බීලා වැඩ කරනවා යැයි චෝදනා ලැබූ පුස්සැල්ලාව වහුගපිටිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ඉවතට

5120

වෛද්‍යවරුන් ළඟ ජාතිභේද නෑ
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය

ගම්පොළ පුස්සැල්ලාව වහුගපිටිය ප්‍රාදේශීය රෝහලේ බිඳ වැටී ඇති පරිපාලනය යථාවත් කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව ගම්වාසීන් හා වතු ප්‍රජා නියෝජිතයන් සමග කළ සාකච්ඡාවකින් පසු එම රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ඉවත් කර නව පරිපාලනයක් ඇති කිරීමට පියවර ගනු ලැබීය.

ඒ අනුව එහි වැඩ බලන නව ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස ගම්පොළ උඩ පළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොහොමඩ් ෆාහිම් මහතා පත් කරනු ලැබීය.

වසර දාහතරක් මෙහි සේවය කළ හිටපු ස්ථාන භාර වෛද්‍යවරයා අධික ලෙස බීමත්කමට ඇබ්බැහිවීම සමග මෙහි පරිපාලනය බිඳ වැටී ජනතාව අසීරුතාවයට පත්ව ඇතැයි පවසා එම වෛද්‍යවරයා ඉවත් කරන ලෙස 2019 වසරේ සිට ජනතාව කිහිප අවස්ථාවක උද්ඝෝෂණ විරෝධතා පවත්වා ලිපි යැවීම් සිදුකර තිබුණි.

පවතින වෛද්‍ය හිඟය සමග සෞඛ්‍ය අමාත්‍යාංශය හා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ස්ථාන භාර වෛද්‍යවරයාට විවිධ අයුරින් අවවාද කිරීම් සිදුකළ ද එම ඇබ්බැහිය නතර කිරීමට නොහැකිව තිබියදී ප්‍රදේශවාසීන් විසින් යළිත් පසුගිය 5 වැනිදා ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් රෝහල ඉදිරිපිට දී විශාල උද්ඝෝෂණයක් පවත්වන ලදී.

මෙම රෝහල පුස්සැල්ලාව, පාරදෙක, වහුගපිටිය ආදී නගර වැසියන් හා රම්බොඩ, පෙරෙට්ටාසි, කටුකිතුළ, හෙල්බොඩ, ඩෙල්ටා, නවකඩදොර, මාවෙල ,මාස්වෙල, නයාපාන දොරගල, අටබාගේ, ආදී ගම්මානවල ජනයා මෙන්ම වතු හතළිහක ජනතාව සේවය ලබා ගන්නා

ස්ථානයකි. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය මහතා මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර තිබිණි. ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මහනුවර සභාපති නිමල් ජයවර්ධන, එහි ලේකම් ධම්මික දිසානායක, පුස්සල්ලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික හේමකුමාර යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙහි පැමිණ කරුණු සොයා බලා ප්‍රදේශවාසී නියෝජිත කණ්ඩායමක් සමග සාකච්ඡා කර මෙම තීරණයට එළැඹ ඇත.

මෙහිදී පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ කිසිම රජයේ සේවකයකුට බීමත්ව රාජකාරී කිරීමට නොහැකි බවත් එය ආයතන කඩා වැටීමට හේතුවන බවත්ය. මෙම වෛද්‍යවරයාට මීට පෙර අවවාද කළත් බීමත්කමට ඔහු ඇබ්බැහි වීම මත ඉන් මිදීමට නොහැකි වී තිබීම බරපතළ තත්ත්වයක් බවත් එයට ප්‍රදේශයේ ජනතාව වගකිව යුතු නැති නිසා ඔහු ඉවත් කළ බවත්ය.

රෝහලේ දී තමන්ට වෙනස්කොට සලකන බව ප්‍රදේශයේ දෙමළ ජනතාව මින් පෙර කියා තිබිණි.

ජනතාව හා රෝහල අතර දුරස්ථභාවයක් ඇතිව තිබෙන බවට නිරීක්ෂණය වීම සිදු වුවත් ප්‍රදේශයේ වතු ජනතාව මින් පෙර පවසා තිබූ ආකාරයට ඔවුන් වෙනස්කමකට භාජනය වනවා යැයි සිතීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වසර විසි හයක් ම සේවය කළේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. වෛද්‍යවරයකු ළඟ ජාති ආගම් කුලභේද ආදී බෙදීම් නොමැති බව පැවසූ අධ්‍යක්ෂවරයා වෛද්‍යවරයකු ළඟට පැමිණෙන සියලු දෙනා රෝගීන් පමණක් බවත් පැවසීය.

එසේම රෝහලේ පවතිනවා යැයි පැවසෙන ඖෂධ හිඟය පිළිබඳව ද සොයා බලා කටයුතු කරන බව ද මෙහිදී ඔහු කීවේය. එහිදී සාකච්ඡාවට එක් වූ ප්‍රදේශවාසීන්, වතු නියෝජිතයන් ,ව්‍යාපාරිකයන් හා සංවිධාන නියෝජිතයන් ප්‍රකාශ කර සිටියේ මෙම මස 28 වැනිදා රෝහල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් පවත්වා නව පාලනයට එක් වූ ස්ථාන භාර වෛද්‍යවරයා සමග රෝහල දියුණු කිරීමට කැපවෙන බවය.
ගම්පොළ -සුරංග දිල්හාන්


advertistmentadvertistment