බුදුමඟට වසර 15යි

31

උපාලි පුවත්පත් සමාගමේ බෞද්ධ පුවත්පත වන, සෑම පුරපසළොස්වක පෝ දිනකම නිකුත් වන ‘බුදුමඟ මාසික ධර්ම සංග්‍රහය’ ජුනි 07දා (හෙට) 15 වැනි වසර සපුරයි.

2009 වසරේ ජුනි 07 වැනි දින බුදුමඟ පුවත්පතෙහි මංගල කලාපය එළිදැක්වුණේ එවකට දිවයින ඉරිදා සංග්‍රහයේ ද කතුවරයා වූ ගාමිණි සුමනසේකරයන්ගේ සංස්කාරකත්වයෙනි.

ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වඩවන සමබර ලිපි එකතුවකින් සමන්විත බුදුමඟ පුවත්පත ගත වූ වසර 15 තුළ කැපී පෙනෙන පාඨක භක්ත්‍යාදරයක් දිනාගැනීමට සමත් වී ඇත.

බුදුමඟ 15 වැනි සංවත්සරය නිමිත්තෙන් උපාලි පුවත්පත් සමාගමේ හෝමාගම කර්මාන්ත සංකීර්ණයේ බුදුමැඳුර හා බෝධීන්වහන්සේ අබියස දී විශේෂ ආශිර්වාද පූජාවක් හෙට දින පැවැත්වේ.

‘බුදුමඟ’ මුල්ම පත්‍රයේ අප පළ කළ කතුවැකියේ සඳහන්ව තිබූ ඡේදයක් ද පහතින් අද අප පළ කරන්නෙමු.

‘බුදුමඟ’ ජාතික සංස්කෘතික අධ්‍යාත්මය සුපුෂ්පිත කරවීමේ සද්චේතනාවෙන් ම ඔබ අතට පත්වන ධර්ම සංග්‍රහයකි. අද අප ජීවත් වන්නේ වල්මත් වූ සමාජයකය. අපගේ ඇවතුම් පැවතුම් මෙන්ම අපගේ අපේක්‍ෂාවන් හා අභිලාෂයන් අප අධ්‍යාත්මය සුපුබුදු කළ බුදුමඟ සමග කිසිසේත් නොසැසඳෙන, නොගැළපෙන, නොපෑහෙන ඒවා බව අමුතුවෙන් කිව යුතු ද?

බුදුමඟ ගැඹුරු දාර්ශනික සත්‍යයක් මෙන්ම අපගේ ජීවන චර්යාව නිසි මඟට යොමු කරවන සාරධර්ම පද්ධතියකින් ද පිරිපුන්ය. මංමුළා වූ දැයකට, රටකට අලුතින් සිතන්නට සුදුසුම උචිතම අවධියකට අපි එළැඹ සිටින්නෙමු. නොපහන් සිත සුපහන් කිරීමට ද අයාලේ ගිය ජීවිතයට අපේක්‍ෂාවක් ලබාදීමට ද අද අපට අවස්ථාව උදා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment