන් වේ.

පොසොන් පෝයදා සිදුවූ මහින්දාගමනය නිසා ලංකාවේ සමාජයීය, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික යනාදී විවිධ අංශ කෙරෙහි බුදුසමයේ බලපෑම ලැබිණ. මිහිඳු මහරහතන් වහන්සේ එදා අපේ රටේ ජනතාවට ඉදිරිපත් කළ සමාජයීය, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ඉගැන්වීම් අපේ ජනතාවගේ ඇට, මස්, ලේ, නහර තුළ අදටත් කාවැදී තිබේ. එදා පටන් අපේ රජවරු මෙන්ම ජනතාව ද බුදුදහම රැකගත්තේ දිවි දෙවැනි කොටය.

සමස්ත ලාංකිකයන්ටම බුදුසමයේ බලපෑම ලැබීම නිසා ලක්වැසි සැමගේ ජීවිත ආලෝකවත් විය. තමන් කතෝලික වුවත්, තමන් හැදුණේ බෞද්ධ සංස්කෘතිය තුළ යැයි මර්සලින් ජයකොඩි පියතුමා පවා මෑතකාලීනව ප්‍රකාශ කළේ මේ නිසාය.

මේ තරම් උතුම් දහමක්, දර්ශනයක් හඳුන්වා දුන් උතුම් වූ පොසොන් පෝය සැමරීමට, රටේ සමහර විහාරස්ථාන හා සංවිධාන කේන්ද්‍ර කරගෙන හොල්මන් මන්දිර වැනි විකාර සංදර්ශන පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත. මෙවැනි හොල්මන් මන්දිර වැනි විකාර ක්‍රියාවන් මෙවන් උතුම් පෝයකට කිසිසේත්ම නොගැළපෙන්නකි.

එය ළමා පරපුරට වැරදි පූර්වාදර්ශයක් දීමකි. පොසොන් පෝය යනු හොල්මන් මන්දිර පෙන්වන පෝයක් යන මතය දරුවන් තුළ හටගැනීමට ද ඉඩ තිබේ. මේ නිසා මෙවර පොසොන් පෝයට හොල්මන් මන්දිර කඩිනමින් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.


advertistmentadvertistment