පෝදා සිතුවිලි – වප් පොහොය අදයි

192

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිකාරි උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැළපනාවේ ධම්මජෝති නාහිමි

ශාසන ඉතිහාසය වැදගත් සිද්ධි රැසක් සිදු වූ වප් පුරපසළොස්වක පොහොය ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහෝ දිනයකි. බෞද්ධ ජනතාව වප් පුරපසළොස්වක පොහොය චීවර පෝය ලෙස ද හඳුන්වයි.

පෙරවස් සමාදන් වූ භික්ෂුන් වහන්සේලා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝදා සිදුවූ ප්‍රධාන කරුණකි.

පෝදා සිතුවිලි - වප් පොහොය අදයි

බෞද්ධ ජනතාවට වප් පෝය විශේෂයක් වන්නේ භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වීම අවසන් වන හෙයිනි.‘වස්සානේ වස්සං උපගන්තුං’ යන බුද්ධ නියමයට අනුව උපසම්පදා භික්ෂුන් වහන්සේලා ඇසළ පුන් පොහෝ දින පොහොය කර අව පෑළවිය දවසේ පෙරවස් සමාදන්ව වස් තෙමස අවසන්ව මහා පවාරණය සිදු කරන්නේ මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයි. මෙම වප් පොහෝ දිනට පසු දින සිට එළැඹෙන ඉල් පොහෝ දින දක්වා කාලය චීවර මාසය ලෙස හඳුන්වයි. මෙම මාසය වස් පවාරණය කළ භික්ෂුන් වහන්සේලාට බෞද්ධ ජනතාව කඨින චීවර පූජා කිරීම සිදුවේ. භික්ෂුන් වහන්සේලාට මෙන්ම ගිහි ජනතාවට ද කඨින මහා පින්කම් මහත්ඵල ආනිසංස ගෙනදෙන පුණ්‍ය කර්මයකි.

කඨින චීවර පූජාව බෞද්ධ ජනතාව මහත් බැති සිතින් සහභාගිත්වයෙන් සිදු කරන පින්කමකි.

ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සහා සංඝමිත්තා තෙරණින් වහන්සේ වැඩමවා ගැනීම සඳහා අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම ද මෙදින සිදුවූ විශේෂ සිදුවීමකි. අරිට්ඨ කුමරු ඇතුළු පිරිස මහණ උපසම්පදාව ලබාගත් පසු ධර්ම විනය හදාරා ථූපාරාමයට රැස්වී විනය සංගායනාවක් සිදුකරන ලද්දේ අදවන් පොහෝ දිනකය.

එසේම බෞද්ධ ජනතාව වප් පුරපසළොස්වක පොහොය මව්පිය කෘතවේදීත්වය ගරු කළ පොහොයක් ලෙස ද සලකනු ලබයි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට අදවන් දිනක වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ සිය මෑණියන් වූ මහමායා දේවිය සසරින් එතෙර කරවීමට ධර්ම දේශනා කිරීමේ උදාර චේතනා ඇතිව තව්තිසා දෙව් ලොවට වැඩම කළ අතර එහිදී මහමායා දේවිය මාතෘ දිව්‍ය රාජ නමින් පුරුෂ ආත්මයක උපත ලබා දෙව්ලොව වැඩ වාසය කළේය. බුදුරජාණන් වහන්සේ මව්පියන්ට කෘතගුණ දැක්වීම පිණිස දිව්‍ය ලෝකයට වැඩම කර මහාමායා දේවියට ධර්මය දේශනා කර යළිත් සංකස්සපුරයට වැඩම කිරීම මෙහි දී සිදුවූ විශේෂ සිදුවීමකි.

උන්වහන්සේගේ කෘතවේදීත්ව ගුණය අද සමාජයට මහඟු ආදර්ශයකි. දෙමාපියන් දූ දරුවන් අතර සහෝදර සහෝදරියන් අතර ඥාතීන් අතර නොයෙක් ගැටලුකාරී තත්ත්වයන් අවස්ථා අපට දකින්නට ඇසෙන්නට තිබේ. සිය යුතුකම් වගකීම් මනා ලෙස අවබෝධ කර නොගැනීම මෙම ගැටලුකාර තත්ත්වයන්ට ප්‍රධාන හේතුවකි. බුදුරජාණන් වහන්සේ සමාජය යහමඟට ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් දේශනා සිදු කිරීම පමණක් නොව, බුද්ධ චරිතය තුළින් ම ආදර්ශය පෙන්වා දී තිබේ.

මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම ද සිදුවූයේ වප් පුරපසළොස්වක පොහෝ දිනක බව ද ශාසනික ඉතිහාසයේ සඳහන් වේ.

අප රටේ ජනතාව බීජ මාසේ පෝය ලෙස ද හඳුන්වයි. වප් මාසය වනවිට මහ කන්නය උදා වී අප රටේ වියළි කලාපයට සරු වැසි ලැබී වැව් ජලයෙන් පිරී වගාවෙන් සරුසාර වේ. මේ අනුව ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ද හැකි වේ.

මෙවන් සුවිශේෂී වූ සිදුවීම් රැසක් සිදු වූ අදවන් උතුම් වප් පුරපසළොස්වක පොහෝ දා සියලු බෞද්ධ ජනතාව වෙහෙර විහාරස්ථාන වෙත පැමිණ දාන සීල භාවනා ඇතුළු ආගමික වතාවත්වල නිරත වෙමින් සිත, කය, වචනය, යන තුන්දොර සංවර කර ගනිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද එම ධර්මස්කන්ධය අවබෝධ කර ගනිමින් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට අධිෂ්ඨාන කර ගතයුතුය.


advertistmentadvertistment