බෞද්ධයාගේ අත්පොත

297

පළමුවෙන්ම යුරෝපයේ පළ වූ පාලි පොත වනුයේ ද ධම්මපදයයි. ඩේනිස් පඬිවරයකු වූ වික්ටර් ෆවුස්බෝල් මහතා විසින් ක්‍රි.ව. 1855 දී එය පළකරවන ලදී. මේ ග්‍රන්ථය පළමුවෙන්ම ඉංග්‍රීසි භාෂාවට නඟන ලද්දේ ලෝක ප්‍රකට පඬිවරයකු වූ මැක්ස්මුලර් මහතා විසිනි.

භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකය නමින් ප්‍රකටය. ඒ ත්‍රිපිටකයෙහි “වෝහාර දේශනා” – “පරමත්ථ දේශනා” – “ආණා දේශනා” යනුවෙන් ප්‍රභේදත්‍රයක් ඇතුළත් වේ. ව්‍යවහාරයෙහි එනම්, සම්මුතියෙහි, පවත්නා සංඥාප්‍රඥප්ති සාමාන්‍ය ජනයාට ඉතා හුරු පුරුදුය. පෘථග්ජනයා තුළ ව්‍යවහාරය කෙරෙහි මේ හුරුපුරුද්ද ඔවුන්ට විෂය ලෝකයෙහි තථ්‍ය ස්වරූපය වටහා ගැනීමෙහි බාධකයක්ව පවතී.

ලෝක ව්‍යවහාරය දැඩිව ග්‍රහණය කිරීමට පුරුදු වූ ජනයාට නිවන්මඟට පමුණුවන තියුණු වූ ද ගැඹුරු වූ ද වටහා ගැනීමට දුෂ්කර වූ ද සියුම් වූ ධර්මය අවබෝධ නොවෙන්නේ ඔවුන් රාගයෙන් රත්ව දෝසයෙන් දුෂ්ටව මෝහයෙන් මූඨව සිටින බැවිනි. මේ නිසා ම බුදුන් වහන්සේ ඔවුන්ට වැටහෙන ඔවුන්ට හුරුපුරුදු බසිනුදු ධර්මය දේශනා කළ සේක. ව්‍යවහාර දේශනා හෙවත් “වෝහාර දේශනා” යනුවෙන් ප්‍රකටව ඇත්තේ ඒ නියරින් දෙසූ දහමයි. එහි ඇතුළත් වනුයේ ස්ත්‍රී – පුරුෂ, නදී, පර්වත, වෘක්ෂලතා යනාදී වශයෙන් ලෝක ප්‍රඥප්තියට හුරුව පළ කළ කරුණුය. මේ මෙසේ වුවද බුදුන් වහන්සේ, චතුරාර්යය සත්‍යය, ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය, ත්‍රිවිධ ශික්ෂාව, සප්තබොධ්‍යාංග, සතර සතිපට්ඨානාදි ගැඹුරු ධර්මාර්ථ සූත්‍ර පිටකයට අයත් සෑම දේශනාවකම මූලාශ්‍රය ලෙස දක්වා වදාළ සේක. මේ දේශනා ත්‍රිපිටකයේ සූත්‍ර කාණ්ඩය සේ දැක්වේ. වෝහාර දේශනා යනුවෙන් ගැනෙන්නේ එයමැයි.

බෞද්ධයාගේ අත්පොත

අභිධර්මය නමින් ප්‍රකට ධර්ම කොට්ඨාසයක් ද ත්‍රිපිටකයෙහි ඇතුළත් වේ. ඒ වූ කලි ස්කන්ධ, ධාතු ආයතන, ඉන්ද්‍රියාදි වශයෙන් පටිච්ච සමුප්පාදය (හේතුඵල ක්‍රමය) මූලාධාරකොට දේශනා කරන ලද ධර්මයයි. එය බුද්ධ ධර්මයෙහි සාරය ලෙසින් ද

ගැනේ. ලෝක ව්‍යවහාරයන් මගින් ම ලෝකෝත්තර ගම්භීර ධර්මාර්ථ දේශනා කර වදාළ තථාගතයන් වහන්සේගේ සර්වඥතා මහිමයත්, විශ්වයේ යථා ස්වභාවයත්, දර්ශනයේ පරමාර්ථයත් බුද්ධ ධර්මයෙහි සාර්වභෞමත්වයත් ප්‍රකට වන්නේ අභිධර්ම දේශනාවෙනි. එහෙයින්ම එය පරමාර්ථ දේශනා යනුවෙන් හැඳින්වෙයි.

සීලවන්ත භාවයෙන් හා චිත්ත සමාධියෙන් යුතුව ලෝකෝත්තර ගුණධර්ම වර්ධනයෙහිලා ප්‍රෝත්සාහි වන්නා වූ යතිවරයන් වහන්සේලාගේ කායික, වාචසික චර්යාව පිළිබඳ නීතිරීති සමුච්චය අන්තර්ගත වනුයේ විනය පිටකයෙහිය. ප්‍රඥාව පිණිස පාරිශුද්ධත්වය අවශ්‍යය. එයම වෙනත් ලෙසකින් ද දැක්විය

හැකි ය. එනම් ගුණවන්තයකු නොවී ප්‍රඥාවන්තයකු විය නොහැකිය යනුවෙනි. “පඤ්ඤාය පරිසුජ්ඣති” යනුවෙන් කීයේ මැ නො. එසේ හෙයින් මේ විනය ශික්ෂා “ආණා දේසනා” යනුවෙන් ප්‍රකට වෙයි.

මේ අනුව නිවන් අවබෝධ කරන්නා ත්‍රිපිටකය පිළිබඳ මුළුමනින්ම පැහැදිලි දැනුමක් ලැබිය යුතු වේ. ත්‍රිපිටකයට අයත් ඒ ඒ පිටක අන්‍යොන්‍ය වශයෙන් දැඩි ලෙස බැඳී පවතී. එකක්, එකක් කේවල වශයෙන්

ගැනීමෙන් මේ සම්බන්ධතාව ගිලිහෙයි. විසිරෙයි. අවබෝධ කරගැනීමට පමණක් නොව කායික, වාචසික චර්යා වශයෙන් ප්‍රායෝගිකව කටයුතු කිරීමට ද මේ සම්බන්ධතාව තේරුම් ගෙන තිබිය යුතුය. ඇතැම් ධර්ම ග්‍රන්ථ ත්‍රිපිටකයටම අයත් කරුණු නියෝජනය කරන්නේ මේ නිසාය.

ව්‍යවහාර දේශනාව යනුවෙන් ප්‍රකට සූත්‍ර පිටකය නිකාය පසෙකින් සමන්විත ය.

එනම්,

  1. දීඝ නිකාය
  2. මජ්ඣිම නිකාය
  3. සංයුක්ත නිකාය
  4. අංගුත්තර නිකාය
  5. ඛුද්දක නිකාය යනුවෙනි.

මෙහි පස්වැනි ව සඳහන් වූ ඛුද්දක නිකාය හෙවත් කුදුගොත් සහිය ග්‍රන්ථ පසළොසකින් යුක්තය. ඒවා මෙසේය.

  1. ඛුද්දක පාඨ
  2. ධම්ම පද
  3. උදාන
  4. ඉතිවුත්තක
  5. සුත්ත නිපාත
  6. විමානවත්ථු
  7. පෙතවත්ථු
  8. ථෙරගාථා
  9. ථෙරිගාථා
  10. ජාතක
  11. නිදේදස
  12. පටිසම්භිදාමග්ග
  13. අපදාන
  14. බුද්ධවංස
  15. චරියාපිටක

මේ ග්‍රන්ථාවලියෙහි දෙවැනිව ආ ධම්මපදය පුස්තිකාවකි. එය ගැඹුරු මෙන්ම සරල ධර්ම කොටස් ද ඇතුළත් කොට සංග්‍රහ කරන ලද්දකි.

අභිධානය

මේ කෘතියට ‘ධම්මපද’ යන අභිධානය යොදා ඇත්තේ කවර හෙයින්දැයි විමසා බැලීම ද අවශ්‍යය. “ධම්මපද” යන අභිධානය හෙවත් නම යෙදීම පිළිබඳව පවත්නා මත ද කීපයකි.

“ධම්ම” යන්නෙහි මෙන්ම “පද” යන්නෙහි ද විවිධ අර්ථ ඇති හෙයින් එහි නාම සම්භවය පිළිබඳ ඉඳුරා එක අදහසක් දැක්වීම දුෂ්කරය. ධර්මය යන්න ආගම සඳහා ද යෙදේ. විශේෂයෙන්ම බුදුන් වහන්සේ දේශනා කළ දෙය ධර්මය වේ. එනම් සියලුම බෞද්ධයන් විසින් පිළිගෙන පිළිපැදිය යුතු ධර්මයයි. “ධම්ම” යන පාලි ශබ්දයෙන් ස්වභාවය, පර්යාප්තිය, ප්‍රඥාව, න්‍යාය, සත්‍යය, ප්‍රකෘතිය, පුණ්‍යය ආදී අර්ථ රාශියක් ප්‍රකාශ වේ. පද යන්නෙහි ද අර්ථ කීපයකි. තැන, ආරක්ෂාව, නිර්වාණය, හේතුව, වචනය, දෙය, පය, පියවර යන අර්ථ එයට දක්වා ඇත.

“ධම්මපදය” යනු (බුද්ධ) ධර්මය (එසේ නැතහොත් ආගම) පිළිබඳ පියවර යනු එක් මතයෙකි. ඇතැම්හු ඊට මාර්ගය යන අර්ථය දෙති. ධම්මපදයෙහි ම එන “අප්පමාදො අමතපදං – පමාදො මච්චුනො පදං” යන ගාථාවෙහි දැක්වෙන පරිදි “පදං” යන්න මාර්ගය යන අර්ථය ඇති බව පෙනේ. මෙහිම අරහත්ත වර්ගයෙහි 3 – 4 යන ගාථාවන්හි ද මල වර්ගයෙහි අවසන් ගාථාද්වය වූ 20 – 21 යන ගාථාවන්හි ද එන “පද” ශබ්දය ගතිය, ගමන යන අර්ථ දක්වයි. එම අදහස් අනුසාරයෙන් සලකා බලන කල ධම්මපද යන්නෙහි අර්ථය “පටිපදා මාර්ගය” යැයි දැක්විය හැක. ධම්මපදයේ පුෂ්ප වර්ගයෙහි මුල්ම පදාද්වයෙහි සඳහන්, “කො ධම්මපදංසුදෙසිතං” – “සෙඛො ධම්මපදං සුදෙසිතං” යන ගාථා පාඨවලින් ද මේ අදහස තහවුරු කෙරෙන බවක් පෙනේ.

යට දැක්වූ ගාථා පාඨවල එන ධම්මපද යන්නෙහි අර්ථය සත්තිස්බෝධිපාක්ෂික ධර්මයි. ඒවා අවබෝධ කොටගෙන ක්‍රියාත්මක කරන්නෝ ශෛක්‍ෂකයෝය. හෙවත් අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන සෝවාන් මග සිටියහු පටන් රහත් මග සිටියහු තෙක් වූ ආර්යය පුද්ගල සත්දෙනාය. බෞද්ධ ධර්මයේ දැක්වෙන පටිපදාවේ උසස්ම ඵලය නෙළා ගන්නෝ ද ඔවුහු මැ වෙති. මේ මතය ඔප්නංවන ගාථාවක් කුණ්ඩ සූත්‍රයෙහි දක්නා ලැබේ.

ධම්මපදයේ ගාථාවල සම්භවය බුදුන් වහන්සේගේ ධරමාන කාලයට අයත් වුවද ඒවා ග්‍රන්ථයක් වශයෙන් සංග්‍රහ වූයේ ප්‍රථම සංගීතියේ දී බව විද්වතුන් විසින් පිළිගෙන ඇති මතයකි. විනය හා සූත්‍ර පිටකවල සංස්කරණ හෙවත් වර්ධනය අභිධර්ම පිටකයට තරමක් කලින් සිදුවී ඇත. කෙසේ වුවද ප්‍රථම සංගීතියේ දී ධම්මපදය කේවල සංග්‍රහයක් වශයෙන් ප්‍රචලිත වූ බව පැහැදිලිය. රජගහනුවර සප්තපණ්ණි ගුහාවේ දී පවත්වන ලද ප්‍රථම සංගීතිය අරඹන ලද්දේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන්වන මස ඇසළ පුනු පොහොයෙන් පස්වන දිනයෙහිය. මේ අනුව ධම්මපදයේ සංගෘහිත අවධිය කිතු වසින් සියවස් පහහමාරකට තරම් පූර්ව කාලයකට අයත් වෙයි.

ඒ කෙසේ වුවද වළගම්බා රජුගේ අවධියෙහි ලක්දිව දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන විට ධම්මපදය කේවල වූත් පූර්ණ වූත් ග්‍රන්ථයක් බවට පත්ව තිබිණ. බුද්ධඝෝෂ හිමියන් ධම්මපදට්ඨ කතාව ලිවීමට භාවිත කරන්නට ඇත්තේ මේ ග්‍රන්ථාරූඪ වූ පිටපත් විය හැකියි. බුද්ධඝෝෂ හිමියන් ධම්මපදට්ඨ කතාව රචනා කළේ ක්‍රි.ව. 5 වන සියවසේදීය. මේ අනුව ධම්මපදය එය ග්‍රන්ථාරූඪ වූ අවධියේ සිට ධම්මපදට්ඨ කතාව ලියැවෙන අවධිය තෙක් බෞද්ධයන්ගේ එක් මැ අත් පොත වශයෙන් භාවිත වූවා නිසැකය.

ධම්මපදයෙහි සංගෘහිත ගාථා 423 කි. ඒ බව මෙහි නිගමන ගාථාවල සඳහන් වන “ගාථා සතානි වත්තාරි තේවිස ව පූනාපරෙ” යන්නෙන් පෙනේ. එහෙත් පස් වැනි කාශ්‍යප (ක්‍රි.ව. 913) රජුගේ ධම්පියා අටුවා ගැටපදයේ ගාථා 422 කි. ගාථාවක මේ අඩුව කෙසේ සිදුවිණිදැයි ඉඳුරා පළ කළ නොහැක. මෙය විමසිය යුත්තකි. මේ ගාථාවන්ට අයත් අර්ථෝත්පත්ති 300 ක් බව ධම්පියා අටුවා ගැටපදයේ දැක්වේ. මේ ගණනෙහි ද ඇතැම් පිටපත්වල වෙනසක් පෙනේ. බුරුම ධම්මපද නිගමන ගාථාවල මෙහි කතා 305ක් තිබෙන බව සඳහන් වේ. “පඤ්චාධිකාති තිණිවත්ථූසතාති” යි එහි දැක්වෙන බව ද කියැවේ.

ධම්මපදය කුඩා ග්‍රන්ථයක් වුවද එහි ගැඹුරු මෙන්ම සරල ධර්ම කොටස් සංග්‍රහ වී තිබේ. ඉහත දක්වන ලද පරිදි ධම්මපදයෙහි ඇතුළත් ගාථා 423 වග්ග 26කට බෙදා දක්වා ඇත. ඒවා පිළිවෙළින් යමක වග්ග, අප්පමාද, විත්ත, පුප්ඵ, බාල, පණ්ඩිත, අරහත්ත, සහස්ස, පාප, දණ්ඩ, ජරා, අත්ත, ලෝක, බුද්ධ, සුඛ, පිය, කෝධ, මල, ධම්මට්ඨ, මග්ග, පකිණ්ණක, නිරය, නාග, තණ්හා, භික්ඛු හා බ්‍රාහ්මණ යනුවෙන් දක්වා තිබේ.

ධම්මපදයෙහි සූත්‍රාන්ත ධර්ම ඇතුළත්වීම විශේෂයක් නොවේ. මන්ද එය සූත්‍ර පිටකයට ම අයත් වූවක් වන බැවිනි. එහෙත් එහි අභිධර්ම දේශනා ද ඇතුළත්ව පවතින බව පෙනේ. මේ නිදසුන් කීපයකි.

“මනොපුබ්බංගමා ධම්මා
මනොසෙට්ඨා මනොමයා”

(-1.1 ගාථාව)

“යථාපි මූලෙ අනුපද්දවේ දළ්හෙ
ජිනේතාපි රුfක්‍ඛා පූනරෙව රූහති
එවම්පි තණ්හානුසයෙ අනුහතෙ
නිබ්බන්තති දුක්‍ඛමිදං පුනප්පුනං”

(xxiv.5 ගාථාව)

මුල් නිදසුනින් චිත්ත චෛතසික විභාගය හෙළිදරව් කැරෙයි. දෙවැන්න හේතුඵල ධර්මය ඔස්සේ සත්ත්වයාගේ පැවැත්ම පිළිබඳ ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කරයි. ධම්මපදයෙහි විනය ශික්ෂා මාර්ගය ද ඇතුළත් වන බවට දැක්විය හැකි නිදසුන් ද රාශියකි.

“න පරෙසං විලොමානි
න පරෙසං කතාකතං
අත්තනොව අවෙfක්‍ඛය්‍ය
කතාති අකතානිච

(iv.7වන ගාථාව)

චක්‍ඛුනා සංවරො සාධු
සාධු සොතෙන සංවරො
ඝාණෙන සංවරො සාධු
සාධු ජීවිහාය සංවරො

(xxv, 1 ගාථාව)

මේ අනුව පෙනී යන්නේ ත්‍රිපිටකයේම සාරය ධම්මපදයට ඇතුළත් කොට ඇති බවය. අර්ථ රසයෙන් හා ධර්ම මාධුර්යයෙන් යුක්ත වූත් පරිශීලනය කරන්නා තුළ උතුම් ගතිගුණ ඇති කරලීමට හේතු වූත් එකම බණ පොත මෙය මැ වන්නේය. බුද්ධ දේශනාවට අයත් සියලු දහම් කොටස් මේ කෘතියෙහි ඇතුළත් වී ඇත්තේය.

මේ හස්තසාර ග්‍රන්ථය මුල්කොට ලියැවී ඇති පරිවාර ග්‍රන්ථ කීපයෙකි. මහා අටුචාරි බුද්ධඝෝෂ හිමිපාණන් විසින් රචිත ධම්මපදට්ඨකතා නම් වූ පාලිමය ග්‍රන්ථය මේ අතරින් ඉතා වැදගත් තැනක් ගනී.

කුමාර කාශ්‍යප නමැති තෙර නමකගේ ආරාධනාවෙන් කරන ලද මේ කෘතිය ක්‍රි.ව. 5 වන ශත වර්ෂයට අයත් වේ. “කෘතඥ වූ අධිරාජයා විසින් කරවූ විහාරයෙහි සිරිකුඩ්ඩ රජුගේ ප්‍රාසාදයෙහි වසමින් බණවර දෙසැත්තෑවකින් යුත් මේ ග්‍රන්ථය කරන ලදැ’යි ග්‍රන්ථාවසානයෙහි දැක්වේ.

ධම්මපදයෙහි ගාථා සාරසිය විසිතුනකි. කතාවස්තු දෙසිය අනූනවයකි. කතා ගණන අඩු වීමට හේතුව නම් ඇතැම් අවස්ථාවලදී ගාථා එකකට වැඩි ගණනක් දේශනා කොට තිබීමය.

පුරාණ පඬිවරයකු විසින් කරන ලද, ධම්මපද පුරාණ සන්නය ද ධම්මපදය හදාරන්නවුනට බෙහෙවින් වැඩදායකය. මේ පුරාණ සන්නය සංශෝධනය කොට මුද්‍රණයෙන් පළ කැරැවූ හෙයියන්තුඩුවේ දේවමිත්ත නායක ස්ථවිරයෝ එම කෘතියෙහි කර්තෘ හා කාල සන්දර්ශනය පිළිබඳ මෙබඳු අදහසක් දක්වති.

“මේ සන්නය අසවල් කාලයෙහි අසවලකු විසින් කළේ යැයි සඳහන් නොකෙළෙන් කාලය හා කර්තෘ නියම කිරීම දුෂ්කරයි. එතකුදු වුවත් බුද්ධාගම හා නා නා ශාස්ත්‍ර දැක්මෙහි අතිසමර්ථ පණ්ඩිත කෙනකන් විසින් කළ බව හැඟේ.

කවුරු නමුත් මේ ව්‍යාඛ්‍යාන කර්තෘ විසින් සාමාන්‍ය ලෝකයාගේ ප්‍රයෝජනය සලකා ව්‍යඤ්ජනයෙහි ආදර නොකොට අටුවානුසාරයෙන් අභිප්‍රාය හැඟෙන පරිද්දෙන් අර්ථවර්ණනා කළ බව පෙනේ.

ධම්මපදට්ඨ කතාව පදනම් කොට ගෙන ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය ග්‍රන්ථයකින් සිංහල සාහිත්‍ය පෝෂණය විය. ඒ උත්තම කලා කෘතියක් වන සද්ධර්මරත්නාවලියයි. දඹදෙණි අවධියෙහි ධර්මසේන යථිවරයන් විසින් රචිත සද්ධර්මරත්නාවලිය වැනි පොදු ජනයාගේ හද බැඳ ගත් වෙනත් කෘතියක් සිංහල සාහිත්‍යයේ නැති තරම් ය.

ධම්මපද පරිවර්තන

ධම්මපදය තරම් විශ්ව කීර්තියට පත් බෞද්ධ සාහිත්‍යාම්භරයේ බබළන අන්‍ය ග්‍රන්ථයක් ත්‍රිපිටකයෙන් සොයාගත නොහැකිය. ලෝක භාෂාවන් වැඩි ගණනකට පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථය ද මෙය වේ.

ලෝකයේ බහුමානයට පාත්‍ර වී ඇති ධම්මපදයට විවිධ රටවල පඬිවරුන් විසින් විවිධ බසින් විවරණ සපයා ඇත. හින්දි – වංග – සංස්කෘත – ජපන් – චීන – තිබ්බතිය ඈ පෙරදිග මෙන්ම ඉංග්‍රීසි – රුසියන් – ප්‍රංශ – ජර්මන් – ලතින් ආදී අපරදිග බස්වලට ද නඟන ලදුව ධම්මපදය ලොව පුරා පැතිර පවතින ග්‍රන්ථයකි.

ධම්මපදය චීන බසට නඟන ලද්දේ ක්‍රි.ව. 3 වන සියවස පමණේදීය. එම පරිවර්තනය පා – කියු – කිං (Fa – Kheu – King) යනුවෙන් හැඳින්වේ. එය ෆාමන් – වේයිකි – ලන් ඇතුළු කීපදෙනකුගේ පරිවර්තනයෙකි. මෙය හඳුන්වා ඇත්තේ ධර්මනීති සූත්‍ර යනුවෙනි.

චීන ධම්මපදයේ වර්ග මෙන්ම ගාථා සංඛ්‍යාව ද පාලි ධම්මපදයේ වර්ග හා ගාථාවලට අධිකය. චීන ධම්මපදයේ වර්ග 39 කි. ගාථා 752 කි. වචන 14,580කි. මෙය බිල් නමැති පඬිවරයා විසින් මෑත දී සංස්කරණය කොට පළකරවා ඇත.

පළමුවෙන්ම යුරෝපයේ පළ වූ පාලි පොත වනුයේ ද ධම්මපදයයි. ඩේනිස් පඬිවරයකු වූ වික්ටර් ෆවුස්බෝල් මහතා විසින් ක්‍රි.ව. 1855 දී එය පළකරවන ලදී. මේ ග්‍රන්ථය පළමුවෙන්ම ඉංග්‍රීසි භාෂාවට නඟන ලද්දේ ලෝක ප්‍රකට පඬිවරයකු වූ මැක්ස්මුලර් මහතා විසිනි. ඒ ක්‍රි.ව. 1881දී ය. කේ.ඒ. නොයිමන් නමැති ජර්මන් මහා පඬිවරයා මේ කෘතිය ක්‍රි.ව. 1883 දී ජර්මන් බසට නැඟුවේය. ධම්මපදය හින්දි බසට නඟන ලද්දේ ක්‍රි.ව.1904දීය. මෙසේ ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්ථනය කරන ලද ධම්මපදයේ 1881 සිට මේ දක්වා පළවූ ඉංග්‍රීසි පරිවර්ථනම සැටක් පමණ වේ. මේ අතරින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයීය පුස්තක මාලාව යටතේ ඊ.ඩබ්ලිව්.

බර්ලින්ගේම් මහතාගේ සංස්කරණයෙන් පළවූ (Buddhist Legends) නමැති කෘතිය බෙහෙවින් වැදගත්ය.

ධම්මපදයෙහි විශේෂතා

ධම්මපදයෙහි ඇතුළත් කරුණු පිළිබඳව විමසිලිමත් වන්නකුට එහි සුවිශේෂයෙන් දැක්විය හැකි බොහෝ කරුණු ඇති බව පෙනී යෑම අරුමයක් නොවේ. ඒ සියල්ල දීර්ඝ විමර්ශනයකට ප්‍රමාණවත් වන්නකි. එබන්දකට මෙහිලා ඇති ඉඩකඩ සීමා සහිතය. එබැවින් ඒ පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් මෙතැන් සිට දැක්වීම සුදුසුය.

ධම්මපදය පොදුවේ ගෙන බලන කල ප්‍රධාන වශයෙන් එහි අගය ප්‍රභේදත්‍රයයකට බෙදා දැක්විය හැකියි. එනම්,

  1. සාමයික
  2. සාහිත්‍යයික
  3. සමාජ විද්‍යාත්මක යනුවෙනි.

මෙහි පවත්නා සාමයික අගය අප්‍රකට වූවක් නොවේ. බෞද්ධ දර්ශනය අතින් බලතහොත් මිනිසාට මෙලෝ – පරලෝ ජීවිතය යහ මඟට ගැනීම සඳහා දෙන අපූරු නුවණ ධම්මපදයෙහි මනාව අන්තර්ගතව පවතී. මේ නුවණ එසේ නැතහොත් ධම්මපදයෙන් දෙන ධර්මාලෝකය මහා සාගරය වැන්න. ධම්මපදයේ ධර්ම අගය සනාතනික වූවකි. එය සර්වකාලීනය. සකල ජාතීන්ටම පොදුය. කවර කලටත්, කවර දෙසටත්, කවර දනාටත් ඔබින මේ දහම්පදවල එම අගය වටහා ගන්නට එක නිදසුනක් වුවද ප්‍රමාණවත් වනු ඇත.

“පරෙච න විජානන්ති
මයමෙත්ථ යමාමසෙ
යෙච තත්ථ විජානත්ති
තතො සම්මන්ති මෙධගා”

මේ සංඝයා මැද කෝලාහල කරන ජනයෝ “අපි මරුමුවට යම්හ” යි නොදනිති. ඒ කලහකරුවන් අතරෙන් යම් නුවණැති කෙනෙක් “අපි මරුමුවට යම්හ’යි දනිත් නම් ඒ හේතු කොටගෙන කලහයෝ සන්සිඳෙති.

පැළ ඉනිවැටකට, බිම් අඟලකට වැනි දෙයකට මරු දකින – දක්වන මෝඩ දිළිඳු ගැමියන්ගේ පටන් රටවල් උදෙසා රටවල් නසන බලවතුන් දක්වා කලකෝලාහල කරගන්නා අන්ධ බාල සියලුම ජනයාට ජීවිතයේ අර්ථය පෙන්වාලන මෙබඳු දහම් පදවලින් නූතන ලෝකයට ගත හැකි ප්‍රයෝජනය අප්‍රමාණය.

ධම්මපදය විශිෂ්ට සාහිත්‍ය කෘතියක් ලෙස ද විශ්ව සම්භාවනාවට පාත්‍ර වී ඇත. පද ලාලිත්‍යය, උපමා, අලංකාර, උපදේශාත්මක කියුම් අනුව වුවද මෙය උත්තම ගණයේ සාහිත්‍ය කෘතියක් සේ හඳුන්වා දිය හැකිය. එහෙත් එය බාහිර ලක්ෂණ පමණි. මෙහි සාහිත්‍යමය අගය රැඳී පවතින්නේ ඉන් ඉදිරිපත් කැරෙන ජීවිත දර්ශනය මතය. නෛර්යානික වූ ද, නිරාමිස වූ ද, වින්දනයක් කරා ගෙනයන ජීවන දර්ශනයක් ධම්මපදයෙන් ඉදිරිපත් කෙරේ. වින්දනය තීව්‍ර කරන අතර, බුද්ධි විකාශනය ද ප්‍රබල කරයි. උත්තම සාහිත්‍ය කෘතියකින් ද සිදුවිය යුතු පරම මෙහෙය එයයි. ධම්මපදයෙහි මේ ගුණය සපුරා වැද සිටියි.

(අමරහේවා මද්දුම ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කළ මධ්‍යම සංස්කෘතික අරමුදල පළ කළ “ධම්මපදය” පාලි – සිංහල – දෙමළ -ඉංග්‍රීසි සංස්කරණය පූර්විකාවෙනි. ආචාර්ය ඩබ්.ජී. වීරරත්න, එඩ්වින් ආරියදාස, රාජලක්ෂ්මී කයිලාසනාදන්, විශ්වනාත් වජිරසේන, සින්නයියා කනගමූර්ති, ආචාර්ය කේ.බී. එඩ්මන්ඩ් සංස්කාරක මණ්ඩලයේ සාමාජිකයන්ය).

advertistmentadvertistment
advertistmentadvertistment