මහා බලසම්පන්න රුද්‍රාක්‍ෂ බීජ

70

පුරාණයේ විසූ ඍෂිවරුන් විසින් රුද්‍රාක්‍ෂ නමැති ඇට වර්ගය ලොවට හඳුන්වා දී ඇත. මේවා පුරාණයේ විසූ ඍෂිවරු පැලඳි බවත්, යම් යම් ලෙඩ රෝගවලට පාවිච්චි කළ බවත් සඳහන්ය. මැලේසියාව, නේපාලය වැනි රටවල පිහිටි වනාන්තර මධ්‍යයේ වැවෙන විශාල ශාකයකින් හටගන්නා මෙම රුද්‍රාක්‍ෂ බීජය නිල් පැහැති පොත්තකින් ආවරණය වී ඇත. එම නිල්පාට පොත්ත ගැලවුණු විට නොයෙක් කැටයම් සහිත බීජයක් හට ගනී. එය රුද්‍රාක්‍ෂ බීජයයි. එම රුද්‍රාක්‍ෂ බීජ වර්ග 3කින් යුක්තය. ඒවා ඉතා කුඩා රුද්‍රාක්‍ෂ, මධ්‍යම ප්‍රමාණයේ රුද්‍රාක්‍ෂ හා විශාල ප්‍රමාණයේ රුද්‍රාක්‍ෂ ලෙසය. මෙම වර්ග තුනෙන් ගුණය හා අනුසස් අතින් වඩා වැදගත් වන්නේ සෙන්ටිමීටර 2 හෝ 3 පමණ විශාල ලොකු රුද්‍රාක්‍ෂ ඇටයයි.

මෙම රුද්‍රාක්‍ෂ ඇටය ශිව දෙවියාගෙන් මනුෂ්‍යයන්ට ලැබුණු දායාදයක් බවට සඳහන්ය. ශිව දෙවියන්ගේ ඇසින් වැටණු කඳුළුවලින් රුද්‍රාක්‍ෂ ගස පැළවුණු බවත් පුරාණයේ සඳහන්ය. රුද්‍රාක්‍ෂ නොයෙකුත් කැටයම්වලින් යුක්තය. එම කැටයම් වර්ග 21කි. නමුත් දැනට භාවිතයේ ඇත්තේ රුද්‍රාක්‍ෂ බීජ වර්ග 14ක් පමණි. මෙම රුද්‍රාක්‍ෂ බීජවල මුහුණත් දක්නට ලැබේ. ඒවා මුඛී ලෙස හඳුන්වයි.

මෙම රුද්‍රාක්‍ෂ ශිව දෙවියන්ගේ කඳුළුවලින් හටගත් බැවින් දුක් කරදරවලින් නිදහස් වීමටත්, සතුට සැනසීම ළඟා කර ගැනීමටත්, බුද්ධිය හා ධාර්මික වීමටත් රුද්‍රාක්‍ෂයේ ප්‍රබල බලයක් ඇතැයි ඍෂි පිළිගැනීමයි. මෙම රුද්‍රාක්‍ෂ බීජ පැලඳීමේදී ඒවා ජප කිරීමකින් තොරව පැලඳීමෙන් ඉහත සඳහන් සහන නොලැබෙන බවත්, එම රුද්‍රාක්‍ෂ සෑම දිනකම ශිව, ලක්‍ෂ්මී, දුර්ගා හෝ විෂ්ණු ස්ත්‍රෝත්‍රවලින් ජප කර පැලඳීම තුළින් පමණක් සුබ ප්‍රතිඵල ඇතිවන බවත් මතයයි.

මෙම රුද්‍රාක්‍ෂ මුලින්ම ගෙල පැලඳීමේදී පෝය දිනක රාත්‍රියේ පැලඳිය යුතු අතර එම රුද්‍රාක්‍ෂ රත්‍රං හෝ රිදී හෝ රතු පැහැති නූලකට හෝ සවිකර පැලඳිය යුතුයි. “තුන්නුර්” අළු නළලේ ගා “ඕම් නමඃ ශිවාය” යනුවෙන් කිහිප වරක් ජප කර එම රුද්‍රාක්‍ෂ බීජ ඇමුණූ මාලය ගෙල පැලඳිය යුතුය. මෙම රුද්‍රාක්‍ෂවලින් සෑදූ මාලයට ඇමුණූ ඇට ගණන අනුව ලැබෙන ප්‍රතිඵල ද වෙනස් වේ. රුද්‍රාක්‍ෂ බීජ 108ක් යෙදූ මාල පැලඳීමෙන් භෞතික සැප සම්පත් ළඟා වන බවත්, බීජ 140ක් යෙදූ මාලයක් පැලඳීමෙන් රුව වඩවන බවත්, රුද්‍රාක්‍ෂ බීජ 3ම පැලඳීමෙන් භෞතික දියුණුව සමග ලෙඩ දුක් දුරුවන බවත් ඍෂි උතුමන්ගේ මතයයි. මෙයට අමතරව මෙම රුද්‍රාක්‍ෂ ඉන්දියාවේ නොයෙකුත් රෝග සඳහා ද පුරාණයේ භාවිතා කළ බවද සඳහන් වේ. මෙම රුද්‍රාක්‍ෂ පෙරන්ගා කිරිවල දමා උතුරුවා පානය කිරීමෙන් හෘද රෝග, කක්කල් කැස්ස, මානසික රෝග හා අධික රුධිර පීඩනය වැනි රෝග සුව වූ බව සඳහන්ය.

මෙම රුද්‍රාක්‍ෂ නොයෙකුත් කැටයම්වලින් යුක්තය. ත්‍රිශූල, ශාක, අඩයද, ස්වස්ථිත ලකුණ හා නාග පෙණ එම රුද්‍රාක්‍ෂ අතර වේ. මීට අමතරව මුඛී අනුව ද රුද්‍රාක්‍ෂ වර්ග 21කි. එක් මුඛී රුද්‍රාක්‍ෂයේ සිට විසිඑක් මුඛී රුද්‍රාක්‍ෂය දක්වා වේ. මේවා එකිනෙක වෙනස් වන්නේ රුද්‍රාක්‍ෂයේ හැඩය හා එහි ඇති මුඛී සංඛ්‍යාව අනුවය.

මෙම රුද්‍රාක්‍ෂ බීජ සැපත, සතුට, සෞභාග්‍ය වෙනුවෙන් මෙන්ම ග්‍රහ අපල දුරු වීමට ද යොදා ගනී. සියලු නවග්‍රහයන්ගේ අපලවලදී එනම් රවි, සඳු, කුජ, බුධ, සිකුරු, ශනි, ගුරු, රාහු, කේතු යන ග්‍රහයන්ගේ අපලවලදී අදාළ මුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම තුළින් එම අපලය නැති වී යයි. මෙම අපල මහ දශා, අතුරු දශාවලදී පමණක් නොව අදාළ ග්‍රහයන්ගේ ගෝචර ගමනේදීත් යොදා ගැනේ. නවග්‍රහයන්ගේ අපල සඳහා භාවිතයට ගන්නා රුද්‍රාක්‍ෂ මෙසේයි. රවිගේ අපලයට ඒකමුඛී රුද්‍රාක්‍ෂය හෝ දොළොස්මුඛී රුද්‍රාක්‍ෂය, සඳුගේ අපලයට ද්විමුඛී රුද්‍රාක්‍ෂය, කුජගේ අපලයට ත්‍රීමුඛී රුද්‍රාක්‍ෂය, බුධගේ අපලයට චතුර්මුඛී රුද්‍රාක්‍ෂය, ගුරුගේ අපලයට පංචමුඛී රුද්‍රාක්‍ෂය, සිකුරුගේ අපලයට සයමුඛී රුද්‍රාක්‍ෂය, ශනිගේ අපලයට සප්තමුඛී රුද්‍රාක්‍ෂය, රාහුගේ අපලයට අෂ්ටමුඛී රුද්‍රාක්‍ෂය, කේතුගේ අපලයට නවමුඛී රුද්‍රාක්‍ෂය පැලඳිය යුතුයි.

දශාවන්ට අදාළ ග්‍රහයන් වෙනුවෙන් පලඳින රුද්‍රාක්‍ෂවලට අමතරව තමන්ගේ ලග්නයට අදාළව පැලඳිය යුතු රුද්‍රාක්‍ෂ ද ඇත. තමන්ට හිමි ලග්නය මුළු ජීවිත කාලයේම පවතින බැවින් ලග්නයට අදාළව පලඳින රුද්‍රාක්‍ෂය ද මුළු ජීවිතකාලය පුරාම පැලඳිය හැක. එසේ පැලඳීමෙන් ජීවිතයට සෞභාග්‍ය, යහපත නිතැතින් ලැබෙන බව ඍෂි මතයයි. ලග්නය අනුව පලඳින රුද්‍රාක්‍ෂ මෙසේය. මේෂ ලග්නයට ත්‍රීමුඛී රුද්‍රාක්‍ෂය, වෘෂභ ලග්නයට චතුර්මුඛී රුද්‍රාක්‍ෂය හෝ සප්තමුඛී රුද්‍රාක්‍ෂය, මිථුන ලග්නයට චතුර්මුඛී රුද්‍රාක්‍ෂය හෝ සයමුඛී රුද්‍රාක්‍ෂය, කටක ලග්නයට ද්විමුඛී හෝ ත්‍රීමුඛී රුද්‍රාක්‍ෂය, සිංහ ලග්නයට දොළොස්මුඛී රුද්‍රාක්‍ෂය, කන්‍යා ලග්නයට චතුර්මුඛී හෝ සප්තමුඛී රුද්‍රාක්‍ෂය, තුලා ලග්නයට සයමුඛී හෝ සප්තමුඛී රුද්‍රාක්‍ෂය, වෘශ්චික ලග්නයට ද්විමුඛී හෝ පංචමුඛී රුද්‍රාක්‍ෂය, ධනු ලග්නයට පංචමුඛී හෝ දොළොස් මුඛී රුද්‍රාක්‍ෂය, මකර ලග්නයට සයමුඛී හෝ සප්තමුඛී රුද්‍රාක්‍ෂය, කුම්භ ලග්නයට සයමුඛී හෝ සප්තමුඛී රුද්‍රාක්‍ෂය, මීන ලග්නයට ත්‍රීමුඛී හෝ පංචමුඛී රුද්‍රාක්‍ෂය පැලඳීම සිදු කරයි.

මීට අමතරව අංක විද්‍යාවේදී ද තමන්ගේ ජන්ම අංකයට අදාළ රුද්‍රාක්‍ෂ වර්ග ද සඳහන් කර ඇත. ඒවා මෙසේයි. ජන්ම අංකය 1 නම් ඒකමුඛී රුද්‍රාක්‍ෂය ද, 2 නම් ද්විමුඛී රුද්‍රාක්‍ෂය ද, 3 නම් පංචමුඛී රුද්‍රාක්‍ෂය ද 4 නම් අෂ්ටමුඛී රුද්‍රාක්‍ෂය ද 5 නම් චාතුර්මුඛී රුද්‍රාක්‍ෂය ද 6 නම් සයමුඛී රුද්‍රාක්‍ෂය ද 7 නම් නවමුඛී රුද්‍රාක්‍ෂය ද 8 නම් සප්තමුඛී රුද්‍රාක්‍ෂය ද 9 නම් ත්‍රීමුඛී රුද්‍රාක්‍ෂය ද ලෙස සඳහන් වේ.

මෙම රුද්‍රාක්‍ෂ පුද්ගලයකුගේ ජන්ම නැකැත අනුව ද පැලඳිය හැක. ඒවා මෙසේයි. අස්විද, මා, මුල යන කේතුගේ නැකැත් තුනට නවමුඛී රුද්‍රාක්‍ෂය ද බෙරන, පුවපල්, පුවසල යන සිකුරුගේ නැකැත් තුනට සයමුඛී රුද්‍රාක්‍ෂය ද කැති, උත්‍රපල්, උත්‍රසල යන රවිගේ නැකැත් තුනට එක්මුඛී රුද්‍රාක්‍ෂය ද රෙහෙන, හත, සුවන යන සඳුගේ නැකැත් තුනට ද්වීමුඛී රුද්‍රාක්‍ෂය ද මුවසිරස, සිත, දෙනට යන කුජගේ නැකැත් තුනට ත්‍රීමුඛී රුද්‍රාක්‍ෂය ද පුනාවස, විසා, පුවපුටුප යන ගුරුගේ නැකැත් තුනට පංචමුඛී රුද්‍රාක්‍ෂය ද පුෂ, අනුර, උත්‍රපුටුප යන ශනිගේ නැකැත් තුනට සප්තමුඛී රුද්‍රාක්‍ෂය ද අස්ලිය, දෙට, රේවතී යන බුධගේ නැකැත් තුනට චතුර්මුඛී රුද්‍රාක්‍ෂය ද අද, සා, සියාවස යන රාහුගේ නැකැත් තුනට අෂ්ටමුඛී රුද්‍රාක්‍ෂය ද පැලඳිය යුතු බව සඳහන්ය.

පුද්ගලයකුට දශාවට අදාළ රුද්‍රාක්‍ෂය, ලග්නයට අදාළ රුද්‍රාක්‍ෂය, ජන්ම අංකයට අදාළ රුද්‍රාක්‍ෂය හා ජන්ම නැකැතට අදාළ රුද්‍රාක්‍ෂය යන වර්ග කිහිපයෙන්ම මිශ්‍ර කර මාලයක් සාදා, ස්තෝත්‍රවලින් ජපකර පැලඳීමෙන් දියුණුව, සෞභාග්‍ය, වාසනාව, නිරෝගී බව හා ප්‍රීතිය ආදී සුභඵල ලබාගත හැක. තව ද සෑදෙන රෝගවලට ද සහනය සැලසීම රුද්‍රාක්‍ෂයේ තවත් ගුණයකි. අදාළ රෝගයට, අදාළ රුද්‍රාක්‍ෂය, මාලයක් හෝ පෙන්ඩනයක් සාදා පැලඳීම තුළින් අදාළ රෝගය සුවවී සහනය උදාවේ. මීට අමතරව රෝගයට අදාළ රුද්‍රාක්‍ෂය උණු කිරට දමා උතුරවා බීම තුළින් මෙන්ම කල්ක සාදා ආහාරයට ගැනීම තුළින් රෝග නිවාරණය වේ. ශරීරයේ උෂ්ණය ද සිසිලස පාලනය කරන උසස් ඖෂධයක් ලෙස රුද්‍රාක්‍ෂය සැලකේ.

මෙම රුද්‍රාක්‍ෂ වෙළෙඳපොළේ ව්‍යාජ ලෙස සකසා ඇති අවස්ථා ද නැතිවා නොවේ. ඒවා පහසුවෙන් හඳුනා ගැනීමට ජලයට දැමිය යුතුයි. සැබෑ රුද්‍රාක්‍ෂය ජලය යට ගිලෙන අතර ව්‍යාජ රුද්‍රාක්‍ෂය ජලය මත පාවේ. තවද සැබෑ රුද්‍රාක්‍ෂය ජලයට දැමූ විට වර්ණය වෙනස් නොවේ. නමුත් ව්‍යාජ රුද්‍රාක්‍ෂය ජලයට දැමූ විට පාට වෙනස් වේ. ශ්‍රී ලංකාව තුළ සැබෑ රුද්‍රාක්‍ෂ ඉතා අඩුය. ඇත්තේ “මසන්” ඇටය. ඒවායේ රුද්‍රාක්‍ෂයේ ඇති බලය නොමැත. පෙනුම පමණක් සමාන බැවින් මිනිසුන් සැබෑ රුද්‍රාක්‍ෂ ලෙස මසන් ඇටවලට රැවටේ.

මෙම සැබෑ රුද්‍රාක්‍ෂ ස්තෝත්‍රවලින් ජීවම් කිරීම මෙන්ම නව අරහාදී බුදුගුණෙන් පිරිත් කිරීම ද ඉතා අගනේය. පිරිත්වලින් 108 වරක් පිරිත් කළ නවගුණ වැල බොහෝ බලවත්ය. නමුත් මෙම නවගුණ වැල ආභරණයක් සේ යොදා නොගත යුතුයි. ගෞරවයෙන් හා භක්තියෙන් මෙය පැලඳිය යුතුයි.

මහා බලසම්පන්න රුද්‍රාක්‍ෂ බීජ

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී

පල්ලෙබැද්ද පානදුර.

advertistmentadvertistment
advertistmentadvertistment