බුදු වදනෙහි පිහිටා ලෝකයම ජය ගනිමු

336

තවත් වෙසක් උත්සවයක් ඊයේ සමරන ලදී. වෙසක් යනු ලෝකයේ සාමකාමීම ආගමික උත්සව වලින් එකකි. එම සාමය පවත්වාගෙන යා හැකි ආකාරයට රජය දැඩි නීති රීති යොදා තිබේ. වෙසක් දෙදින මස් මාළු විකිණීම තහනම් ය. වෙසක් සතිය පුරාම මත්පැන් හල් වසා තිබේ. සාමාන්‍යයෙන් මිනිසුන් විසින් පස් පවින් වැළකීම කළ යුත්තේ නීති රීති නිසා නොවේ. එය හදවතින්ම එන හැඟීමක් විය යුතු අතර එක දවසක් මස් නොකෑවාට මිනිහෙක් මැරෙන්නේ නැති බව අප දත යුතුය. වෙසක් උළෙල මගින් මෛත්‍රිය හා ප්‍රතිපත්ති පූජාව ඉහළින්ම වපුරනු ලැබේ. කුඩා දරුවන් එක්ව වෙසක් සැරසිලි කරන්නේ ඉමහත් ආස්වාදයක් ලබමිනි. මෙවර වෙසක් උත්සවය යෙදුනු ඊයේ සිට ලබන සඳුදා දක්වාම දන්සැල් වලින් මේ රට පිරී ගොස් තිබේ. බුරියානි දන්සල් දෙන්න බැරි නම් අවම වශයෙන් කොත්තමල්ලි දන්සැලක් හෝ දීමට මිනිස්සු කැමති වෙති. ආසියාව යනු බුදුන් වහන්සේ වැනි අනාගත වක්තෘන් වහන්සේලා රැසකගේ නිජ බිමයි. අපේ රට පිහිටා තිබෙන්නේ බුදුන් වහන්සේගේ මෛත්‍රී චින්තාවේ ආලෝකය පතිත වන භූමියකය.

අප වෙසක් උත්සවය සමරන මේ මොහොතේදී ලෝකයෙහි ප්‍රධාන යුද්ධ දෙකක් පවතී. ඉන් පළමුවැන්න රුසියාව සහ යුක්‍රේනය අතර භයානක සංග්‍රාමයයි. දෙවැන්න නම් ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගාසා තීරය අතර පවත්නා යුද්ධයයි. මේ දෙකට අමතරව ලෝකයේ තවත් රටවල් සිය ගණනක පුංචි පුංචි සිවිල් යුද්ධ පවතී. උදාහරණයක් වශයෙන් සෝමාලියාව ගත්තොත් අවුරුදු ගණනාවක සිටම සිවිල් යුද්ධයක් පවතින රටක් ලෙස දැක්විය හැකිය. එසේ වුවද වඩාත්ම බරපතළ යුද්ධය වන්නේ පලස්තීනයට අයත් ගාසා තීරයේ තිබෙන යුද්ධය වේ. මේ යුද්ධය පටන්ගන්නා ලද්දේ පලස්තීනයේ හමාස් ගරිල්ලන් විසිනි. ඔවුහු මීට මාස කිහිපයකට පෙර ඊශ්‍රායලය තුළට කඩා වැදී හදිසි ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය යනු හමාස් සංවිධානය මෙන් දහස් ගුණයක යුද බලයක් ඇති රටකි. දවසක් ඇතුළත ලක්ෂ ගණනක් සමූල ඝාතනය කිරීම සඳහා අවශ්‍ය අවි ආයුධ ද මුදල් ද පිරිස් බලය ද ඔවුන් සතුය. විශේෂයෙන්ම ඔවුන් යුද වදින්නේ high-tech ක්‍රමයටය. මේ සඳහා ඩ්‍රෝන සහ අධි බල මිසයිල පමණක් යොදාගනු ලැබේ. සතුරන් තිහ හතළිහක් එකවර මැරීමට ඩ්‍රෝනයකට පුළුවන. එමෙන්ම ඕනෑම බලසම්පන්න යුද ගුවන් යානයක් පිටුපසින් ගොස් එහි එන්ජිමෙහි වැදී සියල්ල කුඩු පට්ටම්කර දැමීමට ඊශ්‍රායලයට පුළුවන. හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දුන්නේ තමන් පරදින බව ස්ථිර වශයෙන්ම දැනගෙනය. හමාස් සංවිධානයේ මේ මෝඩ ක්‍රියාව නිසා ගාසා තීරයේ ජනගහනයෙන් 40% ක් හෙවත් 900000 ක් අවතැන්ව සිටිති. ඊට අමතරව 50000 ට කිට්ටු පිරිසක් මරණයට පත්ව ඇත. 80000 කට කිට්ටු පිරිසක් තුවාල ලබා ඇත. ඊශ්‍රායල් හමාස් යුද්ධයට මාස 7 ක් සම්පූර්ණ වී ඇත. මෙය ලෝකයේ දෙවන අධිතාක්ෂණික යුද්ධය ලෙස හැඳින්වීමට පුළුවන. (පළමුවැන්න රුසියන් – යුක්‍රේන් යුද්ධයයි) ඊශ්‍රායල් ප්‍රහාර වලින් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ කුඩා දරුවෝය. මේ දරුවෝ තමන් තුවාල ලැබීමට හෝ මිය යෑමට හේතුව කිසිසේත්ම දන්නේ නැත. ඔවුන් දැන සිටියේ සෙල්ලම් කිරීමට පමණි. ඊශ්‍රායලය මේ වන විට ඕනෑවටත් වඩා හමාස් සංවිධානයෙන් පළිගෙන තිබේ. මේ යුද්ධය දැන්වත් නතර නොකොළොත් ගාසා තීරය ඉදිරියේදී මනුස්සයන්ගෙන් විනිර්මුක්ත භයානක ප්‍රදේශයක් වනවා ඇත.

වෙසක් උත්සවය නිමිත්තෙන් මුළු මහත් ලෝකයෙන්ම අපි ඉල්ලීමක් කරමු. වෛරය පතුරුවන යුද්ධයෙන් ඉවත්ව සිටින ලෙස අපි ලෝකයෙන් ඉල්ලමු. අපේ ඉල්ලීම කවුරුවත් සත පහකට ගණන් ගන්නේ නැත. අපි එයද දනිමු. එහෙත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බටහිර රටවල් එක්වී ජපානයෙන් විශාල වන්දියක් අය කර ගැනීමට තැත් කරන ලද අවස්ථාවේදී වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව බුදු වදනකින් උපුටා දක්වමින් ජේ. ආර්. ජයවර්ධන කතාවක් කළේය. එම කතාවෙන් පසු ජපානයෙන් වන්දි අයකර ගැනීම නැවැත්වීමට ලෝකවාසීහු තීරණය කළහ. එදා අපි ජපානයෙන් වන්දි අය කිරීමට වෙන රටවල් පොළඹවන ලද්දේ නම් අද වන විටත් ජපානය ලෝකවාසීන්ගෙන් හිඟාකන රටක් බවට පත්වන්නේය. ඒ නිසා බුද්ධ වචනයෙහි පිහිටා කටයුතු කරන ලෙස අපි ලෝකවාසීන්ගෙන් මේ මොහොතේදී ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment