මිහිඳුපුර ගෙයක් ඇතුළේ නිධන් හාරලා

44

කාන්තාවක ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට: එක් අයෙක් පලා යයි
අඩි 9ක් පළලට අඩි 20ක් ගැඹුරට වළක්

අනුරාධපුර පූජා නගරයේ මිහිඳුපුර ප්‍රදේශයේ නිවසක, මුළුතැන්ගෙය තුළ අඩි 20ක් පමණ කැණීමක් සිදු කර නිධන් වස්තු පිරවූ මුට්ටියක් සොයමින් සිටි කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බවත් එම අවස්ථාවේදී පලා ගිය සැකකරුවකු සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර මිහිඳු පුර ප්‍රදේශයේ පදිංචි එම නිවසේ 61 හැවිරිදි කාන්තාව, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු සහ හිදෝගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

එම සැකකාරිය සහ සැකකරුවන් එම නිවසේ අඩි 9 පමණ පළලට සහ අඩි 20කට ආසන්න ගැඹුරින් යුතුව වළක් හාරා එම කැණීම සිදු කර තිබූ බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී, එම කැණීම් වළ තුළ ජලය අඩි 15ක පමණ ප්‍රමාණයක් පිරී තිබූ බවත් සැකකරුවන් වතුර මෝටරයක් යොදා ගෙන එහි ජලය ඉවත් කරමින් සිටි බවත් පොලිසිය සඳහන් කළේය. නිවසේ මුළුතැන්ගෙය තුළ පොළොව යට නිධන් වස්තු තැන්පත් කර ඇති මුට්ටියක් තිබෙන බවට ජ්‍යෝතිෂ්‍යවේදියකු විසින් එම නිවසේ සිටි කාන්තාවට පැවසීමෙන් අනතුරුව මෙම කැණීම ආරම්භ කර තිබූ බව පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී, ජලයේ ගිල්විය හැකි වතුර මෝටරයක්, අඩි 60ක් දිග වතුර බටයක්, වයර් රෝලක් සහ විදුලි පේනුවක්, උදලු, සවල්, බන්දේසියක්, මැටි පහන් ඇතුළු පූජා භාණ්ඩ සොයා ගත් බව ද පොලිසිය සඳහන් කළේය.

පලා ගිය සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් තිදෙනා ඊයේ (3දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ සහ සහකාර පොලිස් අධිකාරී ( 1) ප්‍රභාත් විතාන යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත්, උප පොලිස් පරීක්ෂක රත්නායක, සැරයන්වරුන් වන වීරකෝන් (36446), ප්‍රියශාන්ත (5069), කීර්ති (20452), පො.සැ. රියදුරු ධනපාල (33826), කා.පො.කො. දිල්රුක්ෂි (9127) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
මිහින්තලේ රංග චතූ


advertistmentadvertistment