මතකය රඳවා නික්ම ගිය චන්ද්‍රසිරි කටුදෙනිය

509

අප අතරින් හදිසියේ සමුගත් ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි කටුදෙනිය මහතා සිහිකරමින් ඊට මාස තුනක් ගතවීම නිමිතිකර ගෙන පිංකමක් ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පිහිටි නිවසේදී මේ මස 25 වැනිදා පැවැත්වීමට ඔහුගේ බිරිඳ චිත්‍රා කටුදෙනිය, පුතා, දුව ඇතුළු පවුලේ සියලුම දෙනා සූදානම් වෙයි. එම පිංකම වෙනුවෙන් ඉතාම සුළුවෙන් හෝ ඔහු පිළිබඳව ඉතා කෙටියෙන් හෝ සඳහනක් කළ යුතු යැයි මම විශ්වාස කළෙමි.

දවස, දිවයින සහ පෙරමුණ ඇතුළු පුවත් පත් රැසක සේවය කළ ඔහු පොත් කීපයක් ද රචනා කළේය. මට කතා කළ බොහෝ අවස්ථාවලදී අලුතින් ලිවිය යුතු පොත් පිළිබඳව ප්‍රකාශ කර ඇත. පොත්

රැසකට කරුණු ඔහු සතුව ඇති බවද ප්‍රකාශ කළ අවස්ථා අපමණය. පුවත්පත්වලට ලියූ ලිපිවලදී සිදුවූ තවත් රසවත් සිද්ධීන් ඇති බවද කීපවිටක් ඔහු මා සමග ප්‍රකාශ කළේය.

ඒවා කරගන්නට නොලැබුණු බව මගේ විශ්වාසයයි. තවත් ඔහුට තිබූ ප්‍රබල ආශාවක් වූයේ ලෝකයේ ප්‍රසිද්ධ ස්ථාන නැරඹීමය. රටවල් කීපයක පසුගිය කාලයේදී ඔහු සංචාරය කළ බව මම දනිමි. එහෙත් එම ඔහුගේ අභිප්‍රාය සම්පූර්ණ කරගන්නට නොලැබුණු බව ස්ථීරය. එම සංචාර පිළිබඳව ද රචනා කිරීම ඔහුගේ තවත් අදහසකි. නමුත් ඒ කිසිවක් කරගන්නට ඔහුට අවස්ථාව නොලද්දේ හදිසියේ ඇතිවූ වියෝව නිසාය.

කටුගේ මරණයෙන් පසුව මා සමග කතා කළ චිත්‍රාට තිබෙන කනගාටුව සුළුපටු නොවෙයි. දරුවන්ටත් එසේය. එය වඩාත් උත්සන්න වී ඇත්තේ ඔවුන් බලාපොරොත්තු නොවූ අවස්ථාවක හදිසියේ මෙවැන්නක් සිදුවීමයි.

කටුත් නොදැනුවත්වම මේ ගමන ඔහු ගියා වෙන්න පුළුවනි. ඒ නිසාම ඔහුට කිසිම දුකක් වේදනාවක් නොදැනුනා වෙන්න පුළුවනි. නමුත් සියලුම කනගාටුව සහ දුක වේදනාව ඇත්තේ චිත්‍රා ඇතුළු පවුලේ සැමටය. එමෙන්ම ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුළු හිත මිතුරන්ටය.

මට ද හැම අවස්ථාවකම සිහිවන්නේ ඔහුගේ එම මහඟු ගුණාංගය. කිසිම කිසි දවසක කිසිවෙකු සමග කේන්ති ගිය බවක් මා දැක නැත. එමෙන්ම කිසිවෙකු සමග වචන හුවමාරුවක් ඇතිවූ අවස්ථාවක් ද මම දැක නැත්තෙමි. එවැනි අවස්ථාවක් හදිසියේ අහන්බෙන් උදාවුවත් එතැනදී විහිළුවක් කර සිනාසී එතනින් පිටවීම ඔහුගේ සිරිතය.

පත්‍රකලාවේදී ගැනද මහත් ආදරයක් ඔහුට තිබුණි. ඒ නිසාම ඔහු වෘත්තීය පත්‍ර කලාවේදී සංගමයේ තනතුරකට ද ඔහු තරග කර පත්වූයේය. එහි වේලාවක් තැනක් නැතිව සේවය කළේය. මරදානේ එම සංගම් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් ද වෙහෙස වූ බව මම දනිමි. එහෙත් එම උත්සාහයේ තරමට ප්‍රතිඵලයක් උදාකර ගත්තා දැයි මට සැක සහිතය.

ලියන්න මෙන්ම කතාවට ඔහු දක්ෂයෙකි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් ද ඔහු වෙහෙස වූයේය. එම රැස්වීම්වල ද ඔහු ඉතාම ප්‍රකට කථිකයෙක් වූයේය. මේ කිසිවකින් ඔහුට ඇතිවූ ලාභයක් නැත. ඒ ශක්තිය ශ්‍රමය ඔහු වැය කළේ තම මිත්‍ර සගයන් වෙනුවෙනි.

වරක් ඔහු ඒ පිළිබඳවද මා සමග ප්‍රකාශ කළා මට මතකය.

“කොච්චර කළත් අපේ මිනිස්සුන්ට මතකත් නැහැ…. ගුණයකුත් නැහැ… මගේ ඇඟේ අමාරුවට මේ සේරම කරනව… දැන් කරගහගත්ත දේ මම අතරමග බිම තියන්නේ නැහැ… කොහොම හරි විශ්‍රාම වැටුප හදගන්න තමයි උත්සාහ කරන්නේ යැයි ඔහු ප්‍රකාශ කළේය.

නමුත් ඒක නම් කරගන්න ලැබුණේ නැත. ඒක හිතපු තරම් සුළු දෙයක් නොවුණ නිසා වෙන්න පුළුවනි. නමුත් දැන් කවුරුත් එවැනි දේකට උත්සාහ කරන කෙනෙක්වත් නැතිවීම කනගාටුවට කරුණක්ය.

‘දිවයින’ පත්‍රයේ මා සමග සිටි කාලය පුරාම වැඩ කළේ දිවා රෑ බලමින් නොවෙයි. පිටකොටුවේ රාත්‍රි පහන් කරපු අවස්ථා එමටය. ඒ පිටකොටුවේ රාත්‍රියේ සිරි වාර්තා කරන්නටය. ඒ ලිපි පෙළ ඉතා ජනප්‍රිය වූ බව පමණක් මම දනිමි. ඒ කතාවල රස තැන් කට්ටිය රැස් කරගෙන විස්තර කරන්නද ඔහු සමතෙකි. එවැනි අවස්ථා අපේ සැමෝටම අදටත් මතක ඇති.

අලුත් පරණ භේදයක් ඔහුට තිබුණේ නැත. කාටත් උපකාරයක් කිරීම සිරිතය. අලුත් අයට උගන්වන්නට ද කැමැත්තෙන්ම ඉදිරිපත් වූයේය. ඔහු යන තැන්වලට ඒ අයත් එක්කරගෙන ගොස් ලියන්නට පුහුණුවක් ලබාදීමට කිසිවිටක ඔහු මැළි වූයේ නැත. ඒ නිසාම අලුත් සගයන් ඔහුගේ හොඳම මිතුරෝ වූහ.

තවත් බොහෝ ලියන්නට සිහි වූවත් ඒවා පසුවට තබමින් ඔහුට නිවන් සුව පතමින් මෙයින් සමුගන්නෙමි. එතුමාට සදා නිවන් සුව පතමි.

උපාලි තෙන්නකෝන්
දිවයින හිටපු කර්තෘ


advertistmentadvertistment