සංගීතයේ වේදිකාව කඩාවැටී රයිනි අනූනවයෙන් බේරෙයි

1283

ඊශ්‍රායලයේ, ජෙරුසලමේ සංගීත ප්‍රසංගයක වේදිකාවක් හදිසියේ කඩාවැටී සිදු වූ අනතුරකින් ජනප්‍රිය ගායිකා රයිනි චාරුකා අනූනවයෙන් දිවි බේරාගෙන ඇත. එම සංගීත ප්‍රසංගයේ සංගීතය සපයමින් සිටි ෆ්ලෑෂ් බැක් කණ්ඩායම අනතුරට මුහුණපා ඇත.

රයිනි සිටගෙන ගීතය ගායනා කරන ආකාරයත්, එක්වරම වේදිකාව කඩාවැටෙන දර්ශනයත් ජංගම දුරකථනවල සටහන් වී තිබේ.

‘දිවයින’ මේ සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පී රයිනි චාරුකාගේ පියා වන රූකාන්ත ගුණතිලක මහතාගෙන් තොරතුරු විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ රයිනි හොඳින් සිටින බව ය.

වේදිකාවේ සවිකර තිබූ විශාල ආලෝක ධාරා පුවරුව හදිසියේ කඩාවැටීමෙන් අනතුර සිදු වූ අතර එය කඩාවැටුණේ කී බෝඩ් වාදන ශිල්පියකු හා ගිටාර් වාදන ශිල්පියකු මතටය.

සිද්ධිය වන අවස්ථාවේ රයිනි ‘නීල කඳුගැටේ ගේන නිදහසේ මතින් මත්උනා කුළුඳුල් ආදරේ’ ගීතය ගායනා කරමින් සිටි අතර, රසිකයන් විශාල පිරිසක් ගීතය රසවිඳිමින් වේදිකාව අසල නර්තනයේ යෙදී සිටිනු දැකගත හැකි විය.

මෙහිදී අදහස් දැක්වූ ෆ්ලෑෂ් බැක් කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු මෙසේ කීය.

“අපිට කිසිම කරදරයක් වුණේ නැහැ. අපි ගැන සුවදුක් විමසා බැලූ, අපිට සුවය පැතූ සැමට ස්තූතියි, අපි සුවෙන්.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment