භාව දොළහයි ග්‍රහයො නවයයි

159

(දස වැන්න හඳුනා ගනිමු)

ඔබේ ජ්‍යොතිෂ දැනුම වර්ධනය කිරීමට මම වසර 23ක පමණ කාලයක ලැබූ අත්දැකීම් ඇසුරෙන් ලියවෙන මෙම ලිපි පෙළ මගින් ඔබට ඒ ඒ භාවයන් පිළිබඳ අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතමි. අද දින විග්‍රහ කරනු ලබන්නේ කේන්දරයේ දස වැන්නයි. මූලිකවම දස වැන්නේ නියෝජනය කරන කරුණු පිළිබඳව අවධානය යොමු කරමු. මිනිස් සිරුරේ දණහිස්, සන්ධි පිළිබඳ නිවේදනය කරනු ලබන්නේ දස වැන්නෙනි. මෙම භාවයෙන් පියා පිළිබඳ මෙන්ම කර්මය හෙවත් ක්‍රියාකාරකම් ගැන ද නිවේදනය වේ. අහස, වර්ෂාව, උස, උස්තැන්, ජ්‍යොතිෂ නීතිය, රාජ්‍යය සේවය පිළිබඳ මෙන්ම ප්‍රසිද්ධිය, දෙමහල් ආදී ගොඩනැඟිලි, පොත්පත්, සඟරා, කතුවරුන්, මුද්‍රණ ආයතන අයිතිය, මුද්‍රණ ශිල්පය, නායක කාරක තනතුරු, නිලතල, අභිශේකය, ප්‍රධාන නගර, මහජනයා නියෝජනය කෙරේ.

දස වැන්න හෙවත් කර්මස්ථානය අධිපති බුධට අයත් රාශියක හෝ නවාංශකයක සිටින අයට ජ්‍යොතිෂ්‍ය පිහිටයි. තාරකා ශාස්ත්‍රය ඉගනීමට උනන්දුව ඇතිවේ. එසේම මෙම භාවය බලවත් වීමෙන් මනුෂ්‍යයා ක්‍රියාවට දක්ෂයකු කරයි. කඩිසර බව, නව නිර්මාණ කුසලතා ඇත්තෙකි. සිතීමේ ශක්තිය, දූරදර්ශී බව මෙන්ම පියාගේ මාර්ගයෙන් දියුණුවට මඟ පැදේ. එසේම මෙම භාවය දුර්වලව පිහිටීමෙන් මෙකී කරුණු නොපිටට යෙදේ.

රවි: රවි බලවත් නම් පියා නිසා තමා ප්‍රසිද්ධ පුද්ගලයකු බවට පත්වේ. එසේම මෙවැන්නන් නිසා ද පියාට යහපත සැලසෙයි. පියා නිරන්තරයෙන් සතුටට පත්වෙන කෙනකු වෙයි. රාජ සම්මාන ගෞරව ලබයි. රාජ්‍ය නිලධාරීන් වේ. උසස් ක්‍රියා කරන්නෙකි. උසස් පුද්ගලයන් ඇසුරු කරන්නෙක් ද වෙයි. මෙවැනි පුද්ගලයන් තමාගේ උත්සාහය හේතුවෙන් බලය වික්‍රමය, ඉෂ්ට සිද්ධිය සාධනය කරගනී.

රවි දුර්වලව පිහිටීමෙන් පියාට විපත් පැමිණේ. රාජ ද්‍රෝහි වැඩවල නිරත වේ. අවනීතියට නැඹුරු වේ.

ගින්නෙන් ගෙවල් දොරවල් විනාශ වේ. නඩු හබ, ශරීරයේ පීඩා, උසින් වැටී එක්තැන් වීම් ආදිය සිදුවේ.

චන්ද්‍ර: කර්මස්ථානයේ සඳු බලවත් වූ කල ඉතා හොඳ චිත්ත ශක්තියක් ඇතිවේ. ඒ නිසා සියලු කටයුතුවලින් ජය ගනී. මහල් ප්‍රාසාද ලබයි. වර්ෂා ජලයෙන් හෝ ජලාශ්‍රයෙන් ප්‍රයෝජන ලැබේ. මෙවැන්නන්ට ජලය පිළිබඳ අංශවල රැකියා ලැබේ. එසේම මවුපිය දෙදෙනගේ සමගිය ආරක්ෂා වේ.

සඳු දුර්වලව පිහිටි අය සිතට විරුද්ධ දේවල් කරයි. ඒ නිසා සමාජයේ පිරිහීමට ලක්වේ. ජලයෙන් විපත් වේ. කකුල්වල වණ ගෙඩි ඇතිවේ. “අනේ මට හරියාදෝ” යන අශුභවාදී සිතිවිලිවලින් යුතු වේ. සිත චංචල, කනස්සලු සහගත අයෙකි.

කුජ: දසවැන්නේ කුජ බලවත් වූ පුද්ගලයන් සහෝදරයන් ගේ දියුණුව වෙනුවෙන් කැපවන කෙනෙකි. ආයුධ කර්මාන්ත, ලෝහ කර්මාන්ත, වෛi වෘත්තිකයන්, බෙහෙත් ගබඩා පරිපාලකවරුන්, පණිවුඩ හුවමාරුකරුවන්, හමුදාවේ කපිතාන් වැනි තනතුරු උරුම වේ.

කුජ දුර්වලව පිහිටි විට හොර වෙදුන් වීම, වස විස බෙහෙත් අනිසි ලෙස පරිහරණය කරන්නන් ්වේ. තහනම් ආයුධ ළඟ තබාගෙන අනුන්ට විපත් පමුණුවන කෙනෙකි. මෙම පිහිටීම ඇති අය කොඩිවින කිරීමට දන්නේ නම් ඔහුගේ කොඩිවින හරියටම හරියයි.

බුධ: බුධ බලවත් වී උපත ලබන්නන් පොත් කර්තෘවරුන්, පොත් ප්‍රකාශකයන් වැනි පොත් පත් නිසා ප්‍රසිද්ධියට පත්වන්නන්, උගතුන්, නක්ෂත්‍රවේදීන් වේ. ආචාර්ය මහාචාර්ය ආදී ප්‍රසිද්ධ ඉහළපෙළේ උගතුන් වේ.

දසවැනි භාවයේ බුධ දුර්වලව පිහිටි අය අසභ්‍යය පොත් පත් පළ කරන්නන්, කැලෑපත්තරකරුවන්, කූට ශාස්ත්‍රකරුවන් මෙන්ම විවිධ ප්‍රයෝග දන්නා අනුන්ගේ සිත් මෝහනයට පත්කරගෙන බොරුවට ශාස්ත්‍ර කියන්නන් බවට පත්වේ. මේ කාලවකවානුවේ මෙවැනි ග්‍රහ පිහිටීම් ඇත්තන් බහුල සමයකි.

ගුරු: දසවැනි භාවයේ ගුරු බලවත් නම් “හංස” යෝගය යෙදේ. සැබෑ බුද්ධිමතෙකි. එසේම හොඳ ධනවතෙකි. ආචාර්ය පදවියට පත්වේ. එසේම ස්ත්‍රී සැප ද නිරන්තරයෙන් හිමි වේ. මෙම භාවයේ ගුරු දුර්වලව පිහිටි විට අලස, කම්මැළි අයෙකි. දහවල නිදාගැනීම ප්‍රිය කරයි. එසේම හොරකමට දක්ෂයෙකි. තම වංචාකාරී ක්‍රියා හේතුවෙන් විපතට පත් වන්නෙකි.

සිකුරු: මෙම භාවයේ සිකුරු බලවත් වීමෙන් “මාලවි යෝගය” යෙදේ. අලංකාර ගෙවල් දොරවල්, බඩු භාණ්ඩ හිමිවේ.එසේම රෙදිපිළි අලංකාර දේවල් විකුණන ප්‍රසිද්ධ වෙළෙන්දෙකි. ඇඟළුම් කර්මාන්තකරුවන් මේ යෝගයෙන් උපන්නෝ වෙති. එසේම කලා අංශවලට යොමුවූවත් ඒ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අයෙකි. සමාජයේ පිළිගත් අයකු වන මෙවැන්නන් ලෝබ නැතිව දීමට කැමැති අයෙකි.

ශනි: මෙම භාවයේ ශනි බලවත් වීමෙන් “සස” නම් වූ ධන යෝගය හිමියන් වේ. භූමි වස්තු, ඉඩ කඩම් ලබයි. කර්මාන්ත ශාලා, ලෝහ ආකර හිමියන් වේ. එසේම ලී මෝල්, ලී වෙළෙඳසල් හිමිකරුවන්, උළු මෝල් හිමියන් මෙවැන්නන් වේ. ප්‍රසිද්ධ චරිතයකට හිමිකම් කියයි. ශනි දුර්වලව පිහිටා ඇති අය සුරාසල් හිමියන්, තහනම් මත්ද්‍රව්‍ය වෙළෙන්දන්, විෂ බෙහෙත් වර්ග විකිණීම කරන්නන් ලෙස උපදී. මෙවැන්නන් කුලහීනයන් සමඟ ආවාහ විවාහ කරගනී. එසේම මෙවැන්නන් දුෂ්ට චරිත ඇත්තන්වේ.

රාහු: මෙම භාවයේ රාහු පිහිටීයේනම් දෙමාපියන්ට සුබ නැත. නමුත් දේශපාලනයට සුබවාදී පිහිටිමකී. රැකියා රාජකාරි කිරීමට අකැමැති අතර ලැබුණත් එකම රැකියාවේ බොහෝ කල් රැඳී නොසිටී. පර ස්ත්‍රී සේවනයට පෙලඹේ. දුර්ජන ආශ්‍රයෙන් වස්තුව විනාශ කරගන්නා අයෙකි.

කේතු: දසවැනි භාවයේ කේතු නම් භාග්‍යය හීන අයෙකි. ඔහුගේ දශාවේදී රැකීරක්ෂා අහිමි කරයි. සමහර විට රථවාහන හේතුවෙන් හෝ දුක්ඛිත භාවයට පත්වේ. පියාට දුක උරුමවේ. හන්දිපත් කොරවීම් ආදී රෝගයන්ට ලක්වේ. එසේම දසවැන්න මේෂ, වෘෂභ, වෘශ්චික, කන්‍යා යන රාශියක් වී එහි කේතු තැන්පත් වී නම් සතුරන් විනාශ කරන්නෙකි.

භාව දොළහයි ග්‍රහයො නවයයි

ජ්‍යොතිෂවේදී,
එස්.ඩී.ජේ. පතිරණගේ
තිසර ජ්‍යොතිෂ සේවය.
ලේනමඩුව -කඹුරුපිටිය.
දුරකතන අංකය 0714396119

advertistmentadvertistment
advertistmentadvertistment