මාස තුනක් තිස්සේ නිර්වින්දන වෛද්‍යවරයකු නෑ – ඇඹිලිපිටිය මහ රෝහලේ රෝගී ජීවිත මරුකටේ

78

මූලික රෝහල් 15ක රෝගීන් අපට එනවා – රෝහල් අධ්‍යක්‍ෂ

ඇඹිලිපිටිය මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු සිටිය යුතු වුවද එක් නිර්වින්දන වෛද්‍යවරයකුවත් නොමැතිවීම හේතුවෙන් රෝහල් කටයුතු මේ වනවිට අඩාල වී ඇත. මේ හේතුවෙන් දැඩි සත්කාර ඒකකය හා ශල්‍යාගාර පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව අනාවරණය වේ.

මෙම රෝහල මධ්‍යම ආණ්ඩුවට පවරා ගනු ලැබුවේ මෑත භාගයේදීය. ඒ ජනතාවගේ ඉල්ලීමක් මතය. ජනතාව අදහස් කළේ ඒ තුළින් ඇඹිලිපිටිය රෝහලේ ඇති බොහෝ අඩුපාඩු මඟහැරී යන බවයි. එහෙත් මේ දක්වාම ඇඹිලිපිටිය රෝහලේ භෞතික මෙන්ම මානව සම්පත්ද නිසි ක්‍රමවේදයකට නොමැත.

මාස තුනක් තිස්සේ නිර්වින්දන වෛද්‍යවරයකු නෑ - ඇඹිලිපිටිය මහ රෝහලේ රෝගී ජීවිත මරුකටේ

2023.04.10 දින සිට මේ දක්වා කිසිදු ස්ථීර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු නොමැත. තාවකාලිකව අනුයුක්ත කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාද පුහුණුව සඳහා විදේශගත වී ඇත. තවත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු සේවය හැරගොස් ඇත. 2023.12.03 සිට මේ දක්වාම ඇඹිලිපිටිය මහ රෝහලේ කිසිදු නිර්වින්දන වෛද්‍ය වරයකු නොමැති බව ඇඹිලිපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. එම්. ඒ. ඩබ්. එස්. බණ්ඩාර මහතා පවසයි. ඇඹිලිපිටිය මහ රෝහල සඳහා සබරගමුව පළාත, දකුණු පළාත් හා ඌව පළාත යන පළාත් තුනේම රෝගීන් පැමිණෙන ප්‍රාදේශීය රෝහල් සහ ග්‍රාමීය මෙන්ම මූලික රෝහල් 15 ක පමණ රෝගීන් මාරුකර යවන්නේද ඇඹිලිපිටිය මහ රෝහලටයි. මේ වනවිට නිර්වින්දන වෛද්‍ය වරයෙකු නොමැති වීමෙන් ශල්‍යකර්ම කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. අනෙකුත් වෛද්‍යවරුන් කුඩා කුඩා ශල්‍ය කර්ම කළත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානමක් රෝගියාට සිදුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන්ම ළමා රෝගීන්ට කිසිදු ශල්‍යකර්මයක් ඇඹිලිපිටිය මහ රෝහලේදී සිදුකළ නොහැක. තවද මුඛ හනුක ශල්‍ය කර්ම, උගුර කන නාසය ශල්‍ය කර්ම, සිසේරියන් සැත්කම් කිසිවක් සිදුකළ නොහැක.

මේ හේතුවෙන් ප්‍රධාන ශල්‍යකර්ම හා හදිසි ශල්‍ය කර්ම සිදුකිරීම සඳහා රෝගීන් වෙනත් රෝහල් සඳහා මාරුකර යැවීම සිදුවේ. මේ හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අනතුරු සිදුවන වාර ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. විශේෂයෙන්ම හම්බන්තොට හෝ රත්නපුර සහ කරාපිටිය යන රෝහල් කරා රෝගීන් මාරුකර යැවීමට මේ වනවිට සිදුව ඇත. නිර්වින්දන වෛද්‍යවරයකුගේ අධීක්ෂණයෙන් තොරව ශල්‍යකර්ම සිදු කිරීම නිසා රෝගී ජීවිත දැඩි අනතුරකට මුහුණපා ඇත.

රෝහලේ මීට පෙර සිටි නිර්වින්දන වෛද්‍යවරයා පුහුණුවක් සඳහා විදේශගත වී සිට පැමිණ ඇති අතර ඔහුද වෙනත් රෝහලක් කරා යොමුකර ඇත.

මේ වන විට ගල්ගමුව මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍ය වරිය ඇඹිලිපිටිය මහ රෝහලට අනුයුක්ත කර තිබුණද එම රෝහලෙන් මුදා නොහැරීම හේතුවෙන් එම වෛද්‍යවරියද පැමිණ නොමැත.

මෙම රෝහල වෙත, සෙවනගල, තණමල්විල ඕමල්පේ, ඌරුබොක්ක, කටුවන, මිද්දෙනිය, කොළොන්න, සූරියකන්ද, උඩවලව, පල්ලෙබැද්ද, ගොඩකවෙල ආදී බොහෝ රෝහල්වල රෝගීන් මාරුකර එවනු ලබයි.

ඕමල්පේ – ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment