බදු ආදායම් සහ අතීත හොරු

593

මෙරට පුරවැසියන්ගේ චංචල හා නිශ්චල දේපළ පිළිබඳ විස්තර ජුලි 01 වැනිදා සිට අනිවාර්යයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතුය. මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කළේය. මෙම තත්ත්වය පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (27දා) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබුයේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කළත් එය නව නීති පැනවීමක් නොවන බවයි. මේ තුළින් සිදුවනුයේ ආදායම් බදු නීතියේ 123 (8) වගන්තිය අනුව ආදායම් බදු දෙපාර්තමේන්තුවට තෙවන පාර්ශ්වයකින් තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමක් බවද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

නව ගැසට්ටුව මගින් සිදුවනුයේ අක්‍රීයව පැවති නීතියක් යළි ක්‍රියාත්මක කිරීම බවත් මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන් ඇමැතිවරයා මෙම නීති රීති අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක නොකරන බවද කියා සිටී.

රටක පැවැත්මට, රජයක වියදම් ආවරණය කර ගැනීමට බදු ආදායම අතිශය වැදගත්ය. ඒ පිළිබඳව කිසිදු තර්කයක් නොමැත. අලුත් කළ ගැසට්ටුවෙන් ආදායම් බදු ගෙවිය යුතු එහෙත් විවිධ උපක්‍රම යොදා ඒවා නොගෙවා සිටින අයගෙන් නිසි පරිදි බදු අයකර ගැනීම මෙමගින් අපේක්‍ෂා කරන බවද ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කරන්නේ ද එබැවිනි.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය දිනවල අනාවරණය කළ කාරණයන් ගැන ද අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. එම කොමිසම පවසන පරිදි අප රටේ අයථා ලෙස වත්කම් උපයා ගත් දේශපාලනඥයන් ගණන හතළිහකට ආසන්නය. මෙම දේශපාලනඥයන්ගේ තරාතිරම නොබලා ඔවුන් පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බවද කොමිසම කියා සිටී. එය අපි දකිනුයේ යහපත් ප්‍රවණතාවයක් ලෙසිනි.

රටක දේශපාලනඥයකු විය යුත්තේ ජනතා සේවය උදෙසා කැපවෙන පුද්ගලයෙකි. එහෙත් පසුගිය කාලය පුරාවට අප රටේ දේශපාලනය ගත් විට එවැන්නක් දැකිය නොහැක. දේශපාලනයට පිවිසි බොහෝ දෙනා එය මහජන සේවය පිණිස නොව තමන්ගේ මඩිය තරකර ගැනීම සඳහා යොදාගත් බව නොරහසකි. පාපැදියෙන් යතුරුපැදියෙන් ගමේ නගර සභාවට පැමිණෙන මහජන නියෝජිතයා අවුරුද්දක් දෙකක් යනවිට ඉන්නෙ වෙනත් තැනකය. ඔහුට පවතින ආදායම් සහ වත්කම් දෙස බැලීමේදී ඒවා ඉබේ පහළ වූවා නොවන බව ඉතා පැහැදිලිය. නාගරික මන්ත්‍රී ධුරය ඉක්මවා ඉහළ දේශපාලනයට ගිය විට මෙම තත්ත්වයම තවත් සරු වන්නේය. මහජන නියෝජිතයෝ සියලු දෙනාම මෙම තත්ත්වයේ නොවුණත් බොහෝ පිරිසක් මහජන දේපළ කොල්ල කන පිරිසක් බවට සමාජයේ කතාබහක් ඇතිවී තිබෙන්නේ එබැවිනි. පසුගිය කාලයේදී ජන අරගලයක් ඇතිවීමට මෙම සාධකය ද දැඩි ලෙස බලපෑවේය. එනිසා අද සමාජය ඉල්ලා සිටින්නේ දූෂණයෙන් වංචාවෙන් තොර මහජන නියෝජිතයන්ය. එවැනි මහජන නියෝජිතයන් පිරිසක් අප සමාජයට දායාද කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම අයථා ලෙස වත්කම් දේපළ උපයා ගත් උන් පිළිබඳව සොයා බැලිය යුතුමය. මෙවැනි දේශපාලනඥයෝ ගැන සෙවීමේදී නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් ද අත්‍යාවශයෙන්ම සොයා බැලිය යුතුය. අදාළ පරීක්‍ෂණවලදී මහජන නියෝජිතයන් අයථා ලෙස ආදායම් හා වත්කම් උපයාගෙන ඇත්නම් ඒවා රාජසන්තක කර මහජනතාවගේ සුබසාධනය පිණිස යෙදවිය යුතුය.

අප රටේ වංචා දූෂණ පිළිබඳව කතා කිරීමේදී ඍජුවම දේශපාලනඥයන්ට ඇඟිල්ල දිගු වුවද ඒ හා සමානව වගකිව යුතු තවත් පිරිසක් අප රටේ සිටිති. ඒ අන්කිසිවකු නොව සමහර සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල ලොක්කන්ය. සමහර විටක තනියම ද සමහර විටක දේශපාලනඥයන් සමග අත්වැල් බැඳගෙන මෙම පිරිස රටට කර ඇති හානිය අතිමහත්ය. අප බංකොලොත් රටක් වීමට මෙම පිරිසද වගකිව යුතුය. මෙවැනි නිලධාරීන්ගේ ආදායම් සහ වත්කම් පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතුය. එවැනි විමර්ශනයකදී යම් රාජ්‍ය නිලධාරියකු අයථා ලෙස යම් යම් දේ උපයාගෙන ඇත්නම් ඊට උපරිම දඬුවම් ලබාදීම ද අනිවාර්යයෙන්ම කළ යුතුය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනුයේ රජයේ වගකිව යුතු තනතුරු දැරූ සංස්ථා හා ආයතන ප්‍රධානීන් රැසකට එරෙහිව පසුගිය කාලයේදී චෝදනා එල්ල වූ බවය. නමුත් මෙම රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ප්‍රබල දේශපාලනඥයන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩු තාක්‍ෂණික දෝෂ නිසා නැවතී ඇති බවත් කොමිසම කියා සිටී. එම තාක්‍ෂණික දෝෂ මගහරවා ඔවුන්ට නැවත නඩු පවරන බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එය අනිවාර්යයෙන්ම විය යුත්තකි. අප රට ගොඩනැගීමට නම් අප රට වළපල්ලට දැමුවත් නීතිය ඉදිරියට ගෙනැවිත් උපරිම දඬුවම් ලබාදිය යුතුය. එසේ නොවුණහොත් තවත් සොර මුලක් අප රටේ ඉතිරිව ඇති සම්පත් හා දේපළ ද කොල්ලකනු නියතය. දියුණු වූ සෑම රාජ්‍යයකම නීතිය ඉහළින්ම තිබූ බව අප මොහොතකටවත් අමතක නොකළ යුතුය. රට කොල්ල කෑ හොරුන්ට නීතිය සේම බදු දැල ද හරියටම එලිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment