බංකොලොත්භාවයට හේතු සෙවීම…

484

ඉතිහාසයේ බලවත්ම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් අප මේ තවමත් ගත කරමින් සිටින්නේ ඉතා දුෂ්කර සහ තීරණාත්මක කාලයකි. ඉදිරියටත් සැලකිය යුතු කාලයක් අපට දුෂ්කර ලෙස ගත කිරීමට සිදුවනු ඇත. ගිය වසරේ (2022) දී විදේශ ණය ගෙවීම පවා අත්හිටුවීමට හේතු වූයේ විදේශ ණය වාරික ගෙවීමට පවා ප්‍රමාණවත් විදේශ විනිමය රට සතුව නොපැවති නිසාය. විදේශ සංචිත හොඳටම සිඳී ගියේය. මේ වන විට ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවයට හේතු සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද පත් කර තිබේ. එහි සභාපතිත්වයට පත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ය. ඒ සම්බන්ධයෙන් ද බොහෝ විවේචන ඉදිරිපත් වෙමින් තිබේ. රට බංකොලොත් වෙමින් සිය විදේශ ණය පවා ගෙවාගත නොහැකිව ඒ බව ප්‍රකාශයට පත් කළේ ගිය වසරේ (2022) අප්‍රේල් 12 වැනිදාය. එවකට රටේ පැවතියේ ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද සාගර කාරියවසම් මහතා ලේකම් ධුරය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙනි. එම පක්ෂයේම මහ ලේකම්වරයා මේ කාරක සභාවේ සභාපති කිරීම කෙතරම් සුදුසු ද යන ප්‍රශ්නය තිබේ. මේ නිසා විපක්ෂය කියන්නේ මේ කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයකුට ලබාදිය යුතු බවයි. රට බංකොලොත්වීමට හේතු වූ සත්‍ය කරුණු දැන ගැනීමට ඇත්තටම අවශ්‍ය නම් කළ යුත්තේ එම සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ද පාර්ලිමේන්තුවේ දී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින්නේ නිදහසෙන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයටය. මේ බව 2022 නවතම මහ බැංකු වාර්ෂික වාර්තාවේ පළමු පිටුවේම මෙසේ සඳහන් වේ.

‘ශ්‍රී ලංකා ආර්ථිකය නිදහසින් පසු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වඩාත් අසීරුතම කාලපරිච්ජේදය සඳහා 2022 වසරේ දී මුහුණ දුන් අතර, පැවති දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මහජන නොසන්සුන්වීම් මෙන්ම දේශපාලන කැළඹීම් ද ඇති විය.’

මේ අනුව පැහැදිලි වන්නේ මේ ආර්ථික අර්බුදය හමුවේ රට තුළ ආර්ථික මෙන්ම සමාජ හා දේශපාලන බලපෑම් ද ඇති වූ බවයි. පැවති උග්‍ර විදේශ විනිමය හිඟය නිසා රට තුළ ඉන්ධන පෝලිම් සහ ගෑස් පෝලිම් ඇතුළු පෝලිම් තත්ත්වයන්ද නිර්මාණය විය. මේ නිසා සිදු වූ මහජන නොසන්සුන්වීම් හමුවේ රට තුළ විරෝධතා, උද්ඝෝෂණ මෙන්ම අරගල ක්‍රියාකාරිත්වයන් ද ඇති විය. අවසානයේ ජනාධිපතිවරයාට ද රට හැර ගොස් ඉල්ලා අස් වීමට සිදුවිය. මේ සියලුම දේ පොදුවේ රටේ ආර්ථික ක්‍රියාකාරිත්වයට අහිතකර බලපෑම් ඇති කළේය. මේ හමුවේ ගිය වසරේ (2022) ශ්‍රී ලංකා ආර්ථිකය වාර්තා කළේ ඍණ සියයට 7.8 ක ආර්ථික වර්ධනයකි. එනම් ඉතිහාසයේ වැඩිම ආර්ථික පසුබෑම වාර්තා කළේ ගිය වසරේ (2022) දීය. මේ වසරේ (2023) පළමු කාර්තුවේ දී ද සියයට 11.5 ක ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළේය. කෙසේ වෙතත් අපේක්ෂිත අගයට වඩා වැඩි වේගයකින් උද්ධමනය අඩු වෙමින් පවතින නිසාත් ඊට අනුරූපව පොලී අනුපාත පහත වැටෙමින් තිබෙන නිසාත් ඉදිරි කාලයේ දී රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය වේගවත් වනු ඇතැයි සිතිය හැකිය. ඒ අනුව මේ වසරේ අවසන් කාර්තුවේ දී ඍණ ආර්ථික වර්ධන තත්ත්වය ධන තත්ත්වයට පරිවර්තනය වීම සිදුවනු ඇත.

රටේ විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව ඉතිහාසයේ ප්‍රථම වතාවට 2022 අප්‍රේල් 12 වැනිදා විදේශ ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය. බොහෝ දෙනා මේ තත්ත්වය හැඳින්වූයේ රට බංකොලොත් වීමක් ලෙසය. අපට අඩු තරමේ ගත් විදේශ ණය වාරික ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් හෝ අපේ විදේශ සංචිතය තුළ පැවතියා නම් අපට මේ විදේශ විනිමය අර්බුදය මෙතරම් දරුණු ආර්ථික අර්බුදයක තත්ත්වයට වර්ධනය වීමට ඉඩ නොදී කළමනාකරණය කරගත හැකිව තිබුණි. එහෙත් අප්‍රේල් මාසය වන විට භාවිතා කළ හැකි විදේශ සංචිත ප්‍රමාණය හොඳටම අඩුවිය. මේ නිසා වැඩි වැඩියෙන් විදේශ විනිමය උපයා ගැනීමත්, විදේශ ණය කලට වෙලාවට ගෙවීමට සහ රටට අත්‍යවශ්‍ය ආනයන සිදු කිරීමටත් ප්‍රමාණවත් විදේශ සංචිතයක් පවත්වාගෙන යෑමත් රටකට ඉතාම වැදගත් කරුණකි. මේ සඳහා විවිධ මාර්ගවලින් අප උපයන විදේශ විනිමය ලැබීම් වර්ධනය කරගත යුතුවේ. එසේම විදේශ විනිමය උපයාගත හැකි නව මාර්ග ද සොයාගත යුතු වේ. එහෙත් පසුගිය සෑම රජයක්ම පාහේ අපනයන ආදායම මෙන් දෙගුණයක් ආනයන සඳහා වියදම් කරමින් විශාල වෙළෙඳ හිඟයක් පවත්වාගෙන ගියා මිස විදේශ විනිමය ආදායම් වර්ධනය කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත්තේ නැත. එසේම රාජ්‍ය ආදායම් වර්ධනය කරගන්නවා වෙනුවට ආදායමට වඩා වියදම් කරමින් විශාල අයවැය හිඟයන් ද පවත්වාගෙන ගියේය. මේ නිසා එම විශාල අයවැය හිඟයන් පියවා ගැනීමට සිදු වූයේ දේශීය සහ විදේශීය වශයෙන් විශාල ලෙස ණය ගැනීමෙනි. මේ නිසා ආණ්ඩුවේ ණය කන්ද ද දිනෙන් දින වර්ධනය විය. ඒ නිසා රට බංකොලොත් වීමට දිගුකාලීන හේතු ද තිබේ. එසේම කෙටිකාලීන හේතු එනම් ආසන්න හේතු ද තිබේ. මේ සඳහා පසුගිය සෑම රජයකම අයහපත් ආර්ථික කළමනාකරණය අඩුවැඩි වශයෙන් හේතු වී ඇත.

‘යළි පිබිදෙන ශ්‍රී ලංකාව, හරිත ඔරොත්තු දීමේ හැකියාව ඇති සහ සියලු දේ ඇතුළත් සංවර්ධනයක්’ යන මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මාධ්‍ය සමාජය (Press Club) විසින් සංවිධානය කළ උත්සවයක් පසුගිය ජූලි 18 වෙනි දින හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් (Faris Hadad – Zervos) මහතාය. මෙහි ප්‍රධාන ආරාධිත දේශනය පවත්වනු ලැබුවේ ද ඒ මහතා විසිනි. ශ්‍රී ලංකාවේ ප්‍රගමනය සඳහා හරිත දැක්මක් සහිත සහභාගිත්ව සංවර්ධනයක වැදගත්කම ගැන අවධාරණය කරමින් කතා කළ ඒ මහතා සිය දෙසුම පවත්වමින් ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය ගැන බොහෝ තොරතුරු සඳහන් කළේය. රජය විසින් අසීරු හා අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් සතුට පළ කළ ඔහු අවධාරණය කළේ අපට මේ මුහුණ දී සිටින අර්බුදයෙන් මිදීමට තවත් දිගු ගමනක් යෑමට සිදුවනු ඇති බවය. ඔහුගේ අදහස් දැක්වීමෙන් කොටසක් මේ ලිපිය සමග වෙනම පළ වේ.

ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතාගේ මූලික අදහස් දක්වීමෙන් පසු සහභාගී වී සිටි අයට ප්‍රශ්න ඇසීමට ද අවස්ථාවක් ලැබිණි. එහිදී ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ මාධ්‍යවේදී හිරාන් සෙනෙවිරත්න ඇසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අප විසින් ඇති කරගත් එකක් ද නැතහොත් ස්වභාවිකව ඇති වූ එකක් ද යන්නයි. ඒ සඳහා පිළිතුරු දෙමින් සර්වෝස් මහතා ඉතා පැහැදිලිව කියා සිටියේ මෙය වැරදි ආර්ථික කළමනාකරණය නිසා මිනිසා විසින් ඇතිකරගත් එකක් බවයි. මේ අහිතකර ආර්ථික කළමනාකරණය, රජයේ විදේශ ණය එකතු වීමට හේතු වූ බව ද ඔහු සඳහන් කළේය. ඔහුගේ අදහස් දැක්වීම අනුව රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ස්වභාවිකව හෝ ඉබේම ඇති වූ අර්බුදයක් නොව අප විසින්ම, අපගේ වැරදි ආර්ථික කළමනාකරණය නිසාම ඇතිකරගත් එකකි. එසේ නම් රට බංකොලොත් වීමට වගකිව යුතු වන්නේ එම වැරදි ආර්ථික කළමනාකරණය සිදුකළ පිරිසයි. ඒ වැරදි ආර්ථික තීන්දු තීරණ නිසා රට මේ බලවත් අගාධයට ඇද වැටී, මහජනතාව අසීමිත පීඩාවකට පත්ව ඇත. එසේම මහජනයාට මේ ආර්ථික පීඩා තවත් සැලකිය යුතු කාලයක් විඳීමට ද සිදුවනු ඇත. මේ කියන ආර්ථික තීන්දු තීරණ ගත් දේශපාලන සහ ආර්ථික බලධාරීන් තවමත් යෙහෙන් වැජඹෙමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ මහතාට නම් මෙහි විපාක වශයෙන් මහජන විරෝධතා සහ ‘අරගලය’ හමුවේ රටින් ද පලා ගොස් සිය ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සිදුවිය. පාර්ලිමේන්තුවේ කවර කාරක සභා පත් කළත් රට බංකොලොත් කිරීමට වගකිව යුතු අයට එරෙහිව කිසිම දෙයක් සිදුවනු ඇතැයි අපට නම් සිතිය නොහැකිය.

ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතාගේ දේශනයෙන් පසු ප්‍රශ්න සහ පිළිතුරු සැසිය මෙහෙයවනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෆයිසාල් සමත් මහතා විසිනි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මනික් ද සිල්වා මහතා පිළිගැනීමේ කතාව කළේය. ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයින්ගේ සංගමය, ශ්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය , ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය යන ආයතනවල කොටස්කාරිත්වය දරන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය යටතේ මාධ්‍ය සමාජය (ප්‍රෙස් ක්ලබ්) ක්‍රියාත්මක වේ. එහි අනුබද්ධ හවුල්කරුවන් ලෙස මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සන්ධානය සහ දකුණු ආසියා නිදහස් මාධ්‍ය සංගමය ද කටයුතු කරයි. මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින්, විද්වතුන්, ප්‍රධාන පෙළේ කර්තෘවරුන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

සිය දෙසුම පවත්වමින් මාලදිවයින හා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම අර්බුදයෙන් මිදීම සම්බන්ධයෙන් ද වැදගත් අදහස් රැසක් ප්‍රකාශ කළේය. ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මේ වනවිට සිදුකරමින් යන වැඩසටහන ප්‍රශංසනීය බව ද ඔහු කියා සිටියේය. එම තත්ත්වය ඒ ආකාරයෙන්ම ජනතාවත් දැනුම්වත් කරමින් ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය. අඩුපාඩු වැරදි ගැන විවේචන කිරීමේ කිසිම වරදක් නැත. එහෙත් අපත් සිතනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබමින් මේ යන ගමන හැර මේ අර්බුදයෙන් මිදීමට වෙනත් විකල්ප මගක් නොමැති බවයි. වැරදි ආර්ථික තීන්දු ගනිමින් රට බංකොලොත් කළ අය, 2022 අප්‍රේල් වන විට ඒ ව්‍යසනකාරී තත්ත්වයට රට පත්කර තිබේ. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතම යැපෙන්නේ නැතුව අපේ ආර්ථිකය ගොඩ දා ගැනීමට අපට ද වෙනම සැලසුම් තිබිය යුතු වේ. උදාහරණයක් ලෙස වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමට යනාදී වශයෙන් අපට සැලසුම් තිබීම අත්‍යවශ්‍ය වේ. ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කර දෙන්නේ නැත.

ඉහත සඳහන් කළ උත්සවයේ දී ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතාගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කළ ඉතා වැදගත් ඉල්ලීම මෙසේ සටහන් කරමින් මේ ලිපිය නිමා කරමි.

“බලාපොරොත්තු නොවූ අර්බුදයකට ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදෙමින් සිටිනවා. අපහසු තීන්දු තීරණවලට එළැඹීමට සිදුවෙයි. නමුත් හරි වේලාවේ මේ තීන්දු තීරණවලට එළැඹීමට සිදුවෙනවා. ඉල්ලීමක් කරන්න තිබෙනවා මේ කරගෙන යන වැඩපිළිවෙළ ඒ විදියටම කරගෙන යන්න. එයයි මේ වෙලාවේ වැදගත්. කරුණාකර ඇත්ත කතා කරන්න. මේ දේශපාලනය කරන කාලයක් නෙමෙයි. මේ හරි දේ කරන කාලයයි. වෙලාව ඇවිත් ශ්‍රී ලංකාවට නැවතත් හිස ඔසවන්න.”

ශ්‍යාම් නුවන් ගනේවත්ත

අසීරු හා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රජය කැපවීමෙන් කටයුතු කිරීම ප්‍රශංසනීයයි

බංකොලොත්භාවයට හේතු සෙවීම…

ලෝක බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගුකාලීනව සලසන මූල්‍ය පහසුකම ලබාගැනීමට සමත් වීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සහ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ජාත්‍යන්තර මූල්‍ය සහය ලබාගැනීමට සමත් වීම ආදී සාර්ථකත්වයන් ගැන, ශ්‍රී ලංකා රජයට සුභ පතනවා.

යහපත් ප්‍රතිඵල අපේක්ෂාවෙන් බලවත් ප්‍රතිසංස්කරණ ඇතුළත් න්‍යායපත්‍රයකට අනුව යම් යම් අසීරු හා අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට කැපවීමෙන් යුතුව කටයුතු කිරීමට රජය ක්‍රියා කිරීම ප්‍රශංසනීයයි. බදු ප්‍රතිසංස්කරණයන්, පිරිවැය පිළිබිඹු වන ආකාරයෙන් උපයෝගීතා මිල ගණන් නියම කිරීම්, සවිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ස්ථාපිත කිරීම සහ ආර්ථික ස්ථාවරත්වය උදෙසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදිය මේ මොහොතේ රජය සිදුකළ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණන්.

එසේ වුව ද සංවර්ධනය, ආදායම සහ රැකියාවන් පිළිබඳ අර්බුදය හේතුවෙන් අනාගතයේ දී මතු විය හැකි බියකරු අනිටු බලපෑම් ගැන ද අපට දැඩි කනස්සල්ලක් පවතින අතර තවදුරටත් අර්බුදය පවතින විට, රට වැසියන් වැඩි වැඩියෙන් රට හැර යන තත්ත්වයක් උදා විය හැකියි. අසීරුතාවන්ට මුහුණපාන පවුල්, සිය දරුවන් පාසල්වලින් ඉවත් කරගැනීමට ද ඉඩ ඇති අතර තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යෑම වෙනුවෙන් තම වත්කම් විකුණා දැමීමට සමාගම් විසින් තීරණය කළ හැකියි.

“යළි පිබිදෙන ශ්‍රී ලංකාව, හරිත ඔරොත්තු දීමේ හැකියාව ඇති සහ සියලු දේ ඇතුළත් සංවර්ධනයක්” මැයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මාධ්‍ය සමාජය විසින් සංවිධානයෙන් පසුගිය ජූලි 18 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති උත්සවයේ ආරාධිත දෙසුම පවත්වමින්.

advertistmentadvertistment
advertistmentadvertistment