බුද්ධ චරිතය සහ ජ්‍යොතිෂය

2791

සත්ත්වයකු මෙලොවට බිහිවන්නේ පෙර කර්මයකම ප්‍රතිඵලයක් වශයෙනි. මෙයින් මනුෂ්‍යයකු බිහිවන මොහොතේ ඊට උපකාර වූ කර්මය හා උපතේ සිට විපත දක්වා උදාවන සැප, සතුට, ජයග්‍රහණ මෙන්ම දුක, අසතුට හා පරාජයන්වල හේතුව ද සංසාර ගත පූර්ව කුශල අකුශල කර්ම හා බැඳී පවතී. මේ කර්ම විපාක පිළිබඳව බුදුරජාණන් වහන්සේට හා සිත දියුණු කළ උතුමන්ට දැනගත හැකිය. කාලදේව තව්සාද එවැන්නෙකි. තමන්ට පිය රජු විසින් සිදුහත් කුමරු පෙන්වූ විට මුලින්ම සිනහවී පසුව හැඬූ බවත්, ඊට හේතුව කුමරු අනාගතයේදී බුදුවන නමුත් තමා ඒ වනවිට මියගොස් ඇති බවත් එම තවුසා දුටුවේය. ඍෂිවරුන්ට එවැනි ඥානයක් තිබේ.

ලෝකයේ උත්තරීතරම මනුෂ්‍යයා උපත ලැබෙුවේ වෙසක් පුන් පොහෝ දිනකය.ඒ වූ කලී මීට වසර දෙදහස් පන්සිය හැටඅටකට පෙර පරිනිර්වානයට පත්වූ ගෞතම බුදුන්වහන්සේය. උන්වහන්සේගේ උපන් මොහොත ගැන සොයා බැලූ බලංගොඩ ආනන්ද මෛත්‍රය නායක හාමුදුරුවෝ එය සොයා ගත්තා පමණක් නොව උන්වහන්සේ ලියූ ‘බුද්ධ චරිතය’ පොතෙන් ප්‍රකාශයට ද පත් කළ සේක. කලියුග වර්ෂ 2478 වෙසක් මස පුන් පෝදින ලත් ඉරිදා උදයාදී එකොළොස් පැය විනාඩි හතරට විසා නැකතින්, කටක ලග්නයෙන්, සිංහ නවාංශකයෙන් බෝසතාණන් උපන් බව නෞමාර නාඩිවාක්‍යවල සඳහන් ලෙස ඉහත ග්‍රන්ථයේ ඇතුළත් කර තිබේ. උන්වහන්සේගේ වයස අවුරුදු 80 මාස 10 දින 15 බව ද එහි සඳහන්ය.

මෙහි ග්‍රහ පිහිටීම ගැන උන්වහන්සේ බිහිවීමටද පෙර ලියා ඇති ග්‍රන්ථවල මෙසේ සඳහන් වෙයි.

“කටක ලග්නයේ ගුරු ද බලවත් ග්‍රහයන් තුන්දෙනෙක් හෝ හතර දෙනෙක් කේන්ද්‍ර ගතව ද උපන් මිනිස් තෙම මෝක්‍ෂයට පැමිණේ” යනුවෙනි.

මෙම ග්‍රහ පිහිටීම හා බුද්ධ චරිතය අතර මනා සබඳතාවක් ඇති බව සොයා ගත හැකි වේ. තරමක් දුරට විමසා බලමු.

බුද්ධ චරිතය සහ ජ්‍යොතිෂය

උපතේදී සෙනසුරු ලග්නයෙන් අටවැන්නේ ඒරාෂ්ටකව පිහිටා ඇත. වර්ෂ 30ට වරක් උදාවන ඒරාෂ්ටක අපල කාලයකදී අමතක නොවන කරදරයන් ඇති වන බව සාමාන්‍ය පිළි ගැනීමයි. මේ අනුවම උන්වහන්සේගේ මව්තුමිය, දින හතකින් අභාවයට පත්විය. වයස 16 පමණ ජන්ම ඒරාෂ්ටක අපලය වන සඳු මතින් ශනි ගමන් කරන විට නෑදෑයන්ගේ විරෝධතා සමනය කිරීමට ශිල්ප දැක්වීමට සිදු විය. වයස අවුරුදු විසිනවයේදී දෙවන ලග්න ඒරාෂ්ටක අපලය උදා විය. විශාල දුක් කන්දරාවන් විඳීමේ ආරම්භයවූ දුෂ්කර ක්‍රියා සමය උදාවන්නේ මෙම වයසේදීය. උන්වහන්සේගේ පරිනිර්මාණය සිදුව ඇත්තේ සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක අපලය වූ සඳු මතින් ශනි ගමන් කළ වයස 80 බව පැහැදිලි වේ.

සම්බුද්ධ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම්වලින් බුද්ධ චරිතය ද පැහැදිලි වේ. මෙම කේන්ද්‍රයේ උච්ච බලයෙන් යුක්ත කුජගෙන් ප්‍රතිවාදීන් දමනය කිරීමේ “පුරිස ධම්ම සාරථි” නම් බුදුගුණය නිවේදනය කරයි. දුෂ්කර ක්‍රියා කළ වසර හයක කාලය තුළ තිබූ ඉවසීම හා දරා ගැනීමේ ශක්තියද කුජගෙන් පෙන්වයි. උච්ච සිකුරු පුණ්‍යස්ථාන ගතවීමෙන් ප්‍රකට වන්නේ වාසස්ථාන පිළිබඳ වාසනාව හා පෙර පිනයි. සියලු ඇලීම් අත්හැර තිබුණ ද උන්වහන්සේට ජේතවනාරාමය, පූර්වාරාමය, ඝෝෂිතාරාමය වැනි මනරම් ආරාමවලින් පුදනු ලැබිණ. අදත් ඉන්දියාවේදී මෙම ආරාමවල නටඹුන් දැකිය හැකි වේ. හඟවා යන්න භාග්‍යවත් බව ද මෙයින් සංකේතවත් වේ. සියලු පූජාවන්ට සුදුසු වූ යන අරහං ගුණය බලවත් රවිගෙන් පෙන්වයි. ඉතා දුර්ලභ ග්‍රහ පිහිටීම්වලින් සමන්විත උන්වහන්සේ “ආශ්චර්යවත් මනුෂ්‍යයකු” බව උන්වහන්සේ විසින්ම වදාළහ.

සත්ත්වයකු මෙලොවට බිහිවන්නේ පෙර කර්මයකම ප්‍රතිඵලයක් වශයෙනි. මෙයින් මනුෂ්‍යයකු බිහිවන මොහොතේ ඊට උපකාර වූ කර්මය හා උපතේ සිට විපත දක්වා උදාවන සැප, සතුට, ජයග්‍රහණ මෙන්ම දුක, අසතුට හා පරාජයන්වල හේතුව ද සංසාර ගත පූර්ව කුශල අකුශල කර්ම හා බැඳී පවතී. මේ කර්ම විපාක පිළිබඳව බුදුරජාණන් වහන්සේට හා සිත දියුණු කළ උතුමන්ට දැනගත හැකිය. කාලදේව තව්සාද එවැන්නෙකි. තමන්ට පිය රජු විසින් සිදුහත් කුමරු පෙන්වූ විට මුලින්ම සිනහවී පසුව හැඬූ බවත්, ඊට හේතුව කුමරු අනාගතයේදී බුදුවන නමුත් තමා ඒ වනවිට මියගොස් ඇති බවත් එම තවුසා දුටුවේය. ඍෂිවරුන්ට එවැනි ඥානයක් තිබේ.

ජන්මපත්‍රය හෙවත් කේන්ද්‍රය යනු යම් කෙනෙකු උපදින විට රැගෙන ආ කර්ම විපාක පෙන්වන සටහනයි. කේන්ද්‍රයේ කොටු දොළහකි. ග්‍රහයින් නව දෙනෙකි. ග්‍රහ පිහිටීම් මත මෙම භාව දොළහ බල – දුබල වෙයි. භාව දොළහෙන් ශරීරයේ හිසේ සිට පාදාන්තය දක්වා සංකේතවත් කරන අතර එම භාව බලවත් නම් භාවයට අයිති ශරීර අවයවයන් ශක්තිමත්වත්, ලස්සනටත් පිහිටයි. බලවත් පිහිටීම් නොඅඩුව තිබූ බුද්ධ ශරීරය තරම් කඩවසම් රූප සම්පත්තියක් මේ තුන් ලොවම කිසිවෙකුට පිහිටා නොතිබූ බව ද උන්වහන්සේට මහා පුරුෂ ලක්‍ෂණ තිස්දෙකක් තිබූ බව ද සඳහන් වේ.

අප අතර සිටින අයගේ කේන්ද්‍රවල ග්‍රහ පිහිටීම්වල ද බල දුබලකම් තිබේ. දුබල ග්‍රහයාගෙන් නිවේදනය වන කරුණු දුර්වලව උපද්ද වන්නේ පෙර අකුශල කර්ම විපාක වශයෙනි. ග්‍රහ අපල යනු මේ කර්ම විපාක වේ. අපල දුරු කිරීම සඳහා අදාළ අකුශල කර්ම යටපත් කළ හැකි කුශල කර්ම කළ යුතුය. ශාන්ති කර්ම වශයෙන් හඳුන්වන්නේ ද මේවාය. පහත සඳහන් වන්නේ ග්‍රහ අපල ලෙස හඳුන්වන දේ සහ කළ යුතු ප්‍රතිකර්ම සැකෙවිනි.

රවි

බුදු, පසේබුදු, මහරහත් උතුමෝද, මව් පියන්ගෙන් විශේෂයෙන් පියාද රවිගෙන් නිවේදනය වේ. මේ අයට අපහාස උපහාස කරන ලද යුතුකම් නොසැලකූ අයගේ කේන්ද්‍රවල රවි නීචව සතුරුව දුර්වලව පිහිටයි. මේ අනුව රවි අපලය ලෙස, සමාජයේ පිළිගැනීමක් නැති බව, අගෞරව ලැබීම, නින්දා අපහාස විඳින්නට සිදුවීම, රත්පිත් රෝග, හෘදය රෝග, රුධිර ධාවනය ගැටලු වැනි අසනීප ආදී අපල ඇති වේ. තනතුරු අහිමිවීම ද සිදු වේ. උතුමන්ට, සමාජයට සේවය කරන අයට නින්දා කිරීම ද රවි අපල ඇති වන අකුශල කර්මයකි. ආලෝක පුජාව, ගරුකළ යුත්තන්ට ගරුකිරීම ආදිය අපල දුරුවීමට හේතු වේ.

සඳු

ජ්‍යොතිෂයේදී සඳුගෙන් මව නිවේදනය කෙරේ. මව, සිල්මාතාවන්, භික්‍ෂුණීන්, ආච්චි අම්මා, ගුරුමාතාව වැනි උසස් අයට හෙවත් තමන්ට කාරුණික වූ අයට කරන ලද අකටයුතු නිසා සඳුගේ අපලය උදා වෙයි. මේ නිසා කල්පනා ශක්තිය දුර්වලවීම, අලස බව, පීනස, සෙම් රෝග, මිතුරන් අමනාපවීම්, උමතු බව, සරම්ප, ඇදුම වැනි රෝග ඇති වේ. මනස දුර්වලව උපදී. බෝධි සත්ත්වයන් වහන්සේගේ කේන්ද්‍රයේ ලග්නපති සඳු දිග්බලව බලවත්ව පිහිටා ඇත. උන්වහන්සේගේ උසස් කාරුණික බව නිවේදනය කරයි. අම්මා, කිරිඅම්මා, දසසිල් මාතාවන්, ගුරු මෑණිවරුන් වැනි අයට දන්දීම අපල දුරුවීමට හේතු වේ.

කුජ

ධන ලාභ, නිර්භීත බව, සතුරන් හා තරගකරුවන් මර්දනය කර ගැනීමට හැකියාව කුජ බලවත් අයට පිහිටන ගති ගුණ වේ. එමෙන්ම අනතුරු, තුවාල, ලේ සෙලවීම්, කලකෝලාහලවලට මැදිහත්වීමට සිදුවීම ආදී අපල කුජ නීච, අස්න හා දුර්වල අයට ඇති වේ. මෙයට හේතුව ද මාපියන් වැනි උතුම් අයට පහරදීම, ලේ සෙලවීම ආදිය නිසාය. පෙර ආත්මවල එවැනි අකුශල කර්ම කර ඉපදුනු අයට කුජ අපල ඇති වේ. බුදුහිමියන්ගේ ලේ සෙලවූ දේවදත්ත තවමත් නිරයේ දුක්විඳින බව උදාහරණයකි. තුවාල ලත් රෝගීන්ට උපහාර කිරීම, ලේ දන්දීම හා අභයදානය දීම නිසා කුජ අපල දුරු වේ.

බුධ

බුධ කන්‍යාවට අධිපති ග්‍රහයාය. කතාකරන විට සිදුකරන ලද වැරදි සහිත අකුශල කර්ම නිසා බුධගේ අපල ඇති වේ. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන හා හිස් වචන කීම, කතාවෙන් සිදුවන වැරදි වේ. මේ නිසා ගොත ගැසීම, ගොළු බව, කථන ආබාධ, සිහිය හෙවත් බුද්ධිය දුර්වලවීම, ස්නායු ගත රෝගවලින් පෙළීමට ද සිදුවිය හැකිය. වලිප්පුව, අපස්මාරය වැනි රෝගවලට ද හේතු විය හැකිය. බුධ බලවත් නම් දක්‍ෂ කථිකයන්, චිත්‍ර ශිල්පීන්, ලේඛක වැනි දක්‍ෂයන් බිහි වේ. ඖෂධ පූජාව, දහම් පඬුරු පූජාව, අධ්‍යාපන උපකරණ පරිත්‍යාගය වැනි දේ බුධ අපලය දුරුවීමට හේතු වේ.

ගුරු

ගුරුගෙන් නිවේදනය වන්නේ ගුරුවරුය. මව්පියන්, තිලෝගුරු බුදුහිමියන් ගුරු භවතුන්ට කරන ලද අකටයුතුකම් නිසා ගුරුගේ අපලය ඇති වේ. තවද සිල්වත්, ගුණවත් අය ද ගුරුගෙන් නිවේදනය වේ. ගුරු දුබලව උපදින අයට ශරීරය තරබාරුවීම, නැතහොත් පුංචිවීම, මේදය හා සීනි නිසා ඇති වන රෝග, නින්දා අපහාස විඳීමට සිදුවීම, මිතුරන් නැතිවීම, ධන හානිවීම, ප්‍රඥාව දුර්වලවීම ඇති විය හැකිය.

ඉහත අයට බෝධි පූජාව, අටපිරිකර හෝ සිවුරු පූජාව, සිල්වතුන්ට, ගුණවතුන්ට වතාවත් කිරීම, ආදිය මඟින් ගුරු අපලය දුරුකර ගත හැකි වේ. කර්මය, විපාකය හා ප්‍රතිකර්මය මේ අනුව අවබෝධ කරගත හැකි වේ.

සිකුරු

අලංකාරය, සෞන්දර්ය, කම්සැප, විවාහය නිවේදනය කරන්නේ සිකුරුගෙනි. අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, ඊර්ෂ්‍යාවෙන් කරන ලද නොමනත් කම්, කාමයේ වරදවා හැසිරීම, අනුන්ගේ සැපතට බාධා කිරීම වැනි අකුශල කර්ම නිසා දුර්වලව උපදින අයට සිකුරු අපලය හේතුවෙන් විවාහ බාධා, පවුල් අවුල්, මුත්‍රා දෝෂ, ගර්භාෂයේ රෝග, ප්‍රජනන පද්ධතියේ දෝෂ ආදිය ඇති වේ. සිකුරු නිවේදනය කරන කන්‍යා ස්ත්‍රීන්ට, ගර්භණී මාතාවන්ට බෙහෙත් ආදිය දීම, අනුන්ගේ සැපතේදී සතුටුවීම කළ යුතුය.

සෙනසුරු

සෙනසුරු ග්‍රහ මණ්ඩලයේ මෙහෙකරු වශයෙන් සලකණු ලැබේ. එයින් නිවේදනය වන්නේ ජන්මියාට සේවය කරන අය බැවිනි. පෙර ආත්මවල සේවකයන්ට බත්, වැටුප් නොදීම, තලාපෙලා වැඩ ගැනීම, දුකට සවන් නොදීම, සතුන්ගෙන් වැඩගෙන මස් පිනිස විකිණිම වැනි පාපකර්ම ශනි අපලයට හේතුවෙයි. මාරක අපල, සේවකයන් ද්‍රෝහිවීම, උසස්වීම් නොලැබීම, ධන හානි වීම, වාතාබාධ, සෙම් රෝග වැනි අපල ඇති වේ. සිල්වත් උතුමන්ට දන්දීම, යාචක දානය, රෝගීන්ට දන්දීම ප්‍රතිකර්ම වේ.

රාහු

රාහු නමින් දෘශ්‍යමාන ග්‍රහයකු නොමැති අතර මේ ග්‍රහයා ඡායා ග්‍රහයෙකි. රාහු අපල ලැබූ විට අදූරදර්ශී බව, නිෂ්පල ගමන් යෑම, නිෂ්පල වියදම්, උදරාබාධ ආශ්‍රිත හිසේ රෝග, ගෑස්ට්‍රයිටිස් ආදී රෝග අවධානය, චිත්ත ඒකාග්‍රතාවය හීනවීම පෙන්වයි. අධ්‍යාපන කටයුතු අඩපණ කරයි. ඉක්මනින් කෝප වේ. බොහෝ විට මෙයට හේතුවන අකුශල කර්මය මත්ද්‍රව්‍ය ගැනීම බව පෙනේ. අපල දුරුකර ගැනීම සඳහා සුවඳ ධූප පූජාව, භාවනාව හා චන්ද පිරිත, සූර්ය පිරිත භාවිත කිරීම නිර්දේශ කෙරේ.

කේතු

කේතු ද ඡායා ග්‍රහයෙකි. අපලය ලැබූ පුද්ගලයාගේ දක්‍ෂතා පිටට නොපෙනේ. අඳුරට මුල්ලට තල්ලුවී සිටින්නෙක් වේ. පෝෂණ ඌනතා නිසා ඇතිවන මන්දපෝෂණය, කෙට්ටුවීම, ඔසප් දෝෂ, කුෂ්ඨ, ධන හානි ආදී අපල පෙන්වයි. ප්‍රධාන හේතුව ඊර්ෂ්‍යාවෙන් හා කුහකකමින් කරන ලද අකුශල කර්ම වේ. ද්වේශය මූලික වේ. අනුන්ට මෙත් වැඩීම, යකඩ විටමින් අඩංගු ආහාර ගැනීම, කරණීය මෙත්ත සූත්‍රය භාවිත කිරීම අපල දුරුවීමට හේතු වේ.

මේ හැර ග්‍රහ ශාන්ති කර්ම බොහෝය. මෙවැනි ලිපියකින් ඒක දීර්ඝ ලෙස විස්තර කළ නොහැකි වේ. තවද පෙර ආත්මය, මතු ආත්මය ආදී ආත්ම හතක ඉපදීම ගැන ද ජන්මපත්‍රයෙන් විස්තර කරන ක්‍රම ජ්‍යොතිෂ්‍යයේ සඳහන්ය. ඍෂිවරුන් විසින් ප්‍රකාශ කරන ලද ජ්‍යොතිෂය ලෞකික විද්‍යාවකි. ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ආදී විෂයයන් මෙන්ම එය ද ලෞකික දියුණුවට යොදාගත හැකි අතර නිවන් ලැබීම සඳහා නොවේ.

පෙර කර්මවල විපාක තිබේ ද නැද්ද යන්න ද එම කර්ම විපාක මඟහරවා ගත හැකි අන්දම ද දැන ගත හැකි වෙනත් කිසිදු විද්‍යාවක් නැති බව ද අවසාන වශයෙන් සටහන් කරමු.

බුද්ධ චරිතය සහ ජ්‍යොතිෂය

ජ්‍යොතිර්වේදී කැගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment