යුද්ධයට කාලයක් තිබේද?

929

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවත්නා කරුමක්කාර යුද්ධය නවත්වන සටන් විරාමයක් ඉල්ලා සාමයට ප්‍රියකරන ලෝකවාසී ජනතාව පසුගියදා හඬ නැගුවේය. ලෝකයේ කිසියම් තැනක යුද්ධයක් පවතින විට එය එම කලාපයට පමණක් නොව හතර වටේටත් බලපායි. මෙයට හේතුව 1970 න් පසු ලෝකයේ රටවල් එකිනෙක සමග බැඳී එක network එකක් බවට පත්වීමය. මැදපෙරදිග පළාත්වල යුද්ධයක් තිබෙන විට තෙල් මිල ඉහළ යයි. යුරෝපය පැත්තේ යුද්ධයක් තිබෙන විට තිරිඟු මිල ඉහළ යයි. ආසියාව පැත්තේ යුද්ධයක් තිබෙන විට ඉහළ යන්නේ ඒ පළාත්වල ජනතාවගේ රුධිර පීඩනය පමණි. කෙසේ හෝ වේවා හමාස් සංවිධානය සමග යුද කිරීම තාවකාලිකව නවත්වන ලෙස ඊශ්‍රායල් අගමැති බෙන්යමින් නෙතන්යාහුගෙන් ඉල්ලා සිටින ලද කල්හි ඔහු කීවේ මෙය යුද්ධයට සුදුසු කාලය බවයි. සාමයට වෙනම කාලයකුත් යුද්ධයට වෙනම කාලයකුත් ඇති බව බයිබලයේ සඳහන්ව තිබෙන බවද නෙතන්යාහු තවදුරටත් සඳහන් කර ඇත. ඊශ්‍රායල්කාරයෝ යුද්ධයටම උපන් මිනිස්සු වෙති. එසේම දැනට සිටින ඊශ්‍රායල් අගමැති බෙන්යමින් නෙතන්යාහු ද සෙල්ලම් භාණ්ඩයක් නොවේ. 1976 දී පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන් තොටුපළින් පිටත් වූ එයාර් ෆ්‍රාන්ස් ගුවන් යානයක් පැහැරගෙන එය උගන්ඩාවේ එන්ටබේ ගුවන් තොටුපළට රැගෙන ගොස් ගුවන් මගීන් ප්‍රාණ ඇපයට ගත්තේය. ඊශ්‍රායලයේ සිටින පලස්තීන ත්‍රස්තවාදීන් සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නේ නම් එයාර් ෆ්‍රාන්ස් යානයේ සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන බවත් නැත්නම් ප්‍රාණ ඇපකරුවන් එකා බැගින් මරණ බවත් පලස්තීන ගරිල්ලෝ ප්‍රකාශ කළහ. මේ යානයේ සිටින මගීන් බේරාගෙන ඒම සඳහා 1976 ජූලි 4 දා ඊශ්‍රායලයේ හමුදාව operation thunderbolt යනුවෙන් මෙහෙයුමක් දියත් කළේය. මේ මරාගෙන මැරෙන මෙහෙයුමේ නායකයා ලෙස යොනතන් නෙතන්යාහු නමැති තරුණ ආමිකාරයා පත්කරන ලදි. ඉතා සාර්ථක ලෙස එම මෙහෙයුම ක්‍රියාත්මක කළ යොනතන් නෙතන්යාහු ප්‍රාණ ඇපකරුවන් සියලුම දෙනා නිදහස් කරගත් නමුත් මෙහෙයුම මැදදී පලස්තීන ගරිල්ලකුගෙන් වෙඩි කා මළේය. අන්තිමට පණ පිටින් සිටින ප්‍රාණ ඇපකරුවන් තොගයත් යොනතන් නෙතන්යාහුගේ මළ මිනියත් යන දෙකම එකම ප්ලේන් එකේ ඊශ්‍රායලයට ගෙන්වනු ලැබීය. දැනට සිටින ඊශ්‍රායල් අගමැති බෙන්යමින් නෙතන්යාහු යනු ඔය කියන යොනතන් නෙතන්යාහුගේ මලණුවෝ ය. දක්ෂ සෙබළකු වූ බෙන්යමින් නෙතන්යාහු කවදත් ඉන්නේ පලස්තීන ගරිල්ලන් කෙරෙහි වූ බද්ධ වෛරයෙනි. ඒ නිසා මළ මිනී කඳු පිට කඳු ගොඩගැහුණත් ඔහු මේ යුද්ධය නවත්වන්නේ නැත. හමාස් සංවිධානය මේ වෙලාවේදී පටන්ගෙන ඇත්තේ මෝඩම යුද්ධයකි. මීට අවුරුදු 50 කට පෙර ඊශ්‍රායලය වටේ සිටින අරාබි රටවල් සමග එක්ව ඊශ්‍රායලය අතුගා දැමීම සඳහා ඉස්ලාමීය ත්‍රස්තවාදීන් එල්ල කළ ක්ෂණික යුද්ධයක් සමරනු පිණිස පසුගියදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලය තුළ ක්ෂණික විහිදුම් ප්‍රහාරයක් එල්ල කළේය. හමාස් සංවිධානය කළ යුතුව තිබුණේ පෙරකී යුද්ධය සැමරීම සඳහා රතිඤ්ඤා වැලක් පත්තු කිරීම මිස ඊශ්‍රායලය සමග යුද්ධයට යෑම නොවේ. ඊශ්‍රායලය සමග යුද කොට ජයග්‍රහණය කිරීමට හමාස් සංවිධානයට බැරි ය. හමාස් පමණක් නොව පලස්තීනයට අල්ලපු රට වූ ලෙබනනයේ සිටින ජෙහාඩ් සංවිධානයේ සෙබළුන් සමග එක්වීවත් ඊශ්‍රායලය බිම දැමීමට හමාස් සංවිධානයට නොහැක. යුද්ධය නිසා සෑම කල්හිම කරදරයට පත්වන්නේ තුවක්කුවක් අතින්වත් අල්ලා නැති සාමාන්‍ය ජනතාවය. මෙවර ඊශ්‍රායල-හමාස් යුද්ධයේදී එය එසේම සිදුවෙමින් පවතී. පසුගිය ඔක්තෝබර් 7 දා ඊශ්‍රායලයට කඩාවැදුණු හමාස් ත්‍රස්තවාදීහු ඊශ්‍රායල ජාතිකයන් 1500 ක් පමණ ඝාතනය කළේය. ඊට පිළිතුරු වශයෙන් අද දක්වා ඊශ්‍රායලය මැරූ පලස්තීන ජාතිකයන් ගණන දස දහසකි. බෙන්යමින් නෙතන්යාහු යනු ස්වකීය ආත්මාභිමානය සහ රටේ යුද අභිමානය ගැන තදේටම හිතන කෙනෙකි. ඒ නිසා ඔහු මේ යුද්ධය නවත්වන්නේ නැත.

මේ යුද්ධය නවතින්නට තරම් විශේෂ හේතුවක් ද නැත. ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය ඇතුළු බටහිර ලෝකයේ බලගතු ප්‍රජාව මේ මොහොතේදීත් ඊශ්‍රායලය සමග සිටිති. ඒ අතර රුසියාව සහ සිරියාව ඇතුළු අරාබි රටවල් කිහිපයක් එළිපිට ද තවත් අරාබි රටවල් කිහිපයක් රහසේ ද හමාස් සංවිධානයට උදව් කරති. මේ නිසා ඇත්ත යුද්ධ භූමිය තුළ සිටින්නේ පලස්තීනය සහ ඊශ්‍රායලය නොව ඇමරිකාව සහ රුසියාව ය. මේ ලෝකයේ සිටින බලගතු ජාතීහු මෙවැනි සංග්‍රාම හරහා තමන් අලුතින් හැදූ අවි ආයුධ test කිරීම ද සිදු කරති. ඊශ්‍රායලය විසින් අලුතින්ම සාදන ලද පැකිංවත් කඩා නැති මිසයිල මේ යුද්ධය සඳහා යොදාගනු ලැබේ. ඒවායේ මිල ඉතා අධිකය. ඒත් හමාස් සංවිධානය යුධ අවි තනන්නේ ඉතා ලාබෙටය. ගෙදර දොරේ පාවිච්චි කරන සීනි, රසායනික පොහොර වර්ගයක් සහ තවත් ජාති එකක් දෙකක් මිශ්‍රකර ඔවුහු ඉතා ලාභ මිසයිල තනති. මේ ලාභ ගතිය නිසා යුද්ධය දීර්ඝ කාලයක් ඇදගෙන යෑමට හමාස් සංවිධානයට පුළුවන. ඒ අනුව මේ යුද්ධය තවත් සෑහෙන කලකට නැවතීමට කිසිම හේතුවක් නැත. යුද්ධය සඳහා වෙනම කාලයක් තිබෙන බවට ශුද්ධ වූ බයිබලය සඳහන් කර ඇති බවක් අප නම් පිළිගන්නේ නැත. සමහරවිට මේ යුද්ධය කාලීන සහ සාධාරණ යුද්ධයක් ලෙස පෙන්වීම සඳහා ඊශ්‍රායල් අගමැති බයිබල් පාඨ උපුටා දක්වනවා ඇති. කොහොම වුණත් මේ යුද්ධය දික්වන තරමට අපේ බඩගින්න වැඩි දියුණුවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment