යුක්තියේ මෙහෙයුමෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය වනාතවිල්ලුවේ තාප උඳුනේ විනාශ කරයි

1

ඉකුත් කාලය පුරා යුක්තියේ මෙහෙයුම ඇතුළු විවිධ මෙහෙයුම් යටතේ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් කළ කෝටි විස්සකට ආසන්න වටිනාකමකින් යුත් නීති විරෝධී හෙරොයින්, අයිස්, කොටමින් ඇතුළු තවත් විෂ මත්ද්‍රව්‍ය කිලෝ 1200ට ආසන්න ප්‍රමාණයක් (29දා) වනාතවිල්ළුව පුබුදුගම ලැක්ටෝ වතුයායේ ඉදිකර ඇති අධිබලැති තාප උදුනෙහි බහා දහනය කර විනාශ කිරීමට කටයුතු කරන ලදී.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව දීප ව්‍යාප්තව කළ වැටලීම් වලින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්, අයිස්, කොටමින් ඇතුළු තවත් විෂ මත්ද්‍රව්‍ය කිලෝ 1200ට ආසන්න ප්‍රමාණයක් බවත්, මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පැවති නඩු අවසන් කිරීමෙන් පසු කොළඹ මහාධිකරණයේ සිට දැඩි ආරක්ෂාව මධ්‍යයේ මෙම මත්ද්‍රව්‍ය තොගය පුත්තලම, වනාතවිල්ලුව, පුබුදුගම ලැක්ටෝ වතු යායට රැගෙන ඒමෙන් අනතුරුව පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ එහි ඉදිකර ඇති තාප උදුන ආධාරයෙන් දහනය කර විනාශ කිරීම සිදු කළේය.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ශ්‍රීලංකා පොලිසිය හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව හා බුද්ධි අංශ විසින් සිදුකරන ලද වැටලීම් වලින් අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය වන අතර, එහිදී අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 614ක්, කොටමින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 581ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 14ට ආසන්න ප්‍රමාණයක් පාර්සල් වශයෙන් රැගෙනවිත් ඒවා නැවත පරික්ෂා කිරීමෙන් අනතුරුව රසායනික පරික්ෂණයකට භාජනය කර දහන උදුන ආධාරයෙන් විනාශයට ලක් කිරීම සිදු කෙරුණි.

එම අවස්ථාව සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරින්, මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරින්, රජයේ රස පරීක්ෂක ඇතුළු පුත්තලම වනාතවිල්ලුව ඇතුළු පොලිස්ථාන රැසක පොලිස් නිලධාරීන් සම්බන්ධ වී සිටියේය.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ, අමරනන්ද විජේසේකර -මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment