පොලිස් භාරයේදී කාන්තාවක මියයෑම ගැන සීඅයිඩී විමර්ශනයක්

222

ඥාතීහු උසාවිය ළඟ නිහඬ විරෝධතාවක

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී 42 හැවිරිදි කාන්තාවක මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තම දෙපාර්තමේන්තුව ආරම්භ කළ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මාධව ගුණවර්ධන මහතා ඊයේ (24දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාට දැනුම් දුන්නේය.

එකී විමර්ශන විධිමත්ව හා විනිවිද ආකාරයෙන් සිදුකර ලබන 2 වැනිදා තම අධිකරණයට ප්‍රගතිය වාර්තා කරන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

බොරැල්ල කොටා පාරේ පිහිටි සුධර්මා නෙත්තිකුමාර නමැති අයගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කළ ආර්. රාජ්කුමාරි නමැති බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව සිය නිවසේ තිබූ රන් භාණ්ඩ සොරකම් කර ඇති බවට නිවසේ හිමිකාරිය පසුගිය 11 වැනිදා වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියදී හදිසියේ රෝගාතුරව මියගොස් තිබිණි.

මේ අතර ඇගේ මරණයට සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලා ඇගේ ඥාතීන් ඇතුළු පිරිසක් ඊයේ (24දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වූහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment