මියගිය දරුවාගේ මුහුණවත් නොපෙන්වා රෝහලේ අය අපිව එහෙ මෙහෙ යවනවා

371

උපන් ගමන් මියගිය බිලිඳාගේ මව්පියෝ දුක කියති

මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ දී මියගිය බව කියන බිලිඳාගේ දේහය බවට රෝහල් කාර්ය මණ්ඩලය තමන්ට පෙන්වූ මළසිරුර සිය දරුවාගේ නොවන බවට බිලිඳාගේ මව්පියෝ චෝදනා කරති.

ඒ අනුව, බිලිඳාගේ සිරුර පිළිබඳ ඇතිවූ සැකය මත DNA පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මව්පියන් රෝහල් බලධාරීන්ට දන්වා ඇත. පසුව ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබුණ ද රෝහලේ අධ්‍යක්ෂවරයා ඊට විරෝධය පළ කර තිබේ.

මාතර වැලිගම පදිංචි 24 හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22 වැනිදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වුණේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහාය. මදුෂානි රෝහල්ගත කළදාම ඇය දරුවා ප්‍රසූත කළත්, බිලිඳා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් ඇයට දැනුම් දී තිබුණි.

බිලිඳාගේ දේහය පියාට හෝ නොපෙන්වා මිහිදන් කිරීම ගැන ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කළ විට ඔවුන් පවසා තිබුණේ දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවය.

මේ සම්බන්ධයෙන් රෝහලේ කාර්ය මණ්ඩලය පරස්පර විරෝධී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඥාතීන්ට ඇත්තේ බලවත් සැකයකි. මෘත ශරීරාගාරයේ තිබී බිලිඳකුගේ මෘත දේහයක් රෝහල් කාර්ය මණ්ඩලය විසින් මව්පියන්ට පෙරේදා පස්වරුවේ පෙන්වා ඇති නමුත් ඔවුන් පවසන්නේ ඒ තම දරුවා නොවන බවය.

“මම තාම මගේ දරුවගේ මුහුණවත් දැක්කේ නැහැ. මේ අය අපිව එහෙට මෙහෙට යවනවා. අනේ… අපිට සාධාරණයක් ඉටු කරලා දෙන්න” යැයි මියගිය බිලිඳාගේ පියා හැඬූ කඳුළින් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment