පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ත්‍රීවීල් රස්සාවට බහින රටේ තරුණයන්
කන්නන්ගර දර්ශනයෙන් බැබළුණු අධ්‍යාපනය වළපල්ලට ගෙන ගිය හැටි
එහි විශාලත්වය වර්ග සැතපුම් 25332කි. දිග සැතපුම් 270 කි. පළල සැතපුම් 140 කි. පළාත් ගණන නවයකි. දිස්ත්‍රික්ක 25 ක් සහිත එහි ගංගා 103 ක් තිබෙන අතර සුන්දර දිය ඇලි 55 ක්ද වේ. එසේම තෙත්, වියළි සහ ශුෂ්ක ලෙස කලාප තුනක්ද පවතින අතර ස්භාවික වන උiාන හතරකින්ද සමන්විත වේ. වර්ෂ 1931 දී එහි ජනතාවට සර්වජන ඡන්ද බලය හිමිවූ අතර යටත් විජිතයක්ව තිබී නිදහස උරුම වූයේ වර්ෂ 1948 දීය.
මේ සඳහන් කරනු ලැබුවේ මීට වසර 75 කට පෙර එසේ නිදහස හිමිවූ ශ්‍රී ලංකාවේ පැටිකිරිය පිළිබඳ ඉතාම කෙටි සටහනකි. එය වර්තමානයට ගලපා තවදුරටත් සඳහන් කරනු ලැබුවහොත් අද අපට කීමට ඇති එකී ඉතිරි කොටස කෙසේ වී තිබේද?
ගෙවී ගිය 75 වසරක සිට මාරුවෙන් මාරුවට මේ රට පාලනය කළ දේශපාලක කුලකයේ තවත් පරම්පරාවක් අදත් දේශපාලනඥයෝ ලෙසින් වැජඹෙමින් රට ගොඩනඟන්නට වෙහෙසෙති. එසේ රට ගොඩනඟන්නට හැත්තෑපස් වසරක සිට දේශපාලනඥයන් වෙහෙසෙද්දී පාතාලය නමින් තවත් උප සංස්කෘතියක්ද එහි බිහිවී තිබේ.
එසේම අද එහි සිරගෙවල් පිරී ඉතිරී ගොසිනි. අට, දහය හෝ සාමාන්‍ය පෙළ ආදී කඩයිම්වලින් පාසල් හැර ගිය ඇතැම්හු එහි මහජන නියෝජිතයෝද වී සිටිති. වර්ග සැතපුම් 25332 ක් විශාල පළාත් 09ක් හා දිස්ත්‍රික්ක 25 ක් ඇති එය පාලනය කිරීමට පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ලෙසින් සිටින පිරිස කප්පරකි.
අද එහි සිටින පාසල් හැර යන කොල්ලො කුරුට්ටෝ ඉතා ගාම්භීර ලෙස රැකියාවට ත්‍රිරෝද රථ එළවති. එසේ නැතහොත් ‘ඔටුව පිටෝටුව’ කියමින් බස් රථවල එල්ලී කොන්දොස්තරකම කරති. කෙල්ලෝ ගාමන්ට්වල සන්නාලියන් ලෙස රැකියාවේ යෙදෙති. එසේ නැතහොත් ඔවුහු රට පුරා විහිදී ඇති මසාජ් ක්ලිනික්වලට ගාල් වී මුදලට ඇඟවල් මිරිකති. හොරකම, වංචාව, දූෂණය, නාස්තිය ඉහවහා ගොස් ඇති එහි අද වන විට දෛනිකව සිදුවන මිනී මරුම් ගණන දෙකක් තුනක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ සියල්ල හමුවේ රට හොම්බෙන් යද්දී ඇද වැටුණු රටක සිටින පාලකයෝ අනේ අපි දිළින්දෝයි ලෝකයට කියමින් රට ගොඩගන්නට සිඟමන් යදිමින් සිටිති. වර්ග සැතපුම් 25332 ක වූ මේ පුංචි දිවයින පිළිබඳ වත්මන් කියැවීම තිබෙන්නේ එතැන නොවේද? අපට එසේ වූයේ ඇයි?
මෙරට පාසල් අධ්‍යාපනය ඇරඹෙන්නේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් ලෙසින් පැවති යටත් විජිත යුගයේ සිටය. එයට පෙර පැවතියේ විහාරස්ථාන ආශ්‍රිතව වූ පිරිවෙන් අධ්‍යාපනයකි. මුලදී රෝමානු කතෝලික හා පසුව ක්‍රිස්තියානි ආකාරයෙන් ආරම්භ වූ එකී පාසල් ක්‍රමය 1948 නිදහස හිමිවන කාලය වන විට පැහැදිලි ව්‍යාප්තියකට ලක් වෙමින් විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් තිබිණි.
නිදහසින් පසුවද ක්‍රමයෙන් විකාශය වූ මෙරට පාසල් අධ්‍යාපනයේ ස්වර්ණමය පෙරළිය ලෙස පෙන්වා දිය හැක්කේ රටේ අධ්‍යාපන ඇමැති ධුරය හෙබවූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා 1931-1947 යුගයේ රටේ දරුවන්ට විශ්වවිද්‍යාල දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නට තීරණය කරමින් නිදහස් අධ්‍යාපන ක්‍රමය රටට හඳුන්වා දීමය.
එතැන් සිට බෞද්ධ, හින්දු ආදී වශයෙන් ජාතීන් අනුවද ප්‍රබල පාසල් බිහි වන අතරේ රට පුරා මධ්‍ය මහා විද්‍යාල පද්ධතියක්ද ඇති වෙමින් මෙරට අධ්‍යාපනය ඉතා සාධනීය තැනකට ළඟා වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරන්නේය. එහෙත් එකී ආරම්භයේ මෙරට පාසල් අධ්‍යාපනය එවැනි උසස් මට්ටමකට පත් වෙමින් රටට වැඩදායක අනාගත පරම්පරාවක් බිහි කරන තැනක පැවතියද පසුකාලීනව ක්‍රමයෙන් සිදුවන්නට වූයේ කුමක්ද?
රටක අධ්‍යාපනය යනු ප්‍රවීණ විද්වතුන්ගේ සහභාගිත්වය ඇතිව අපේකම රැකගෙන ලෝකය ජය ගැනීමට හැකිවන පරිදි ඉදිරි දැක්මක් සහිතව ජාතික ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක විය යුත්තකි. එදා සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ දැක්ම අනුව මෙරට අධ්‍යාපනය එවැනි මානයකට ඔසවා තැබීමක් සිදු කෙරිණි.
එහෙත් ඉන් පසුව සිදු වූයේ කාලයෙන් කාලයට ඇමැතිවරු පැමිණ රටේ අධ්‍යාපනය භාර ගනිද්දී කාලයට සරිලන පරිදි ප්‍රතිපත්තිමය වශයෙන් අභිවෘද්ධිය පිණිස වෙනස්කම් සිදු කිරීම වෙනුවට ඇමැතිවරුන්ගේ ඔළු ගෙඩියේ තරමට අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගැනීමය.
ජාතික ප්‍රතිප්තිය වෙනුවට එහිදී පෙරෙමුණේ තිබුණේ අදාළ ඇමැතිවරුන්ගේ දේශපාලන ප්‍රතිපත්තීන්ය. ඇමැතිවරු එසේ හැසිරෙද්දී ඔවුන්ට නොදැනී වරින්වර විෂය නිර්දේශ සංශෝධනය කරමින් රටේ දරුවන් තුළින් මාතෘ භූමිය පිළිබඳ ඇති හැඟීම් මඟහරවන තැනටද කටයුතු සිදු විය. එසේ සිදු කෙරුණු ඇතැම් අවස්ථාවන්හි සිය පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හිස නවමින් ඇමැතිවරු නිහඬ විය. නැතහොත් සිදුවන දේ පිළිබඳ ඇති අනවබෝධය ඔවුන්ව නිහඬ කළේය.
ඇතැම් විට මේවා තුළින් ක්‍රියාත්මක වූයේ බලගතු විජාතික කුමන්ත්‍රණද විය හැකිය. එහෙත් ඒවා විචාරශීලීව වටහා ගන්නට වුවමනාවක් කිසිවකුත් තුළ නොවීය. රටට සහ රටේ අනාගතයට වඩා කාට කාටත් ලොකු වූයේ තවත් ණයක් ගෙන බාල් නැටීමය. අතීතයේ කිසියම් බාහිර වෘත්තීයමය දැනුමක්ද සහිතව ශ්‍රේණියෙන් ශ්‍රේණියට ඉදිරියට ගිය අපේ දරුවන් අද සහතික ලත් කොළ කෑලි උගතුන් වී සිටින්නේ මේ නිසා නොවේද?
එදා පාසලේ තිබූ වඩු වැඩ කාමරය, මැටි වැඩ කාමරය, සූපවේදය කියා දුන් ගෘහ විද්‍යා කාමරය සහ මෝටර් කාර්මික පුහුණුව ආදී වශයෙන් වූ විෂය බාහිර අධ්‍යාපනය අද පාසල්වලින් ගිලිහී යෑම එම තත්ත්වයට හේතුවී නොතිබේද?
අද මෙරට තුළ ගස් ගල් ගානේ උපකාරක පංති මාෆියාවක් බිහි වීමට ප්‍රබලම හේතුව වී තිබෙන්නේ ද මෙකී සහතික ලත් කොළ කෑලි උගතුන් බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය ය. දෙක සහ තුන ශ්‍රේණිවල සිට උසස් පෙළ දක්වා රට පුරා උපකාරක පංති ක්‍රියාත්මකය.
පහ ශ්‍රේණිය එළිපත්තට පැමිණි විගස දෙක තුන ශ්‍රේණිවල සිටින කුඩා දරු පැටවුන්ගේ සවස් කාලය ගෙවෙන්නේ උපකාරක පංතිවලය. ශිෂ්‍යත්වය ඔවුන්ගේ ඉලක්කය වී ඇත. ඔවුන්ගේ ළමා මනසට අවැසි නිදහස ඇත්තේම නැත.
අනතුරුව හය වැනි ශ්‍රේණියේ සිට නැවතත් ඔවුහු සවස් කාලය සහ සති අන්තය උපකාරක පංතිවල ගෙවා දමති. ඒ සාමාන්‍ය පෙළ ජයගෙන කොළ කෑල්ල ගැනීමටය. එසේ කොළ කෑල්ල ගන්න දරුවා ඉන්පසුව යන්නේ කොතැනකටද? උසස් පෙළටය. පවතින අධ්‍යාපන ක්‍රමය තුළ මෙකී උසස් පෙළට පිවිසීම යනු අද රටේ දරුවන් මංමුළා කරන කඩඉමක් වී නොතිබේද?
කවුරුන් කුමක් කීවත් මෙරට අධ්‍යාපන ක්‍රමය අනුව පැහැදිලිවම එය බහුතරයක් දරුවන්නේ අනාගත ජීවිතය ප්‍රශ්නාර්ථයක් කරන පිවිසුමක් බවට වර්තමානයේ පත්ව ඇත. සාමාන්‍ය පෙළ සමත් වන දරුවනට උසස් පෙළ සඳහා අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමි වන්නේ විෂය ධරාවන් පහක් ඔස්සේය.
එම වර්ගීකරණය සිදු කර තිබෙන්නේ ගණිතය, විද්‍යාව, වාණිජ්‍ය, තාක්‍ෂණවේදය හා කලා අංශය වශයෙනි. මෙහිදී යම් පාසලක සිසුන් උසස් පෙළට පෙනී සිටීමේදී එම විෂය ධාරාවන් අතරින් එකක් තෝරා ගැනීම කාලයක සිට සිදුවිය.
ඕනෑම පාසලක බහුතරයක් සිසුහු මෙහිදී ගණිතය, විද්‍යාව, සහ මීට තෙවසරකට පමණ ඉහතදී උසස් පෙළට හඳුන්වා දුන් ්තාක්‍ෂණවේදය වැනි විෂයයන් තෝරා ගැනීමට මැලිකමක් දක්වති. එයට හේතු වී තිබෙන්නේ එම විෂයයන් හැදෑරීම තරමක් සංකීර්ණ බවකින් යුතු වීමය.
ඒ අනුව සාමාන්‍ය පෙළ සමත් වන අතලොස්සක් සිසුන් ගණිතය, විද්‍යාව හා තාක්‍ෂණවේදය වැනි විෂයයන් උසස් පෙළට තෝරා ගනිද්දී තවත් පිරිසක් යොමු වන්නේ වාණිජ විෂය ධාරාවටය. සාමාන්‍ය පෙළ සමත් වන අති බහුතරයක තේරීම වන්නේ සිංහල හෙවත් කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමය. දරුවන් එසේ තෝරා ගැනීම සිදු කිරීමෙන් පසු එතැන් සිට ඇරඹෙන්නේ උසස් පෙළ ටියුෂන් බඩගෑමය. එහිදී උසස් පෙළ සහතිකය වෙනුවෙන් දෙමාපියෝ සබ්බ සකලමනාවම අමතර පංතිවලට වැය කරන්නාහ.
මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ කුමක්ද? දරුවෝ උසස් පෙළ ඉහළින් සමත්ව පාසලේ අධ්‍යාපනයේදී ගත හැකි අවසන් සහතිකයද ලබා ගනිති. ඉන් පසුව ඔවුන් යොමු වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයටය. ඒ අවස්ථාව සියලු දෙනාටම හිමි නොවෙති. විශ්වවිද්‍යාලයට යෑමට වරම් ලැබෙන්නේ ඉහළම ලකුණු ලබා ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් වන ඉසෙඩ් ලකුණු කඩඉමද සම්පූර්ණ කෙරූවන්ටය.
මේ අන්දමට එක් වර්ෂයකදී රට පුරා උසස් පෙළට පෙනී සිටි දරුවන් අතරින් සුළු පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවෙද්දී ඒ සඳහා වරම් අහිමි වන පිරිසට සිදු වන්නේ කුමක්ද? ඔවුන් අතරින් සීමිත පිරිසක් කරන්නේ නැවත උසස් පෙළට පෙනී සිටීමට සූදානම් වීමය.
අනෙක් පිරිසෙන් කොටසක් විවිධ රැකියාවලට යොමු වෙද්දී එවැනි අවස්ථාවක් පවා අහිමිව ඉච්ඡාභංගත්වයට පත්වන සෙසු කණ්ඩායමට අත්වන ඉරණම බවට පත්ව තිබෙන්නේ දස අතේ කල්පනා කරමින් තාරුණ්‍යයට මුහුණ දෙන හැටි සිතන්නටය. අද රට පුරා හන්දියක් හන්දියක් ගානේ ත්‍රිරෝද රථයක් තබාගෙන මහමඟ ජීවිතය විඳවන්නේ එසේ අතරමඟදී අධ්‍යාපනයෙන් ගැලවී යන රටේ තාරුණ්‍යය. මේ අතරින් ඇතැමෙක් සාමාන්‍ය පෙළ අසමත්ව අධ්‍යාපනයෙන් බැහැරට යන අතර සෙසු පිරිස උසස් පෙළ සමත්ව හෝ අසමත්ව එතැනට ඇද වැටෙන්නාහ.
එහෙත් සාමාන්‍ය පෙළ පංතියේ සිට විෂය සමගාමීව බාහිර විෂයක් ලෙසින් හෝ විදුලි කාර්මික ශිල්පය, මෝටර් කාර්මික ශිල්පය, ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය, සූපවේදය, කැමරාකරණය, පරිගණක හා ජංගම දුරකථන අලුත්වැඩියාව ආදී වශයෙන් වූ වෘත්තීය අධ්‍යාපනයක් සමඟ උසස් පෙළ අවසානය දක්වා වූ තෙවසරක කාලයේ සියලු දෙනා ඉදිරියට ගෙන ගියහොත් ඔවුන්ගේ ඉරණම එසේ විසඳෙනු ඇතිද?
සාමාන්‍ය පෙළ සිට නොව අවැසි නම් දරුවකු අට නවය ශ්‍රේණිවල සිට එවැනි වෘත්තීය දැනුමකට යොමු කෙරෙන තැන දක්වා මෙරට අධ්‍යාපන ක්‍රියාවලිය සකස් කරන්නට පැහැදිලි හැකියාවක් ඇත. එමගින් රටට දායාද වන්නේ විෂය බාහිරව යම් වෘත්තිය නිපුණතාවක් සහිත තාරුණ්‍යයකි. පස් වසරක් පුරා දරුවන් ලබන ඒ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් පිළිගත් සහතියක් පිරිනැමීමට හැකියාව ඇත. එහිදී පවතින විදේශීය ඉල්ලුම අනුව ඒ තාරුණ්‍යය රටේ ආයෝජනයක් ලෙස ලෝකයට ඉදිරිපත් කිරීමට අපට නොහැකි වේද? ඇතැම් විට උසස් පෙළ හදාරණ දරුවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වුවද ඒ දැනුම අපතේ යන්නේ නැත.
පාසල් අධයාපනයේ කතාව එසේ වෙද්දී අද මෙරට උසස් අධ්‍යාපනය ඇත්තේ කොතැනකද? විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දරුවන්ට උපදෙස් ලබාදීම පිණිස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් සකස් කළ උපදෙස් මාලාවක් අන්තර්ජාලයේ තිබී පරිශීලනය කිරීමට ඉකුත්දා අපට හැකි විය. එහිදී දරුවනට අදාළ විෂය සංකලනයන් තෝරා ගැනීමේදී ලබාදී ඇති උපදෙස් රාශියකි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් අන්තර්ජාලයට යොමු කර ඇති බැවින් එයට ලැබෙන්නේද අතිශය වැදගත්කමකි.
එහෙත් සියලු උපදෙස් දෙන අතරවාරයේ එම ලියවිල්ල අවසානයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එහි සඳහන් කර ඇත්තේ කුමක්ද? ඔවුන් පවසා ඇත්තේ අදාළ ලියැවිල්ලේ සඳහන් විෂය සංකලනයන්ට අමතරව විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඒ ඒ විශ්වවිද්‍යාල මගින් උපාධියේ වටිනාකම ඉහළ දමමින් රැකියා අවස්ථා ඇති කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන කොන්දේසිවලටද දරුවන් යටත් වන බවකි.
මෙයින් කියැවෙන්නේ කුමක්ද? නිවැරදි දේ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අවබෝධයක් නොමැති බවද? එසේ නැතිනම් කොමිසම අභිබවා විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන්නේ යැයි යන්නද? අපට නම් හැඟෙන්නේ රටේ උසස් අධ්‍යාපනය අද අයාලේ ගොස් තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින්ම එකී ලියැවිල්ලෙන් ලෝකයට ප්‍රකාශ කරන බවය.
වර්තමානයේ මෙරට අධ්‍යාපනය තුළින් සාර්ථක ලෙස වෘත්තිකයකු බිහි කෙරෙන්නේ වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, පරිගණක ඉංජිනේරු හා ගණකාධිකාරී ආදී වශයෙන් වූ අංශ කිහිපයකින් පමණි. විශ්වවිද්‍යාලවලින් බිහි කෙරෙන සෙසු බහුතරයක් උපාධිධාරීහු පොතේ දැනුම ලබා ගත් කොළේ උගත්තු වෙති.
වසරින් වසර උපාධිධාරීහු රැකියා ඉල්ලා ආණ්ඩුවලට එරෙහිව වීදි බසින තත්ත්වයක් මෙරට තුළ නිර්මාණය වී තිබෙන්නේද එම තත්ත්වය හේතුවෙනි. විශේෂයෙන් කලා විෂය ධාරාවන්ගෙන් උපාධිය හදාරණ අති බහුතරයක් දෙනා සිටින්නේ රැකියා විරහිත කොටසේය. උපාධිධාරියකු බිහි කිරීමට මහජන මුදල් ලක්‍ෂ ගණනාවක් වැය කර ලැබෙන අවසන් ප්‍රතිඵලය ඇත්තේ එතැන නම් ඒ අධ්‍යාපනයෙන් රටට ඇති වැදගත්කම කුමක්ද?
මෙසේ පොතේ අධ්‍යාපනයෙන් බිහි කෙරෙන උපාධිධාරීහූ දේශපාලනඥයනට ජනප්‍රිය වීම සඳහා සිතෙන කාලයක රැකියාවක් ලබා දෙන ජීවීන් කොටසක තත්ත්වයට අච පත්ව සිටිති. ඡන්දයක් හෝ වෙනත් දේශපාලනඥයනට වැදගත් යමක් වේ නම් වහා ඔවුහු කඩදාසි සහතික ලත් උපාධිධාරීන් පිරිසකට රජයේ රැකියා ලබා දෙන්නාහ.
වර්තමානයේ රජයේ ආයතනවල සංවර්ධන නිලධාරීන් ලෙස සිටිනුයේ එවැනි පිරිසකි. දේශපාලනඥයෝ ඔවුනට සංවර්ධන නිලධාරී ලේබලය අලවා රජයේ රැකියාවක් ලබා දුන්හ. එහෙත් සංවර්ධන නිලධාරීන්ට කිසිසේත්ම රාජ්‍ය සේවයේ ඉදිරි ගමනක් නැත. ඔවුහු සදාකාලිකවම සංවර්ධන නිලධාරීහුය. මේ සිදුව ඇත්තේ නිවැරදි දේද?
වර්තමානයේ ලෝක රැකියා වෙළෙඳ පොළේ වෘත්තීය මට්ටමේ හෙදියනට තිබෙන්නේ ඉහළ ඉල්ලුමකි. එසේ ඉහළ ඉල්ලුමක් තිබුණද ඒ සඳහා ආයෝජනය කරන්නට අපට හෙදියෝ නොවෙති. මෙවැනි තත්ත්වයක් අද රට තුළ පවතින්නේ මෙරට විශ්වවිද්‍යාල ගණනාවකින් උපාධිධාරී හෙදියන් බිහි කරමින් තිබියදීය.
ජීව විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ හැදෑරීමෙන් පසු සමත් වන සිසු දරු දැරියනට අදාළ විශ්වවිද්‍යාලයක හෙද පාඨමාලාවට ඇතුළත් විය හැකිය. එහිදී උපාධිය සඳහා වන කාලය වසර තුනක් හෝ හතරකි. එහෙත් ඇය හෝ ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කරමින් සාර්ථකව හෙද උපාධිය ලබා ගත්තද ඒ කිසිවකුටත් මෙරට රෝහලක හෙදියක ලෙස සේවය කිරීමට අවස්ථාවක් නැත. එයට හේතුව වී තිබෙන්නේ අදාළ උපාධිය හැදෑරීමේදී ඔවුනට ප්‍රායෝගික පුහුණුවක් නොලැබීමය.
මෙරට රෝහල්වලට හෙදියන් ලෙස බඳවා ගනු ලබන්නේ හෙද විදුහලක සිව් වසරක් අධ්‍යාපනය හදාරා හෙද ඩිප්ලෝමාව ලබා ගන්නා පිරිසය. විශ්වවිද්‍යාලවලින් බිහි කරන උපාධිධාරී හෙදියනට සිදුව තිබෙන්නේ යාන්තම් පෞද්ගලික රෝහලක හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක නුපුහුණු හෙදියක ලෙස සේවයට එක්වී එන්නත් කටුවේ සිට ප්‍රායෝගික දැනුමක් ලබා ගනිමින් ඉදිරියට යන්නය.
මේ මරි මෝල් ක්‍රමවේදය කවුරුන් විසින් රටට හඳුන්වා දුන්නක් දැයි අපි නොදනිමු. අපට නිකමට මෙන් සිතෙන්නේ රටේ උසස් අධ්‍යාපනයට හෙද උපාධිය හඳුන්වා දෙන්නට ඇත්තේ තණමල්විල සිට පැමිණි අයකු විය හැකි යැයි කියාය. එසේ නොවේ නම් මේ අන්දමට මහජන ධනය වනසන දේ කරන්නට හැකි වන්නේ අංගොඩින් පැන ආ අයටය.
අද රට ඇත්තේ ආර්ථික අර්බුදයක සිරවීය. එසේ වෙද්දීත් අධ්‍යාපනය ඇත්තේ මෙවැනි තැනක් නම් රටේ තරුණියන් ඇඟලුම්හල්වල සන්නාලියන් සහ මසාජ් කඩවල කඳන් මිරිකන්නියන් වීම හැර වෙන කුමක් සිදුවන්නද?
උසස් පෙළ කඩ ඉමේදී අපේ දරුවන් ජීව විද්‍යා අංශයට යොමු නොවන්නේ එහි ඇති අතිශය සංකීර්ණ තත්ත්වය හේතුවෙනි. සත්‍ය එය නම් උසස් පෙළට හෙද, විකිරණ ශිල්පී, රසායනාගාර පරීක්‍ෂක ආදී වශයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සෙසු වෘත්තීයවේදීන් බිහි කෙරෙන ආකාරයේ විෂය ධාරාවක් අලුතින් ඇතුළත් කර ඒ හරහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් උපාධිධාරී වෘත්තිකයන් පිරිසක් බිහිකරන තැනට රටේ අධ්‍යාපනය පරිවර්තනයකට ලක් කළහොත් මේ රටට අවැඩක් සිදුවනු ඇතිද?
කිසිසේත්ම නැත. එසේ කළහොත් සිදු වන්නේ රටේ තාරුණ්‍යයට අරුතක් ලැබීමය. නව වැනි ශ්‍රේණියේ පමණ සිට අපේ දරුවන් ඒ අන්දමට විවිධ වෘත්තිකයන් ලෙස ඉදිරියට ගෙන යෑමේ ක්‍රමවේදයකට අධ්‍යාපනය සැකසීමේ අත්‍යවශ්‍යම කාලයට දැන් අප ළඟා වී අවසන්ය.
සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළින් පමණක් නොව විවිධ වෘත්තික ක්‍ෂේත්‍රයන් ඔස්සේ ඒ අන්දමට අපේ දරුවන් වෘත්තික මට්ටම දක්වා ගෙන ඒම අතිශය වැදගත් වන්නකි. එහිදී රට තුළ නිරන්තරයෙන් බිහි වන්නේ පුහුණු උගත් වෘත්තික මට්ටමේ තාරුණ්‍යයකි.
එය සිදු කෙරුණහොත් රැකියා ඉල්ලා ආණ්ඩුවලට එරෙහිව වීදි බසින උපාධිධාරීහු බෙහෙතකටවත් සොයා ගැනීමට නොමැති වනු ඇත. අත්වන වාසිය එපමණක්ද? නැත. එසේ කළහොත් විවිධ දේශපාලන ඉලක්කවලට අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගොදුරු කර ගැනීමට ඇති අවස්ථාවද අවම වනු ඇත. එසේ නම් මේ පෙරළිය රටේ අධ්‍යාපනය තුළට කාවද්දන්නට මෙරට උගතුන්, විද්වතුන් හා වියතුන් සූදානම්ද?
ඔවුන් සූදානම් නම් දේශපාලනඥයන්ගෙන් ඇති වැඩක් නැත. අවැසි දේ කළ හැකිය. අවශ්‍ය වන්නේ යමක් කළ හැකි ආචාර්ය මහාචාර්යවරු පොතේ දැනුම පසෙක තබා ප්‍රායෝගිකව පෙරට ඒමය. එසේ වුවහොත් දූෂණය හැර වෙනත් මෙලෝ දැනුමක් නැති බොහෝ දේශපාලනඥයන් නිහඬ කර අරමුණ වෙතට රට ඇදගෙන යෑමට ඉතා පහසුය. එහිදී වාසනාවන්ත වන්නේ මේ රට නොවේද?
සමන් ගමගේ