බාල ඖෂධ මගඩියේ සෞඛ්‍ය ලොක්කෝ 4ක් රිමාන්ඩ්

247

ඖෂධ ගෙන්වූ සමාගමේ හිමිකරුවකුත් දැනටම රිමාන්ඩ්

ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනු සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් සිව්දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (20 දා) අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශය වෙත පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් එම දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත ගෙනගොස් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරුන් වන වෛi කපිල වික්‍රමනායක, දේවශාන්ති සොලමන්ස්, ගණකාධිකාරී හිරාන් ධනංජය, සහ තොග පාලක සුජිත් කුමාර යන අය බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහජනක ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කළ අතර එම ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් එහි සැපයුම්කරු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ වන විට එම සැකකරු බන්ධනාගාරගත කර සිටී. මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාට මීට ඉහතදී ගුවන් ගමන් තහනමක් ද ලබාගෙන තිබිණි.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛi සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛi කපිල වික්‍රමනායක, සහකාර අධ්‍යක්‍ෂ ශාන්ති සොලමන්, සැපයුම් අංශයේ ගණකාධිකාරී නිරාන් ධනංජය සහ ඖෂධවේදී සුජිත් කුමාර යන සිව්දෙනා ලබන 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ
(20 දා) පස්වරුවේ නියෝග කළාය.


හේමන්ත රන්දුණු සහ ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment