මෛත්‍රීගේ පෙර පසු ප්‍රකාශ පරස්පරයි – සීඅයිඩීය අධිකරණයට දන්වයි

279

අපරාධ වරදක් කර ඇත්නම් සුදුසු නීතිමය පියවර ගන්න – මහෙස්ත්‍රාත් සීඅයිඩීයට නියෝග කරයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ දෙක මෙන්ම ඔහුගේ නිවසේ පටිගත වී ඇති සිද්ධියට පාදක වූ සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වන තොරතුරු එකිනෙකට පරස්පර වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සත්‍ය සඟවා අසත්‍ය ප්‍රකාශ කර ඇත්නම් වහාම ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ලක්මාල් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳව කළ ප්‍රකාශ මඟින් අපරාධමය වරදක් සිදුකර ඇත්නම් සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

එකී සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන ජූලි 26 වැනිදා තම අධිකරණයට වාර්තා කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළාය.

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව ලබාදුන් තීන්දුවක් මඟින් ඔහු වරදකරුවකු කර වන්දි ගෙවීමට නියම කර ඇති බවත් එවැනි අයකු එම ප්‍රහාර මාලාව පිළිබඳ වැදගත් තොරතුරු සඟවාගෙන සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කළ යුතු බවත් නීතිඥ රජිත ලක්මාල් මහතා අධිකරණයට පැවසීය. සත්‍ය කරුණු සඟවාගෙන සිටීම මෙන්ම අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීමත් දඬුවම් ලැබිය යුතු වැරදි වන්නේ යැයි ද නීතිඥ රජිත ලක්මාල් මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා හා ජන අරගල ව්‍යාපාරයේ පුරවැසියෝ සංවිධානය වෙනුවෙන් කර ඇති පැමිණිලි පිළිබඳව ද විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට පැවසූහ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ සංදීප්ත සූරියආරච්චි මහතාත් පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ රජිත ලක්මාල් මහතාත් පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර සේනාරත්න මහතා පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment