මෝල් ගහ පත්තුවෙයි වංගෙඩිය පුපුරයි

2310

නරක කාලයට මෝල් ගසද පත්තු වෙතැයි යනුවෙන් ඉතා පැරණි මළකඩ කෑ ප‍්‍රස්ථාව පිරුළක් තිබේ. මේ ප‍්‍රස්ථාව පිරුළ අලූත් වෙමින් පවතින අතර නරක කාලයට මෝල් ගස පත්තු වීමෙන් නොනැවතී  වංගෙඩිය ද පුපුරා යන තත්ත්වයක් මතුවෙයි. ආණ්ඩුවට සහ රාජපක්ෂවරුන්ට සම්බන්ධ සෑහෙන පිරිසක් සොරුන් බවට හඬ නගන දහස් ගණනක් සති අන්තයේදී කොළඹ ගාලූ මුවදොර පිටියට එක්වී උද්ඝෝෂණයක නිරත වූහ. මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරකු වූ ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මුදල් වංචා කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් ඇමරිකාවේ වොෂින්ටන් ඞීසී නගරයේ උසාවියකින් වරදකරු වන්නේ මේ නොබෝදාය. හිටපු ශ‍්‍රී ලංකා තානාපතිතුමා වොෂින්ටනයේ පිහිටි ඇමරිකන් තානාපති කාර්යාලය සඳහා අලූතින් ගොඩනැගිල්ලක් ගන්නට ගොස් ඇමරිකන් ඩොලර් ලක්ෂ කීපයකට කෙළින්නට ගත් උත්සාහය මේ නඩුවේ නිමිත්තය. මේ වරදට අදාළ තීන්දුව තව තුන් මාසයකින් පමණ ලැබෙනවා ඇත. මේ වරදට දඬුවම ඇමරිකන් හිර ගෙදරක පස් අවුරුද්දකට නොවැඩි හිර දඬුවමක් හා දඩ මුදලකි. හිරේ යන්නට සිදු වුවත් ජාලිය වික‍්‍රමසූරිය වාසනාවන්තය. මන්ද ලංකාවේ තිබෙන කක්කුස්සිවළවල් හා සමාන කුණු හිරගෙවල් ඇමරිකාවේ නැත. ඒ රටේ හිර ගෙවල්වල සීත කාලයට හීටර් වැඩ කරයි. උෂ්ණ කාලයට ඒ සී වැඩ කරයි. ඇතැම් සිර මැදිරි වලට ටී වී සහ ටෙලිෆෝන් පහසුකම් තිබේ. මේ නිසා හිරේ ගියත් ගෙදර ඉන්නවාක් වැනි සැපක් ගැනීමට හිටපු තානාපති වික‍්‍රමසූරියට පුළුවන. කෙසේ වුවද අවසන් විග‍්‍රහයේදී නෑදෑ සනුහරය සහ යාළු මිත‍්‍ර සනුහරය විසින් රාජපක්ෂවරුන් කා දමා ඇති බව පෙනේ. මිනිහකුට දේශපාලනඥයකු වශයෙන්  ගොඩනැගීමට සෑහෙන කාලයක් අවශ්‍යය. එහෙත් විනාශවීම සඳහා ඒ මනුස්සයාට වැය වන්නේ ඉතා කෙටි කාලයකි. කාලය සහ ක‍්‍රියාව අතර වැදගත් සම්බන්ධයක් තිබේ. මේ සම්බන්ධය වැරදි ලෙස පාවිච්චි වූ කල්හි ඊට අදාළ පුද්ගලයා භෞතික වශයෙන් නොවුණත් අධ්‍යාත්මික වශයෙන් හෝ කාලක‍්‍රියා කරයි. ආණ්ඩුව ඉතා නරක ලෙස ජනතාවගේ විරෝධයට ලක්ව තිබෙන මේ මොහොතේදී ජාලිය වික‍්‍රමසූරියගේ නඩු තීන්දුව ඉතා නරක ලෙස ආණ්ඩුවට එරෙහිව පාවිච්චි වෙමින් පවතී. ඒ මදිවාට පැන්ඩෝරා පත‍්‍රිකාවල නම සඳහන් වුණු නිරූපමා රාජපක්ෂ ද පසුගියදා ශ‍්‍රී ලංකාවෙන් පිටව ගියාය. නිරූපමා රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කිට්ටු ඥාතීත්වයක් ඇති අය වෙති. නිරූපමා සහ බලයේ සිටින රාජපක්ෂවරුන් අතර හොඳ හිතක් කවදාවත්ම තිබුණේ නැත. නිරූපමා වෙනුවට රාජපක්ෂවරුන් සමග හොඳ හිත නඩත්තු කළේ නිරූපමාගේ සැමියා වූ තිරුකුමාර් නඬේසන්ය. එහෙත් ආණ්ඩුව පතෝල මැස්සක් මෙන් අස්ථාවරව පවත්නා මෙවැනි වෙලාවක නිරූපමා රාජපක්ෂ රටින් පිටව ගිය විට එයට ලැබෙන අර්ථ නිරූපණය වන්නේ නිරූපමා රටෙන් පැන ගිය බවය.

 ආණ්ඩුව මේ මොහොතේදී ජනතාවගේ විරෝධතා හඬට සවන්දීම ඉතාම වැදගත්ය. ආණ්ඩුවේ සමහර දේශපාලනඥයන් මෙයට හය මාසයකට පෙර ප‍්‍රසිද්ධ වේදිකාවල කයිවාරු ගසද්දීත් මේ විරෝධතාව ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබිණ. ආණ්ඩුව ඒ කාලයේදීම මේ ප‍්‍රශ්න වලට උත්තර සෙවීමට පෙළඹුණේ නම් ආණ්ඩුවේ අමුඩය මේ තරමට සිරවන්නේ නැත. සිරවූ අමුඩය ගලවා ගැනීමට නොහැකි වීම ශාරීරික ඛේදවාචකයකි. එය ගලවා ගැනීමට බැරිව කැපීමට සිදු වුවහොත් එතැන් සිට සියල්ල නිදැල්ලේය.

 පසුගියදා ඉල්ලා අස්වූ කැබිනට් ඇමැතිවරුන් 27 දෙනකු විසින් පරිහරණය කෙරුණු රජයේ වාහන සහ රජයට අයත් සියලූ දේපල ද ගොඩනැගිලි ද වහාම ක‍්‍රියාත්මක වන පරිදි මහා භාණ්ඩාගාරය යටතට පවරා ගන්නැයි නියෝග ලැබී තිබේ. මේ රටේ මැති ඇමැතිවරුන් සතු කැත පුරුද්දක් ඇත. ඒ වූකලී බලයෙන් පහවූ පසුද බලය තිබුණු කාලයේදී පරිහරණය කළ ආණ්ඩුවේ දේපල ඒ ආකාරයෙන්ම ආපසු භාර නොදී පරිහරණය කිරීමය. හිටපු මන්ත‍්‍රීවරු මෙය වැඩි වශයෙන්ම කරන්නේ නිවාස සහ වාහන සම්බන්ධයෙනි. මන්ත‍්‍රී කෙනකු හෝ ඇමැති කෙනකු ඡුන්දයෙන් පැරදී ආණ්ඩුවෙන් ලැබුණු නිවාසයට යන ගමන යන්නේ ආණ්ඩුවෙන්ම ලැබුණු වාහනයෙනි. මෑත ඉතිහාසයේදී මෙසේ නොකළ දෙතුන් දෙනෙක් වෙති. ඒ වූකලී විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ සුසිල් පේ‍්‍රම්ජයන්තය. තමා දරමින් සිටි රාජ්‍ය ඇමැති තනතුරින් නෙරපා හරිනු ලැබූ සුසිල් පේ‍්‍රමජයන්ත ආණ්ඩුවෙන් දුන් වාහනය ඇතුළු සියලූ දේ අමාත්‍යංශයට භාර දී ත‍්‍රීවීලරයකින් ගෙදර ගියේය. මෙය ඒ වෙලාවේදී කිසියම් ෂෝ එකක් ලෙස අර්ථකථනය කෙරුණ ද වඩාත් ගැඹුරින් සිතා බලන විට ආදර්ශමත් කටයුත්තක් ලෙස අර්ථ නිරූපණය කළ හැකිය. ගිය ආණ්ඩුවේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ට දුන් රජයේ නිවාස සෑහෙන ගණනක් මෑතක් වනතුරු ආපසු ලැබී තිබුණේ නැත. ඇතැම් මන්ත‍්‍රීවරු අයථා ලෙස මුදල් හම්බකර ගැනීමට නොහැකි වූ නිසා දුප්පතුන් ලෙස ජීවත්වන බව අපි පිළිගනිමු. විශේෂයෙන් දුර බැහැර ගම්මාන වලින් එන සාමාන්‍ය පංතියේ මන්ත‍්‍රීවරුන්ට ස්වකීය පළමුවන පාර්ලිමේන්තු අවුරුදු පහේදී ගසා කන ආකාරය ගැන අත්දැකීමක් නොමැත. අනෙක සල්ලියක් හොරා කන්නට නම් අඩුම ගණනේ නියෝජ්‍ය ඇමැති කෙනෙක්වත් විය යුතුය. මේ මට්ටමෙන් කෙරෙන දේශපාලනයේදී ආණ්ඩුව පැරදුනොත් ගමෙන් ආ තවමත් දුප්පත් (ඔහු ඊළඟ ආණ්ඩු කාලයේදී පොහොසත් වනු ඇත) මන්ත‍්‍රීට යන එන මං නැතිවෙයි. මේ වනවිට ඔහු සිය දරුවන් කොළඹ ඉස්කෝලවලට දමාගෙනය. බිරියට කොළඹින් රැුකියාවක් සොයා ගෙනය. ආණ්ඩුව පෙරළුනොත් කොළඹ ගෙයක් නැති නිසා මාදිවෙල පිහිටි මන්ත‍්‍රී නිවාස සංකීර්ණයේ තවදුරටත් ජීවත් වීමට ඔවුනට සිදුවෙයි. එවිට ඊළඟ ආණ්ඩුවෙන් පත්ව එන මන්ත‍්‍රීලාට මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණයෙන් ගෙවල් නැතිවෙයි. මේ නිසා කොළඹ දිස්ත‍්‍රික් සීමාවෙන් පිටත සිට එන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වැඩි දෙනාට කොළඹින් නිවසක් ගැනීමට සිදුවේ. මන්ත‍්‍රී පඩියෙන් එය කරගැනීමට බැරිවීම නිසා හොරා කන්නටද සිදුවේ. මන්ත‍්‍රීකම නැති වූ පසු ගේ භාරදීමට නොහැකිව හඬා වැලපෙන මන්ත‍්‍රීවරුන් එලියට ඇද දැමීම අමානුෂික ක‍්‍රියාවක් සේ පෙනීමට පුළුවන. එහෙත් රාජ්‍යයක් වශයෙන් ගත් කල රජයේ නිවාස අත්පත් කරගෙන සිටීමට මන්ත‍්‍රීවරුන්ට ඉඩ දීමට නොහැක. මෙතැනදී දරන්නට බැරිවන ලොකුම හේතුව ඔවුන් ආණ්ඩුව බලයේ සිටි කාලයේදී තමන්ට දුන් වාහනත් ආපසු භාර නොදී තබා ගැනීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළදී මෙවැනි අවිනීත ක‍්‍රියා රටේ පැවැත්මට නොගැලපේ. ඒ නිසා භාණ්ඩාගාරයේ තීන්දුව ඉතාම ප‍්‍රගතිශීලී බව අපගේ විශ්වාසයය.

advertistmentadvertistment
advertistmentadvertistment