ඔළුගෙඩි ටිකක් එහාට මෙහාට කළාට අර්බුදයෙන් ගොඩ එන්න බෑ!

113

මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවෙයි

ඔළුගෙඩි ටිකක් එහාට මෙහාට කරලා කොහොම හරි ආණ්ඩුවක් හදා ගැටගසාගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ යැයි සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

අද දවසේ අපි කවුරුත් දන්නවා පාන්දර 03.00ට පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැවත වතාවක් පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන මිල වැඩි කළා. එම නිසා පෙට්‍රල් ලීටරයක් රුපියල් 420ක් ද ඩීසල් ලීටරයක් 400ක් දක්වා ද වෙනවා. පසුගිය සති එකහමාර තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හා රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් අලුත් ආණ්ඩුවක් හැදුවා. නමුත් එම අලුත් ආණ්ඩුවෙන්ද, ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් දකින්න නැහැ. මේ ආකාරයට පෙට්‍රල් සහ ඩීසල් මිල නැවතත් වැඩි කිරීම තුළින් අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු සියල්ල ගේ මිල තවත් වැඩි වෙනවා. එය ජනතාවට දරාගන්න බැහැ. අපේ රටේ උද්ධමනය කවදාවත් නැති විදියට 32% දක්වා වැඩිවෙලා එය ඉතාමත් විශාල වේගයක්. අපේ රටේ උද්ධමනය තිබුණේ 6%ට එහිදී 32%ක් දක්වා වැඩි වීම දරාගන්න බැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කරලා සුමාන දෙකක් වෙනවා. නමුත් මේ ආණ්ඩුවට තවමත් කැබිනට් එක පත් කරගන්න බැරිවෙලා තියෙනවා. අදටත් ස්ථාවර කැබිනට් එකක් නෑ. ඒ තුළ ජාත්‍යන්තරයට ස්ථාවර භාවයක් නැහැ කියලා පේනවා. ඒ වගේම ආණ්ඩුව කියන්න හදනවා මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා. නමුත් පේන්න තියෙන දේ එහෙම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විසින් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති තනතුරට පත් කරලා මේ ආණ්ඩුව අරගෙන බැලුවොත් ඔක්කොම පසුගිය පොදුජන පෙරමුණේ ඡන්දය ඉල්ලලා පත්වෙච්ච අය. අපේ පක්ෂයෙන් ගිය දෙන්න ඇරෙන්න සමහර අය පළවෙනි වතාවට ඇමැතිකම් අරගෙන තියෙනවා. සමහර අය කාලයක් ඇමැතිකම් දරලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉවත් කරාට පස්සේ නිශ්ශබ්දව ඉඳලා ආයෙ ඇමැතිකම් අරන් තියෙනවා. දැන් නැවත රනිල් වික්‍රමසිංහ පත්වෙනකොට ඇමැතිකම් කරනවා. එහෙම හදන ආණ්ඩුවට මේ අය කියන්න හදනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා මේක එහෙම සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. මේක ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ එකතු වෙලා හදපු එකක් අපේ දෙන්නෙකුත් ඩීල් දාලා අරගෙන තියෙනවා.

එළියේ ජනමතය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා ඉවත් විය යුතුයි. රනිල් වික්‍රමසිංහට එළියේ ජනමතයක් නෑ. ඒක අපි දන්නවා. ඒක ගැන අපි වාද කරලා තේරුමක් නැහැ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment