බැඳුම්කර මගඩියට ඉටු නොවූ යුක්තිය
මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ කුප්‍රකට බැඳුම්කර මගඩියෙන් මෙරට ජනයාට වූ බලවත් අගතියට මෙතෙක් නිසි යුක්තිය ඉටුව නැත. යහපාලන රජය සමයේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් බැඳුම්කර ජනාධිපති කොමිසම ද පත් කරමින් එම වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙන්නුවත් අපට නම් හැඟුණේ බැඳුම්කර මගඩියේ අදාළ චූදිතයන් රැකීමට ද විශාල දේශපාලන රැකවරණයක් ද ලැබෙන බවයි. යහපාලන රජය සමයේ වසර හතරහමාරක් පමණ මේ බැඳුම්කර මගඩියෙන් උපරිම දේශපාලන වාසි ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැවැති යහපාලන රජය පරාජය කර 69 ලක්ෂයක අතිවිශාල ජනවරමක් ද ලබාගත හැකි විය. පොහොට්ටුවේ අය එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටිමින් මේ බැඳුම්කර මගඩිය ගැන උදේ සිට සවස් වෙනතුරු මන්ත්‍රයක් මෙන් ජප කරමින් තම රජයක් යටතේ එයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව කියා සිටි බව අපට මතකය. හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සිටම මේ බව කීවා අපට මතකය. පරණ පත්තර පිටු, පුවත් වීඩියෝ සහ වොයිස් කට් යනාදිය බැලූ විට පොහොට්ටුවේ ඔවුන් එදා බැඳුම්කර වංචාව ගැන කියූ වීර කතා ඕනෑතරම් සොයාගත හැකිය.
අරගල තත්ත්වයක් නිර්මාණය වීම
මේ කවර වීර කතා කීවත් පොහොට්ටු රජය බලයට පත් වූ පසුව ඒ සඳහා කිසිවක් සිදුව තිබේ ද? අන්තිමට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍ය පාලනය යටතේ වූයේ කුමක් ද? රටත් බංකොලොත් වී (මේ සඳහා එම පාලනයට පෙර සිට පැවැති ඇතැම් දිගුකාලීන හේතු ද බලපා ඇත.) මහජනයා අති විශාල විපතකට පත් වී රටම බලවත් අරාජික තත්ත්වයට පත් වීමයි. ගෝඨාභය රාජපක්ෂ හොරෙක් නොවිය හැකිය. එහෙත් ඔහුගේ අසාර්ථක සහ අදූරදර්ශී මෙන්ම ජනතා අපේක්ෂා බලවත් ලෙස භංග කළ කෙටි පාලන කාලය තුළ ද මේ බැඳුම්කර වංචාවට එරෙහිව සිදු වූ දෙයක් නැති බව මේ ලියුම්කරුගේ අදහසයි. පොදුවේ ගෝඨාභය ජනපතිගේ, රාජ්‍ය පාලනය ද දූරදර්ශී එකක් නොවීය. එසේම අයහපත් ආර්ථික කළමනාකරණයේ හා විදේශ විනිමය කළමනාකරණයේ ප්‍රතිඵල හමුවේ බලවත් ලෙස උග්‍ර වූ විදේශ විනිමය හිඟය නිසා රටේ තෙල් සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ද ඇති වී රටේ අරගල තත්ත්වයක් ද නිර්මාණය විය. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ කළේ අරගලය හමුවේ රටින් පැන ගොස්, තමන් නියෝජනය කළ පක්ෂය විසින්ම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ යහපාලන රජයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහවම රටේ වැඩබලන ජනාධිපති කිරීමයි. පසුව එම පක්ෂයේම බහුතර ජනතා නියෝජිතයන් ද එක් වී ඔවුන් විසින්ම බැඳුම්කර වංචාව ගැන තමන් විසින්ම චෝදනා එල්ල කළ යහපාලනයේ අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහවම පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ව්‍යවස්ථාවට අනුව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට ද පත් කළේය.
ජනවරම පාවාදීමේ ඛේදජනක ඉරණම
කොරෝනා වසංගතය පාලනය කිරීමට නම් ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් එම රජය සැලකිය යුතු කාර්යභාරයක් කළේය. මේ නිසාම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඔහු වරක් කියා සිටියේ ‘අපි තමයි හොඳටම කරේ’ කියාය. එහෙත් ඒ නිසාම පමණක් සමස්ත රාජ්‍ය පාලනය හොඳටම කළ බවක් කීමට පුළුවන්කමක් නැත. ඒ හොඳටම කළ තරම මෙරට රටවැසියා හොඳටම දන්නා අතර ඔහුට එදා ඡන්ද ලබාදුන් 69 ලක්ෂයක ජනයා ද ඒ අනුව තම ජනවරමට අත්කර දුන් අවාසනාවන්ත සහ අකාරුණික ඉරණම සඳහා මේ වන විට ඉහළින්ම කෘතගුණ දක්වා ඇති සැටියකි. මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, එහි නායක මහින්ද රාජපක්ෂ, එම පක්ෂයෙන් ජනාධිපති වී රාජ්‍ය පාලනය අතහැර යෑමට සිදු වූ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම අවසානයේ එහි කරුම විපාකයට ඉතා අවාසනාවන්ත ලෙස මුහුණ දීමට සිදු වූ නාමල් රාජපක්ෂ ද සිතට ගන්නේ නම් ඉතා මැනවි. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂට ලැබුණේ සියයට 2.57 ක අතිශය සොච්චම්, එසේම කලින් ජවිපෙට පැවති සියයට 3 කටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයකි. මෙය නාමල් රාජපක්ෂට දුන් ජනතා (අ) කැමැත්තක් පමණක් නොව පොදුවේ පොහොට්ටු පක්ෂයටම දැක් වූ ජනතා ප්‍රතිචාරයක් බව ඔවුන් තේරුම් ගත යුතුය. මේ නිසා පොහොට්ටුවේ පරාජයට ප්‍රමුඛ හේතු මෙන්ම එම පරාජයට දායක වූ විවිධ මට්ටම්වල නියමුවෝ ද සිටිති. මේ නිසා නාමල් රාජපක්ෂ ඇතුළු එම පක්ෂයේ තවමත් සිටින අයට මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් බොහෝ පාඩම් ඉගෙනීමට තිබේ. එහෙත් තවමත් ඔවුන්ට ඒ සඳහා සැබෑ අවශ්‍යතාවක් ඇති බවක් නම් පෙනෙන්නට නැත.
අතීතයෙන් වර්තමානයට
මේ අප සිහිපත් කළේ අතීත කතාවකි. දැන් අපි වර්තමාන කතාවට පිවිසෙමු. ඒ අනුව පෙරේදා (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් කීවේ බැඳුම්කර වංචාව පිළිබඳ දැනටමත් නීත්‍යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. එදා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් රට ගොස් තිබුණේ එවකට හිටපු අගමැති රනිල්ට, මඟුල් ගෙදරකට යනවා කියාය. එහෙත් අර්ජුන එදා ගියා ගියාමය. මේ වන තෙක් ඔහු මෙරටට පැමිණියේ නැත. ඔහු මෙරට නීතිමය ක්‍රියාවලියට ඉදිරිපත් නොවී මෙසේ විදේශගත සිටී. මේ ගැන පෙරේදා (01) කැබිනට් මාධ්‍ය හමුවට ගිය මේ ලියුම්කරු ද ඇමැති විජිත හේරත්ගෙන් ප්‍රශ්න කළේය. ඒ සඳහා ඔහු දුන් පිළිතුර මෙයයි.
“මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් දැනටමත් ආරම්භ කර තිබෙනවා. ඔහුගේ (අර්ජුන මහේන්ද්‍රන්ගේ) මඟුල් ගෙදර කටයුතු දැන් ඉවර ඇති. ඒ නිසා ඉක්මනින් ගෙන්වා ගන්න පුළුවන් වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයත් දැන් ජනාධිපතිවරයා නෙවෙයි. ඒ නිසා ඔහුට දැන් මුක්තිය නෑ. ඒ නඩුව ඇත්තටම ඉදිරියට ගියෙ නැත්තේ ව්‍යවස්ථාවෙ තියෙන මුක්තියේ බලය පාවිච්චි වෙලා. දැන් අපට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තියෙනවා. අපි ඉස්සරහට බලමු.”
බැඳුම්කර පරීක්ෂණ අලුත් වෙයි
පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා වාර්තාව සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව යනාදිය ද සැලකිල්ලට ගනිමින් බැඳුම්කර වංචාවට අදාළව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන බවත්, මේ වනවිට එහි මූලික පියවරයන් ආරම්භ කර ඇති බවත් මේ ලියුම්කරුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් විජිත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ කියන දේවල් ඉටුවේ ද නොවේ ද යන්න අප තවමත් දන්නේ නැත. එහෙත් විජිත හේරත් ඇමැතිවරයා කියන පරිදි නම් බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණවලට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය යටතේ නව පණක් ලැබෙනු ඇතැයි අපට සිතිය හැකිය. ඒ සඳහා මේ රජයට අවංක වුවමනාවක් ඇතැයි ද අපි සිතමු. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් බැඳුම්කර වංචාවට යුක්තිය ඉටු කිරීමට වුවමනාවක් තිබෙනු අපට දැකගත හැකි විය. ඔහු විසින් මේ ගැන පරීක්ෂණ කිරීමට ජනාධිපති කොමිසමක් පත් කළේ ද මේ නිසා විය හැකිය. එම කොමිසමට පින් සිදුවන්නට මේ මගඩියේ බොහෝ තොරතුරු ද ජනමාධ්‍ය මගින් රටට හෙළිදරව් වූ බව අපට මතකය. රටම එදා එම කොමිසමේ සාක්ෂි විභාගය දෙස බලා සිටි අතර යහපාලන රජය පරාජයට පත් වී පසුව පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමට ද මෙය ප්‍රබල ලෙස හේතුවන්නට ඇති බව ද අපි සිතමු. එදා ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ නායකත්වයෙන් සහ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ සහභාගිත්වයෙන් යුත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්ඩලය ද මේ ගැන බොහෝ කැපවීමෙන් සහ උනන්දුවෙන් කටයුතු කළේය. ඒ බව නම් අපට හොඳට මතකය. එහෙත් බැඳුම්කර කොමිසමේ ඇතැම් ක්‍රියාකලාපයන් ගැන අපට සැකසංකා මතු නොවුණා ද නොවේ.
අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීම
මේ බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ පවා බොහෝ චෝදනා එල්ල වූ අර්ජුන මහේන්ද්‍රන්ට එම කොමිසමේ කටයුතු අවසන් වීමෙන් පසුව පහසුවෙන්ම රටින් පිටව යෑමට හැකියාව ලැබිණි. එහෙත් ඔහුට එරෙහිව අපේ නීතිමය බලධාරීන් උසාවියට කරුණු දක්වා රට ගමන් තහනමක් කලින්ම ගැනීමට ක්‍රියා කළේ නම්, අර්ජුන මහේන්ද්‍රන්ට එසේ පහසුවෙන් රටින් (පැන) යෑමට ඉඩ ලැබෙන්නේ නැත. විශාල චෝදනා එල්ල වූ අයෙකුට එරෙහිව එම ක්‍රියාමාර්ගය එදා නොගත්තේ ඇයි? එසේ නොකිරීමෙන් අද ඔහුව මෙරටට ගෙන්වා ගැනීම බොහෝ දුෂ්කර කටයුත්තක් වී තිබෙනවා ද විය හැකිය. මේ සියලු දේ ගැන අවධානය යොමු කරන ලෙස ද අපි නව රජයෙන් ඉල්ලා සිටිමු. එවකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වරක් පැවසූ පරිදි නීතිමය ක්‍රියාවලිය සඳහා හිටපු අධිපති මහේන්ද්‍රන්ව සිංගප්පූරුවෙන් මෙරටට ගෙන්වා ගැනීමට මෙරට නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ කර ඇත. එහෙත් එම උත්සාහයට පසුව කුමක් සිදු වූයේ ද යන්නත් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ ඇයි ද යන්නත් අපට පැහැදිලි නැත. ඒ නිසා මේ ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා ලබන කැබිනට් මාධ්‍ය හමුවේ දී හෝ මෙහි අලුත් තත්ත්වය ගැන රටට පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස අපි කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතාගෙන් ඉල්ලා සිටිමු.
මහේන්ද්‍රන් ගෙන්වාගත හැකි ද?
අර්ජුන මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙක් නොවේ. එසේම ඔහු ද්විත්ව පුරවැසියෙක් ද නොවේ. ඔහු සිංගප්පූරු පුරවැසියෙකි. ඔහුව මෙරට මහ බැංකු අධිපති ලෙස පත්කරන විට ඔහුව පත් කළ සහ ඔහුව පත් කිරීමට නිර්දේශ කළ අය ඒ බව නොදැන සිටියා විය නොහැකිය. සිංගප්පූරු පුරවැසියෙක් මෙරට මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේ විපාක දැන් පේනවා නේද? මෙයට වගකිව යුත්තේ කවු ද? මේ නිසා අර්ජුන මහේන්ද්‍රන් මෙරට මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේ ක්‍රියාවට දායක වූ සියලු දෙනාටම මෙහි වගකීමක් ඇති බව මෙරට මහජනයා වෙනුවෙන් අපි කියා සිටිමු. මේ පසුබිම තුළ ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට නෛතිකව අපට හැකියාවක් තිබේ ද යන්නත් අප දන්නේ නැත. මේ නිසා අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට තිබෙන හැකියාව සහ ඒ සඳහා තිබෙන බාධාව කුමක් ද යන්නත් ගැන මෙරට පුරවැසියන්ට සත්‍ය තත්ත්වය ඇති සැටියෙන් දැනුම්දෙන ලෙස අපි නව රජයට කියා සිටිමු. මේ ගැන මෙරට ජනයාට අවසාන වශයෙන් දැන් විශ්වාස කළ හැකිව තිබෙන්නේ මේ රජය යටතේ සිදුවෙන දෙයක් පමණකි. කලින් පැවති රජයන් යටතේ අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගත නොහැකි වීම ගැන එක අතකට අපට සිහි ගන්වන්නේ රන්ජන් රාමනායකගේ ‘උන් ඔක්කොම යාළුවො මල්ලි’ යන කියමනයි.
යාළුවාගේ තරම තේරෙයි ද?
පසුගිය ජනපතිවරණයට පෙර දේශපාලන වේදිකාවේ ද අපට බැඳුම්කර වංචාව ගැන අසන්නට ලැබිණි. වරෙක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මැතිවරණ සමයේ කළ කතාවක දී ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකව අමතා තිබුණේ ‘මගේ මිත්‍රයා’ කියාය. එය හුදු ඇමතීමක් පමණ ද එසේ නැත්නම් ඒ දෙදෙනා අතර සුවිශේෂී මිත්‍රත්වයක් තිබේ ද යන්න ගැන අප නම් දන්නේ නැත. ජනපති රනිල්ගේ මේ ඇමතීම ගැන එදා ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ද මෙසේ අදහස් පළ කර තිබුණි.
‘ඔය රනිල් වික්‍රමසිංහ යාළුවා යාළුවා කියන්නේ මොකද දන්නවද? ෂේප් කර ගන්න. එයා දන්නවා ජයග්‍රහණය, ජාතික ජන බලවේගයට එනවා. ඊට කළින් ෂේප් පාරක් දා ගන්න පුළුවන්ද කියලා ඔය බලන්නේ. හැබැයි යාළුවා කිව්වට ඒ වගේ ෂේප් වෙන්න බෑ. 21 වෙනිදාට පස්සේ රනිල්ට තේරෙයි යාළුවාගේ තරම.’
අනුර දිසානායක ජනපතිවරණයට පෙර මේ කියූ පරිදි රනිල්ට අනුරව ෂේප් කර ගැනීමට අවශ්‍ය ඇයි? කුමන හේතුවක් නිසා ද? මේ බව පසුගිය සැප්තැම්බර් 09 වැනිදා ‘දිවයින’ මුල් පිටුවේ වාර්තා කර තිබුණේ ‘ජනපති මා එක්ක ෂේප් වෙන්න ආවත් මහ බැංකු හොරු හැමෝම නීතිය ඉදිරියට ගේනවා – අනුර කුමාර කියයි යනුවෙනි. එම පුවතේ වාර්තා කර තිබූ පරිදි අනුර කුමාර එදා තවදුරටත් කියා තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මොන තරම් ෂේප් වෙන්න ආවත් මහ බැංකු වංචාව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරලා, ඒ හොරු සියලු දෙනා නීතිය හමුවට ගේනවා කියාය. අපත් සිතන්නේ එම කුප්‍රකට බැඳුම්කර මගඩිය ගැන මේ රජය යටතේ හෝ නෛතික ක්‍රියාවලිය මගින් මෙරට මහජනතාවට යුක්තිය ඉටුවෙනු ඇති බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]