වසංගතය අස්සේ ගසාගෙන කෑම

566

සිමෙන්ති හිඟය හමුවේ අප රටේ ඉදිකිරීම් කර්මාන්තය පසුබෑමට ලක්වෙන බවක් පෙනේ. මසකට සිමෙන්ති මෙටි‍්‍රක් ටොන් ලක්ෂ පහක සැපයුමක් ලබාදිය යුතුව තිබුණ ද පවතින ඩොලර් හිඟය හමුවේ සිමෙන්ති මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක හිඟයක් පවතින බව ග‍්‍රාමීය හා නිවාස ඉදිකිරීම් ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කර තිබිණි.

කල දුටු කල වළ ඉහ ගැනීම අප රටේ බොහෝ දෙනාගේ කැත පුරුද්දකි. පවතින සිමෙන්ති හිඟය හමුවේ මෙම කාලකන්නියෝ කි‍්‍රයාත්මක වී සිටිති. වෙළෙඳපොළේ රුපියල් 1575 කට අලෙවි කළ යුතු සිමෙන්ති කොට්ටයක කළුකඩ මිල රුපියල් 1900 සිට රුපියල් 2100 දක්වා නියම වී ඇති බව ඉදිකිරීම්කරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පවසයි. සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 827 කට තිබියදී ඉදිකිරීම් ව්‍යාපෘති භාරගත් සමාගම් මේ නිසා වැටී ඇත්තේ ලොකු අමාරුවක බව ද ඔහු කියා සිටී. එමනිසාම වහාම සිමෙන්ති සඳහා පාලන මිලක් ඇති කළ යුතු යැයි හෙතෙම යෝජනා කර සිටී. පවතින තත්ත්වය හමුවේ ඔහුගේ යෝජනාව අතිශය සාධාරණය. පාලන මිලක් ඇති කිරීම පමණක් නොව වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන නියෝජිතයන් කුදලාගෙන විත් කූඩුවට දමා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට රජය ක‍්‍රියාත්මක විය යුතුය. මේ සඳහා පාරිභෝගික අධිකාරිය මැදිහත් වීම අත්‍යවශය. එහෙත් පසුගිය කාලයේදී හාල් මෝල් වටලා මාධ්‍ය සෙල්ලම් පෙන්නුව ද අන්තිමට කිසිදු සාධාරණයක් පාරිභෝගිකයාට සිදුවූයේ නැත. හාල්වලට පනවා තිබූ ගැසට් ද රිවස් කර ගනු ලැබූ අතර අප රටේ සහල් මිල පාලනය කිරීම තනිකරම මෝල් හිමියන් කිහිප දෙනකු අතට පත් විය. මෙම තත්ත්වය හමුවේ මේ වනවිට සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 160 කි. රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 175 කි. නාඩු සහල් කිලෝවක මිල රුපියල් 165 කි. සම්බා සහල් කිලෝවක මිල රුපියල් 170 කි. කීරිසම්බා සහල් කිලෝවක මිල රුපියල් 240 කි. සහල්වලට එවැනි කලක් ගියේ නම් පවතින තත්ත්වය හමුවේ සිමෙන්ති මිලට කුමකින් කුමක් වේද යැයි සිතා ගැනීමටත් බැරි තරම්ය.

මේ තත්ත්වය හමුවේ මහා පරිමාණ කොන්ත‍්‍රාත්කරුවන්ට වඩා අන්ත අසරණභාවයට පත්වනු ඇත්තේ මේ රටේ අහිංසක ජනතාව බවට සැකයක් නැත. විවිධ කැප කිරීම් කරමින් යාන්තමින් නිවසක් සාදා ගැනීමට වෙර දරන මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු මේ නිසා බොඳව යෑමට ඉඩ තිබේ. රජය මේ සඳහා ගත යුතු පියවර ප‍්‍රමාද නොකළ යුතුය. වසංගතය වසන්තයක් කර ගැනීමට මාන බලන කළුකඩ මුදලාලිගේ චෞර උත්සාහයට වැට බැඳීම බලධාරීන්ගේ යුතුකමකි.

මේ අතර අනුමත මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ අයකු රාගම ප‍්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය මගින් අල්ලා ගත් පුවතක් ඊයේ (28 දා* මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. එය ඉතා හොඳ වැඩකි. රටපුරා වැඩි මිලට සිමෙන්ති විකුණන අය ඇල්ලීම සඳහා වඩා සකී‍්‍රය මෙහෙයුමක් කි‍්‍රයාත්මක වුවහොත් යම් ප‍්‍රමාණයකට හෝ මේ මාෆියාවෙන් ජනතාව බේරා ගැනීමට හැකිවනු ඇත.

සිමෙන්ති, සහල් පමණක් නොව අනෙකුත් භාණ්ඩවල ද මිල තවමත් ඉතා ඉහළය. ඇතැම් එළවළු මිල යම් ප‍්‍රමාණයකට පහත වැටී තිබුණ ද බෝංචි, කැරට් වැනි එළවළු කිහිපයකම මිල ගණන් තවමත් අධිකය. මේ වනවිට වෙළෙඳපොළේ මාළු මිලත් ඉහළ ගොස් තිබේ. තලපත් මාළු කිලෝවක සිල්ලර මිල රුපියල් 1740 කි. කෙලවල්ලා වැනි මාළු මිල ද ඊට ආසන්නය. පොල් ඇතුළු සිල්ලර බඩු මිල ද එකසේ වැඩිය. මෙයට සාපේක්ෂව රටේ ජනතාවගේ ආදායම ඉහළ නොගොස් තිබෙන අවධියක වෙළෙන්දන්ට රිසි සේ බඩු මිල තීරණය කිරීමට ඉඩ දුනහොත් ජනතාව පත් වන ඉරණම ඉතා ඛේදජනකය. ඒ නිසා සමස්තයක් ලෙස රටේ බඩු ඉහළ යෑම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. මේවා නියාමනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් අප තවමත් දකින්නේ නැත.

වසංගත කාලයේදී ඊට මුහුණ දීමට නම් එකාවන්ව පෙළගැසිය යුතුය. සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන් කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීමට වෙහෙසෙද්දී ඊට සාපේක්ෂව සමාජයේ අන් පාර්ශ්ව ද ධාර්මිකව කරුණා පෙරදැරිව කටයුතු කළ යුතුය. එහිදී වෙළෙඳ ප‍්‍රජාවට ද ඇත්තේ සුවිශේෂී වගකීමකි. ජනතාව තලා පෙළා සූරාකෑම පාපයක් බව මේ අය තේරුම්ගත යුතුය. එසේ නොසිතා කටයුතු කිරීම මනුස්සකමට කරන නිගාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment