මාර්ගගත සුරක්‍ෂිතතා පනත ගෙනාවේ රටේ පුරවැසියා ආරක්‍ෂා කිරීමටයි – රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

121

තරුණ අයිතිය විනාශ කරන භාෂණයේ නිදහස බිඳ දමන පනතක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස
අපේ කාලය ඉවරයි : දරුවෝ ගැන හිතලා පනත සංශෝධනය කරන්න – කුමාර වෙල්ගම (සජබ)
භාෂණයේ නිදහසට කිසිම බාධාවක් නෑ – වජිර අබේවර්ධන (එජාප)

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ගෙන ඒමේ ප්‍රධානම අරමුණ රටේ පුරවැසියා ආරක්ෂා කිරීම බවත් අයිතිවාසිකම් හා නිදහස වගකීමෙන් භුක්ති විඳිය යුතු බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පනත් කෙටුම්පත පිළිබඳ දෙවන දිනටත් ඊයේ (24 දා) විවාදය සිදුවූ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ විය.

මෙහිදී මුලින්ම අදහස් දැක්වූ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ :

මේ පනත ගැන මහා බිල්ලෙක් මවලා සමහරු වැරැදි ප්‍රතිරූපයක් හදන්න උත්සාහ කළා.

අපේ රටේ බොහෝ සමාජ මාධ්‍ය හැසිරීම ඉතා අශීලාචාරයි. ඊට මුහුණදෙන්න විශාල අසීරුතාවක් ඇතිවෙනවා. ශිෂ්ඨ සම්පන්න රටක් හදන්න මේ පනත ඉතා වැදගත් වේවි.

අපේ රටේ මරණාධාර සමිතියක වුවත් නීති රාමුවක් පවතිනවා. නමුත් සමාජ මාධ්‍යයට පමණක් පූර්ණ නිදහසක් ලැබීමට අවශ්‍ය නෑ. ඊට හේතුව සමාජ මාධ්‍ය හසුරන බොහෝ අය අශීලාචාර පිරිසක්. හැමෝටම නීති රාමුවක් තුළ ක්‍රියා කිරීමට ඉඩ ඇති කළ යුතුයි.

සමාජ මාධ්‍ය භූමිකාව නිසාම ප්‍රධාන මාධ්‍යයත් ඊට යටවෙලා. පුවත්පත්වලට මාධ්‍යකරණය කරගන්න බැරි තරමට සමාජ මාධ්‍ය ප්‍රබල වෙලා.

මම ගැන ගිය වැරැදි පුවතක් පුවත්පත නිවැරදි කළත් සමාජ මාධ්‍ය දිගින් දිගටම වැරැදි ප්‍රවෘත්තිය පළ කළා. කිසිම නිවැරදි කිරීමක් සිදුවුණේ නෑ. අපට ඉන් අසාධාරණයක් වුණා.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල :

අපි යම් එකඟතාවකින් යුතුව පනත ගේමු කියලා කිව්වා. නමුත් ඊට ආණ්ඩුව කැමති වුණේ නෑ. යම් නියාමනයක් අවශ්‍ය්‍යි. ඒත් එය පදනම් කරගෙන දේශපාලන නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නැති කරනවාට අපි විරුද්ධයි.

සිංගප්පූරුව තරම් මාධ්‍ය මර්දනය කරන තවත් රටක් නෑ. ඇමැති කිව්වා සිංගප්පූරුවේ ආකාරයට පනත හදමු කියලා. මාධ්‍ය මර්දනයට සිංගප්පූරුවෙන් නීති ගත්තාට කමක් නෑ. නිදහසට එහි නීති නෑ. භාෂණයේ නිදහසට බාධා ඇති කරලා.

මුලින්ම පනත ගෙනාපු වෙලාවේ අපි අධිකරණය හමුවට ගිහින් ආණ්ඩුව හදපු සිංගප්පූරු නීති සැර අඩු කිරීමට පියවර ගත්තා.

මේක හරියට 20 වන සංශෝධනය වගේ. අපි කිව්වා මේක ගේන්න එපා කියලා. අපි ගෙනාපු යෝජනා ප්‍රතික්ෂේප කළා. අවසානයේ මොනවද වුණේ? ආයෝජන බිංදුවට බැස්සා. දැන් 21 සංශෝධනය ආවාට පස්සේ දශම ගණනකින් ආයෝජන එනවා. එයින් රටක් දන්න බෑ.

මුළු ජාත්‍යන්තරයම විරුද්ධත්වය රටට තියෙනවා. මේ පනතට ජාත්‍යන්තරයම අද විරුද්ධයි. මේකත් 20 සංශෝධනය වගේ ආණ්ඩුව විනාශ වන එකක්. දැන්වත් මේ ගැන හිතන්න.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන :

සමාජ මාධ්‍ය තුළින් සමාජයේ ඇති කරන වෛරය, ක්‍රෝධය නැති කරන්න අපි මේ පනත ගෙනාවේ. ජනාධිපතිට, ඇමැතිට අපි ස්තුති කරනවා.

මේ පනතට විරුද්ධ වන්නේ කාටහරි මඩ ගහන්න ජීවිත විනාශ කරන්න ඕන කොන්ද පණ නැති මිනිස්සුන්ටයි. කෙළින් කතා කරගන්න බැරි අයටයි.

අරගලය මුලින්ම පටන් ගත්තේ සමාජ මාධ්‍යයෙන්. ගෙවල්වලට යන්න ඕන අය, ගෙවල් තියෙන තැන්, සෙනඟ රැස්කිරීම් කළේ සමාජ මාධ්‍යයයි.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස :

මේ පනත ගෙනා ආකාරය ගැන අපගේ බරපතළ විරෝධය පළ කරනවා. සියලුදෙනාගේ අදහස් ලබාගෙන නියමිත ක්‍රමවේදයකට ගෙන ආ යුතුයි.

මේ පනතේ වගන්ති 57න් 34ක් සම්මත කරන්න විශේෂ බහුතරයක් අවශ්‍ය බව අධිකරණය කිව්වා. ඒ නිසා මේ පනත ගෙන ඒමම වරදක්. මෙය තරුණ අයිතිය විනාශ කරන භාෂණයේ නිදහස බිඳ දමන තරුණ උරුමය වෙනුවට කරුමයක් කිරීමට ගෙන ආ පනතක්.

වරායේ යාත්‍රා උපයෝගි කරගෙන දාපු පාටිය සමාජ මාධ්‍ය නොතිබෙන්න දැනගන්න ලැබෙන්නේ නැහැ.

පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන (එජාප) :

මේ පනත හරහා භාෂණයේ නිදහසට කිසිම බාධාවක් ඇති වන්නේ නෑ. රටටත්, ජාතියටත් රටේ අනාගතයටත් වැදගත් පනතක්. සියලුදෙනා බෙදීමකින් තොරව ඊට ඡන්දය දිය යුතුයි ලංකාව දියුණු රටක් බවට පත් කිරීමට.

රාජ්‍ය ඇමැති ප්‍රමිත බංඩාර තෙන්නකෝන් :

මේ පනතට සමාජයේ යම් බියක් ඇති වී තිබෙනවා. ඊට හේතුව බහුතරයකට ඒ ගැන අවබෝධයක් නොතිබීමයි. ජනාධිපති ආණ්ඩුව ආරක්ෂා වීමට පනත ගේන බව විපක්‍ෂය කියනවා. මූලික අරමුණ රටේ පුරවැසියා ආරක්ෂා කිරීමයි. සමාජයේ ආරක්ෂාව වෙනුවෙනුයි මේ පනත ගේන්නේ. අයිතිවාසිකම් හා නිදහස වගකීමෙන් භුක්ති විඳිය යුතුයි. එය අපි හැමෝගෙම වගකීමයි. මේ රටේ සමාජ මාධ්‍ය පට්ටපල් බොරු සමාජ ගත කිරීම විලාසිතාවක් කරගත්තා. ලස්සන වීඩියෝ හදලා සමාජගත කර කැලඹිල්ලක් ඇති කළා. මේ දෙස අත්බැඳගෙන බලාසිටීම සුදුසුද? පාර්ලිමේන්තුවේ අපි ඒ දෙස බලා සිටිය යුතුද? සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රකාශවලට නීති ගේනවා වගේම අපි අතර වගවීම හා වගකීම තිබිය යුතුයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන :

මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි. මිනිසුන්ගේ චරිත ඝාතන, අපහාස කිරීම් ගැන හිතලා. ඒත් මේ පනතේ සමහර නීති තද වැඩියි.

මම කෝටි 100ක් වියදම් කරලා පොළොන්නරුව

කෞතුකාගාරය හැදුවා. කිසිම ජනපතිවරණයෙක් කෞතුකාගාර හදලා නෑ. සුද්දෝ හැදුවේ. මට විදේශ රටකින් ලැබුණු තිළිණයක් එහි තබා තිබුණා. දුවගේ ගෙදර හොරු කඩපු වෙලාවේ මාධ්‍යයක අශීලාචාරව ඒ ගැන කිව්වා. රාජ්‍ය නායකයාගේ තිළිණයක් ගෙදර තිබුණලු. මට ලැබුණු සියලු තෑගි එම කෞතුකාගාරයේ තියෙනවා. මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ගේ තෑගි කොහේ තියෙනවාද දන්නේ නෑ. මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි. වැරැදි කරපු කෙනකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් අවශ්‍යයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නයන වාසලතිලක (සජබ) :

මගේ පදනමින් බදුල්ලේ දිස්ත්‍රික් ජනතාවට සේවය කරනවා. මම ඡන්දය දුන් සියලුදෙනාට මා ස්තුති කරනවා. මේ ස්ථානයට පත් කිරීම ගැන.

මට කරන්න පුළුවන් හැම අවස්ථාවකම ජනතාවට සේවය කරනවා. සල්ලි තියෙන අයගෙන් ඉල්ලනවා දරුවන්ට පොතක් පතක්වත් ලබාදෙන්න කියලා.

ප්‍රවාහන, මහාමාර්ග ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන :

අපේ රටේ ජනතාව අනෙක් අයට

ගරු කරන්න පුරුද්දක් තිබුණා. හැමෝම අතීතයේ සිට සමගිව කටයුතු කළා.

දේශපාලන වෛරය ඇති කළේ එක් දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසයි රටේ ගෙවල් ගිනි තැබීම් දක්වා අරගලය වර්ධනය වුණේ. තමන් කැමති මතයක් පළ කරන්න නිදහස දීමට පාර්ලිමේන්තුවේ වගකීමක් තියෙනවා. 225ටම විශාල ලෙස අපහාස සිදුවෙනවා. සමාජ මාධ්‍ය ඒ සඳහා යොදා ගන්නවා. එය වැළැක්වීමට පියවර ගත යුතුයි.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම :

පාර්ලිමේන්තු වාර අවසාන කිරීමට තීරණය කර ඊට පෙර දේශපාලන අවශ්‍යතාවන් මත මේ පනත ගෙනවිත් තිබෙනවා.

මේ පනත නිසා රටේ ඩිජිටල් මාධ්‍ය කඩා වැටීමක් සිදුවිය හැකි බවට ජාත්‍යන්තර සංවිධානයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පැය 8කට වරක් මාර්ගයේ වාහන අනතුරක් සිදුවෙනවා. ඒ නිසා පාරේ වාහන තහනම් කළ යුතුද? බීමත්කමින් අනතුරු වැඩිවෙනවා. ඒ ගැන බලන්නේ නෑ. ආතර් සී. ක්ලාක් කිව්වා 21 වන ශත වර්ෂයේ සන්නිවේදනයේ ශතවර්ෂය කියා. කෝටි දෙකක ජනගහනයක් ඉන්න රටේ ෆේස්බුක් එකවුන්ට් මිලියන 8ක් තියෙනවා. ජංගම දුරකථන තුන්කෝටි හැටලක්ෂයක් තියෙනවා. ඒ නිසා දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් නීති සම්පාදනය නොකළ යුතුයි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම (සජබ) :

මේ පනතේ සමහර කරුණුවලට අපි කැමතියි. සමාජ මාධ්‍යයේ යන කරුණුවලට පවුල් පවා විනාශ වෙනවා. අපේ දරුවන්ට ෆෝන් එක අතට ඕන. අධ්‍යාපනයට දුරකතනය අවශ්‍යමයි. විභාගවලටත් ඕන වෙනවා. ඒ නිසා අපි යළි ආපස්සට යායුතු නෑ. ජංගම දුරකථන නැතිව ලෝකයට යන්න බැහැ. අපේ දරුවො ගැන හිතලා අපිත් පනතට විරුද්ධව ඡන්දය දෙන්න වෙනවා. අපේ කාලය ඉවරයි. දරුවෝ ගැන හිතලා මේක සංශෝධනය කරන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක :

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පැවතිය යුතුයි. අද රටපත්ව ඇති තත්ත්වය බැලූවිට ඩිජිටල් ආයතනවලින් බදු අයකර ගැනීමක් කළ යුතුව තිබුණා. අන්තර්ජාලය නියමානුකූලව ක්‍රියාත්මක කිරීමත් කර රටට ආදායමක් ලැබෙන පරිදි සකස් කළ යුතුව තිබුණා.

මෙය මර්දනය දියත් කිරීමට ගෙනා පනතක්. අද රටේ නීතිය අතට ගෙන පොලිසිය හා අනෙක් අය ක්‍රියා කිරීම මැද සමාජ මාධ්‍යයට බාධා දැමීම භයානක තත්ත්වයක්. මර්දනයම ඔලුවේ තියාගෙන කටයුතු කිරීම නිසා අපි පනත ප්‍රතික්ෂේප කරනවා. ඩිජිටල් සේවා ගැන කළ යුතු වැඩ රැසක් තිබෙනවා.

විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර :

ජනතාව තුළ වෛරයක් ඇතිවන ප්‍රකාශ, වැරැදි ප්‍රකාශ, අපහාසවලට වැඩ බැඳීමක් මේ පනතින් සිදුවෙනවා. චරිත ඝාතනය, කාන්තා හිංසනය, ළමා අපචාර වැළැක්විය යුතුයි. මාර්ගගතවල සුරක්ෂිතතාව තහවුරු කළ යුතුයි.

මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කළ විට නිර්දේශ දී තිබුණා. ඒ ගැන ආංශික කාරක සභාව අවධානය යොමු කළා. ඊට යටත්ව පනත අනුමතකර තියෙනවා. මේ පනත පෙර ආණ්ඩුවලත් කතා කළා. පනත ගෙනාවට පස්සේ පාර්ලිමේන්තුවට විතරයි බොරු කියන්න පුළුවන්. මේ නීති ඒවාටත් ආවානම් හොඳයි. පත්තරේ විස්තර 27/2 යටතේ කියන අය ඉන්නවා. ඒවාටත් අදාළ විය යුතුයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම (සජබ) :

සමාජ මාධ්‍ය නියාමනයක් අවශ්‍ය වුවත් ඒ සඳා ක්‍රමවේදයක් තිබිය යුතුයි. තමන්ට අවශ්‍ය විදියට වැඩ කරන්න ගිහින් තමයි රට බංකොළොත් වුණේ. මේ පනත අනුව පත් කරන කොමිසමේ සාමාජිකයන් පත් වන්නේ ජනාධිපති කැමැත්ත අනුවයි. එයින්ම ස්වාධීනත්වය බිඳෙනවා. අන්තනෝමතික ඒකාධිකාරි බලයක් පනතින් දීලා. ආණ්ඩුව අද අත ඉස්සුවත් ඔවුන්ට ඒ ගැන හිතන්න පසුව සිදුවෙනවා. කොමිසම වැරැදි වුවත් කියන දේ පිළිගන්න වෙනවා. ඒකාධිපති බලයක් කොමිසම නතුවෙලා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ :

මෙය අනිවාර්යයෙන් ක්‍රියාත්මක විය යුතු පනතක්. පනතට විරුද්ධව පාර්ලිමේන්තුව වටලනවා කිව්වත් 150ක් පාර්ලිමේන්තුව වටලන්න ආවා. පනත හදලා රෙගුලාසි සම්මත කරලා හොඳ දෙයක් කරමු. තමන් කියනදේ වගකීම තමන් භාර ගන්න ඕන. වගකීම ගන්න බැරිනම් මොකටද දාන්නේ. ව්‍යාජ දත්ත භාවිතා කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන ලොව ප්‍රධාන රට ලංකාවයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) :

මේ රටේ මිනිස්සු සියයට 98ක් මේ පනතට විරුද්ධ බව සමීක්‍ෂණයකින් සඳහන් වෙනවා. අපේ ආණ්ඩුවකින් මේ නීතිය වෙනස් කරනවා. අතරමැදියාගේ වගකීමට සීමාවක් තිබිය යුතුයි. අපරාධකරුවා විය යුත්තේ වැරැදි පිංතූර දාන කෙනා, එසේ නැතිව ෆේස්බුක්, ඉන්ස්ට්‍රර්ගැම් නොවෙයි.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් :

පනත ගිය වසරේ ඔක්තෝබර් ඉදිරිපත් කළා. පෙත්සම් 46ක් අධිකරණයට ආවා. අධිකරණ සංශෝධන අපි ඉදිරිපත් කළා. සංශෝධන 34ක් අධිකරණයට අපිම ඉදිරිපත් කළා. මේවා අධ්‍යයනය කරන්න ඇති තරම් කල් තිබුණා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment