රටක ජන නායකයකු බිහිකරන්නේ එම රටේ ජනතාව විසිනි. ජනතාව විසින් බිහිකරන ජන නායකයා රටත් ජනතාවත් වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටී.
මීට වසර 32කට පෙර සාහසික ලෙස ප්‍රහාරයකට ලක්වී අප අතරින් වියෝ වූ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා රටටත් ජනතාවටත් සුවිශාල සේවයක් කළ ජනතා සේවකයකු මෙන්ම ජනහිතකාමී නායකයකු ලෙස හැඳින්වීම වටී.
තරුණ කාලයේදීම ශ්‍රී සුචරිත ව්‍යාපාරය ආරම්භ කොට සුචරිතවත් සමාජයක් හා සමාජ සේවාවක් සිදුකිරීමට මුලපිරූ ප්‍රේමදාස මහතා ජනතාව අතර ක්‍රමක්‍රමයෙන් ජනප්‍රියතාවට පත්විය.
කම්කරු නායකයකු වූ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ අඩිපාරේ යමින් පොදුජන සේවයට අවතීර්ණ වූ එතුමා මැද කොළඹ ආසනයේ නිව් බසාර් කොට්ඨාසයෙන් කොළඹ මහ නගර සභාවට නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් පත්ව ඉන්පසු නියෝජ්‍ය නගරාධිපතිවරයකු ලෙස ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද, නියෝජ්‍ය ඇමැතිවරයකු හා ඇමැතිවරයකු ලෙස ද පත්වී ජනාදරය දිනා ගැනීමට සමත් විය. ඉන්පසු අග්‍රාමාත්‍ය ධුරයට සහ රටේ ඉහළම තනතුර වන විධායක ජනාධිපති ධුරය සඳහා පත්වූ මෙතුමා දේශපාලන දිවියේ ඉහළම තත්ත්වයට පැමිණියේ අභියෝග රැසක් ජය ගනිමිනි.
තම දේශපාලන දිවිය පුරාම ජන දුක හඳුනන නායකයකු ලෙස ඔවුන් සඳහා උපරිම සේවාවක් සිදු කළේ කුඩා තැනක සිට ආරම්භ කොට සාමාන්‍ය ජනතාව අතර ජීවත්ව පොඩි මිනිසාගේ දුක වේදනාව හා හදගැස්ම අවබෝධ කරගත් නිසාවෙනි. දවසේ වැඩි කාලයක් ජනතා සේවය වෙනුවෙන් කැපකළ රණසිංහ ප්‍රේමදාස මහතා රාජ්‍ය නිලධාරීන්ගෙන් උපරිම සේවාවක් ලබාගැනීමට සමත් විය.
මාධ්‍ය තුළින් රටේ කොතැනක හෝ අඩුපාඩුවක්, කරදරයක්, අගහිඟතාවක් පෙන්වා දුන් විට සැණෙකින් ඒවාට විසඳුම් ලබාදීමට පියවර ගත් අතර ඒ නිසාම රාජ්‍ය නිලධාරීන් අලුයම හතරේ සිට තම දුරකථනය අබියසට වී රැඳී සිටිනුයේ ප්‍රේමදාස මහතාගෙන් කොයිවෙලේ හෝ ඇමතුමක් ලැබේදෝ යන අපේක්‍ෂාවෙනි.
දිනක් අලුයම හතරට මා ලිපියක් භාරදීමට ගුණසිංහපුර සුචරිත ශාලාවට ගියෙමි. ඒ ලිපියේ අඩංගු වූයේ මැද කොළඹ ආසනයේ නිව් බසාර් නාගරික කොට්ඨාසයේ 180 වත්තේ අඩුපාඩු හා දුෂ්කරතා නවයක් පිළිබඳව ය. හිමිකමක් නොමැති පැල්පත්වාසීන්ගේ සනීපාරක්‍ෂක අඩුපාඩු, පැල්පත්වාසීන්ට හිමිකම් පත්‍ර ලබාදීම, මාර්ග පහසුකම් ඇති කිරීම එම ඉල්ලීම් අතර සමහරකි. එදිනම උදේ 10 වනවිට ප්‍රේමදාස අගමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මා හමුවීමට පැමිණි අතර එවකට අගමැතිවරයා වූ ප්‍රේමදාස මහතාට අලුයම මා විසින් භාරදුන් ලිපිය ඔහු අත තිබිණි. එකක් හැර, ඉල්ලීම් අටකට රතු පෑනෙන් හරි දමා තිබූ අතර මේ පිළිබඳව නොපමාව වාර්තාවක් සපයන්නැයි අගමැතිතුමා එතුාමට කියා තිබිණි. මාස තුනක් ඉක්මවීමට පෙර 180 වත්තේ අඩුපාඩු සියල්ල සම්පූර්ණ විණි. අනවසර පැල්පත්වාසීන්ට කුටුම්භ පතක් සහ නිවසක් සාදා ගැනීමට නිවාස අධිකාරිය මගින් ණය මුදලක් ලැබිණි. අද එම ජනතාවට තමන්ට අයත් නීත්‍යනුකූල නිවෙස්වල නිදහසේ කල්ගත කිරීමට වාසනාව අත්වූයේ ප්‍රේමදාස මහතාට පිං සිදුවන්නට ය. යම්කිසි ඉල්ලීමක් කළ විට සමහර දේශපාලනඥයන් මෙන් එය මගහැර යෑම, අමතක කිරීම, කල් තැබීම මොහු සතු නොවූවකි.
සමස්ත ශ්‍රී ලංකාවම වැළඳගත් නිවාස සංකල්පය වූයේ, සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ආරම්භ වූ ගම්උදා වැඩසටහනයි. විවිධ පළාත්වල ගම්උදා සංකල්පය ආරම්භ කෙරුණු අවස්ථාවේදී එම ප්‍රදේශයේ නැති බැරි ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම, මහමාර්ග සංවර්ධනය කිරීම ආගමික ස්ථාන වැඩිදියුණු කිරීම, ප්‍රජාශාලා ඉදිකිරීම, වන වගා ඇති කිරීම එම වැඩසටහනට අයත් වූ ක්‍රියාදාමයන් ය.
කුමන පක්‍ෂයක හෝ වේවා, කුමන තරාතිරමක අයකු හෝ වේවා ඔහු දක්‍ෂයකු නම්, ක්‍රියාශීලි අයකු නම් ඔහුගෙන් යම් සේවාවක් ලබාගැනීමට ඔහු සමත් විය. දිනක් මා මිතුරකු ප්‍රේමදාස මහතා හමුවී මා බැහැදැකීමට පැමිණියේ ලිපි ගොනුවක් අතැතිව ය. ඔහු මා සමග කීවේ ජනසවියේ මුදල් විශාල ප්‍රමාණයක් ඇති බවත් එම මුදල් නිලධාරීන්ගේ හා කාර්යාලවල වියහියදම් සඳහා වියදම් කරනවා විනා එම මුදල් ගමට සහ ජතාවට සේවාවක් සැලසීමට යෙදවීමට අසමත් වී ඇති බවයි. එම නිසා එම මුදල්වලින් ගමට සහ ජනතාවට සෙතක්, ප්‍රයෝජනයක් සැලසීම සඳහා යම් වැඩපිළිවෙළක් යොදන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි බව කීවේය. මාගේ උපදෙස් ඇතිව දිවයින පුරාම ව්‍යාපෘති 15,000ක වැඩසටහන දියත් කළේ ඒ අනුවය. එමගින් ගමේ ආගමික නායකයන්, ප්‍රජා නායකයන් ග්‍රාමසේවා නිලධාරීන් යන අයගෙන් සමන්විත කුඩා කමිටුවක් පිහිටුවාගෙන ගමේ ප්‍රධාන අවශ්‍යතාවක් ඉටුකිරීමට එම කමිටුවේ යෝජනා හා මැදිහත්වීම් අනුව ජනසවියේ මුදලින් ප්‍රයෝජනයක් ගැනීම මෙහි අරමුණ විය. එය ඉතා සාර්ථක වැඩපිළිවෙළක් විය.
රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලාංකික දේශපාලන ක්‍රියාවලියේ විශාල පරිවර්තනයක් සිදුකළ අයෙකි. මේ රටේ දේශපාලන ව්‍යුහයේ ජනාධිපති, අගමැති ආදී ඉහළම දේශපාලන තනතුරු හිමි වූයේ එක් කුලයකට, පන්තියකට, ප්‍රදේශයකට හා පරම්පරාවකට ය. එය ඛණ්ඩනය කළ එකම නායකයා වූයේ ප්‍රේමදාස මහතා ය. ඉතාමත් අධිෂ්ඨානශීලීව හා පියවරෙන් පියවර විශාල අභියෝග මැදින් එම අරමුණ ශාක්ෂාත් කරගැනීමට සමත් වූ මෙතුමා දේශපාලන ඉතිහාසයේ නිතැතින්ම රන් අකුරෙන් ලියැවෙන බව නොඅනුමානය.
රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලන දර්ශනය අනුගමනය නොකළ භික්ෂුවක් වූ මා එහෙත් ඔහුගේ ගති පැවතුම්වලට සහ සමාජ දර්ශනයට කැමැත්තක් දැක්වූයෙමි. එම නිසාම මහත් දේශපාලන පරිවර්තනයක් ඇති කළ මෙම අපූරු යුග පුරුෂයා විධායක ජනාධිපති ලෙස පත්වූ පසු මහනුවර දළදා මැඳුරේ පත්තිරිප්පුවේ සිට දිවුරුම් දී ජාතිය අමතා කතා කරන අවස්ථාව දැකබලා ගැනීමට එහි වැඩම කළේ එම ඓතිහාසික දේශපාලන පරිවර්තනයේ ආස්වාදය ලබාගනු පිණිසමය.
නායකයකුට තිබිය යුතු නිහතමානිත්වය, සංවිධාන ශක්තිය, අභියෝගවලට මුහුණදීම, අනුන්ට සවන්දීම, පිළිවෙළකට වැඩ කිරීම, තම ජීවන චර්යාව සෞඛ්‍ය සම්පන්න ලෙස හසුරුවා ගැනීම මොහු සතුව ඉහළින්ම තිබුණි.
තමන්ට උදව් උපකාර කළ හිතවත්කම් දැක්වූ අයට කෘතගුණ සැලකීම මොහු සතු ඉහළම ගුණාංගය විය. රටේ කොයි කොනක හෝ තමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන හැම උත්සවයක්ම පැවැත්වෙන දිනට පෙර දින රාත්‍රි එහි සංවිධාන කටයුතු මැනවින් ඉටුකර ඇත්දැයි අධීක්‍ෂණය කිරීම මොහු අතින් නිතැතින් සිදුවුණි. හැම කාර්යයකදීම විමසිලිමත්වීම, ඉන් ලැබෙන ප්‍රතිඵල උරගා බැලීම විශේෂයෙන් සිදුවූවකි.
ජන දුක හඳුනන රටට ආදරය කරන සැබෑ ජනතා සේවයට කැප වූ මෙබඳු ජන නායකයන් විරලය. රටේ පැවැත්ම බහුමික අඛණ්ඩතාවය, සාමය සහජීවනය,
සෞභාග්‍යය, මැදහත් විදේශ ප්‍රතිපත්තිය, දේශප්‍රේමිත්වය, ජනතා ආදරය දිනා ගැනීම යන සංකල්ප වලින් සහ සාරධර්ම වලින් මෙන්ම ගුණධර්ම වලින් පිරිපුන් නායකයකු රටට බිහිවන්නේ ඉතා කලාතුරකිනි.
එවන් නායකයකු මතු මතු ද බිහිවනු දැක්ම අපේ ප්‍රාර්ථනයයි.
පූජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස මහනායක ස්ථවිර
පොදු ජන විඥානය හඳුනාගත් ඔහු….
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් අභාවප්‍රාප්ත වී 2025 මැයි මස 01 දිනට වසර තිස් දෙකක් සපිරේ. සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාදාමයෙන් බැහැර වූ ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන් අවධානය යොමු කරනු ලැබුවේ මෙරට ජීවත්වන දුගී දුප්පත් ජනතාව කෙරෙහියි. ඔවුන් දිනා ගැනීම යනු රට දිනා ගැනීම බව දැඩිව විශ්වාස කළ ප්‍රේමදාස මැතිතුමා සිය දේශපාලන දිවි පෙවෙත තුළ ඉටු කළ බොහෝ ක්‍රියාකාරකම් තුළින් උත්සහ ගනු ලැබුවේ දුගී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමටය. ඒ සඳහා ඔහු අනුගමනය කළ බොහෝ ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික පරිපාලන ක්‍රමවේද හෝ දේශපාලන ක්‍රියාකාරකම් තුළ නොදුටු නව හඳුනාගැනීම් විය.
සමාජය තුළ ඇති නැති බේදය හඳුනාගැනීමට හොඳම සාධකය පුද්ගලයා මුල්කොට ගත් පවුලේ ජීවත් වන නිවසකි. නැති බැරි අය පැල්පත් හෝ තාවකාලික නිවහනෙන් ඇති හැකි අය ස්ථිර නිවහනක් ජීවත්වීම සමාජ සම්මතයයි. මෙය වඩාත් නිවැරදිව තේරුම් ගත් ප්‍රේමදාස මැතිතුමා දුප්පත්කම දුරු කරලීම උදෙසා සහ දුප්පතුන්ට සහාය වීමට නිවහන දායක කර ගනු ලැබීය. ගෙයක් දොරක් නොමැතිව හිටි අසරණ පවුල් ලක්ෂ ගණනකට ගම් උදාව වැඩපිළිවෙළ යටතේ නිවාස ලබාදුන්නේද ඔහුයි. පොල් අතු පැලක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්කු නිවසක වැස්සට නිසි ආවරණයක් නොමැතිව හරි හැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි ලෙස සංවේදී වූ නායකයා ඔහු විය. පූට්ටු ගෙවල්, අක්තම් නිවාස, නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය, නිවාස පහළොස් ලක්ෂය, ජාත්‍යන්තර නිවාස වසර ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.
ජනසවිය මේ පොළෝ තලයේම ජනිත වූ සංකල්පයකි. දුප්පතුන් නිවැරදිව හඳුනාගනිමින් එය ක්‍රියාවට නැඟුණේ තුන් වේල කෑමට අවකාශ නොමැති අප සමාජයේ දරු පවුල් සඳහාමයි. සෙවන මාපිය කැප කරු ක්‍රමය ක්‍රියාවට නැඟුණේ මවුපියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කිරීමටය.
පාසල් දිවා ආහාර වේල ක්‍රියාවට නැඟුණේ හරි කෑම වේලක් නොමැතිව පාසලට පියමන් කරන දරුවන් උදෙසාමය. පාසල් නිල ඇඳුම් වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟුණේ දහස් ගණන් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැර යන දරුවන්ට පිහිට වෙන්නටය.
මාවතේ අපි වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟුණේ මහමඟ සිඟමන් යදින පවුල්වල ජීවිතවලට අභිමානයක් ලබාදෙමින් ඔවුන් නඟාසිටුවීමටය. උණ බම්බු ගේට්ටු වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟුණේ දුම්රිය හරස් මාර්ගයන්හි දී දිනපතා නිරපරාදේ රට පුරා අවදානමට ලක්වන මිනිස් ජීවිතවලට ආරක්ෂාව ලබාදෙන්නටය. ජනපති ජංගම සේවා රට පුරා ගෙන ගියේ දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගැනීමට නොහැකි ජනතාව වෙනුවෙන් එම දේශපාලන නායකයන් ජනතාවගේ දෙපා ළඟට ගෙන යෑම පිණිසයි.
ඔහු ළඟ නැහැ බැහැ වචන නොවීය. පුංචි මිනිසා පිළිබඳ ඔහු සෑමවිට ම සංවේදී විය. සෙවණ අරමුදල ද රජයේ ප්‍රතිපාදන හරහා ඉටු කළ නොහැකි ජනතා සේවාවන්ට අනුග්‍රහ ලබාගත හැකි මූලාශ්‍රයන් ලෙසින් ඔහු සැලකීය. ආගමික අමාත්‍යාංශ ආරම්භ වූයේ, සෑම ආගමකටම සාධාරණය ඉටු කරන්නටය.
ඔහු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදයට ඉටු කළේ ඉතා විශිෂ්ට සේවයකි. ඔහුගේ සමීපතම මිතුරකු වූ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ඩී.එෆ්. කාරියකරවන කතුවරයා සමග පැවැත්වූයේ ඉතා සමීප සබඳතාවයකි. සෑම දිනකම උදෑසනම දුරකථනයෙන් කතා බහක යෙදීම ප්‍රේමදාස කාරිය කරවන මිතුරන් දෙදෙනාගේ පුරුද්දක් විය.
මෙතුමාගේ ආදරණීය පීතෘ රත්නය දකුණු සිරිලක ගාලු දිස්ත්‍රික්කයේ බෙන්තර වලල්ලාවිට කෝරලයේ කොස්ගොඩ හෑගල්ලෙන් කොළඹ ඩයස් පෙදෙසට පැමිණි රිචඩ් රණසිංහ මහතා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ අනුගාමිකයෙක් විය. මහා බෝධි සමාගමේ ආගමික කටයුතුවලට මෙන්ම සිංහල බෞද්ධයා පුවත්පත ව්‍යාප්ත කොට හැර මේ කටයුතුවල ද බැති බරව නියැළුණු ඔහු ඉඩම් හිමි ගොවියකු මෙන්ම සාර්ථක ව්‍යාපාරිකයකු වශයෙන් නැඟී සිටියේය.
රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ මෑණියෝ හොරණ බටුවිට ජයසිංහ ආරච්චිගේ එන්සිනා හාමිනේ වූහ. ප්‍රේමදාස මාතාව සැදැහැවත් බෞද්ධ කාන්තාවක වූවාය. සෑම විටම එය පුතණුවන්ගේ වැඩි දියුණුවම පතමින් ඉමහත් සෙනෙහසින් ඔහු හදා වඩා ගත්තාය.
ආර්. ප්‍රේමදාස මැතිතුමා තුළ සිය දෙමව්පියන් වෙනුවෙන් තිබුණේ බුදු සමයෙන් ලැබූ ආභාසයෙන් ඔප් නැංවුණු උත්කෘෂ්ඨ මාතෘ පීතෘ ප්‍රේමයකි.
රණසිංහ ප්‍රේමදාස මහතා මෙලොව එළිය දුටුවේ 1924 ජූනි මස 23 වැනිදාය. එතුමාගේ මව්පියන් කුඩා අවධියේ පටන් ම තම පුතණුවන් ජාත්‍යාලය ඇති පර හිත නිරත සුචරිතවත් යහපත් මිනිසකු කිරීමට මඟ හෙළි පෙහෙලි කිරීමේ පෙරදුරන්ව සිටි බවය.
වරක් එතුමාගේ හිතට නැඟුණ කවි සංකල්පනාවකි මේ.
‘මගේ දහදියෙන් රට සරු කරන්නෙමි
මගේ මුවඟ තෙපුලෙන් දැය තවන්නෙමි
මගේ සැම පැයම පොදු වැඩට දෙන්නෙමි
මගේ මෑණියන් පා වඳින්නෙමි’
එසේ ආර්. ප්‍රේමදාස කවියා සිය මෑණියන්ට අභිනන්දනය කරන්නේ සදාදරයෙනි.
ප්‍රාථමික අධ්‍යාපනය හාර්වඩ් පාසල වේල්ල වීදිය, කොළඹ ද්විතීයික අධ්‍යාපනය ශාන්ත ජෝසප් විiාලය ඩාලි පාර, කොළඹ දහම් පාසල් අධ්‍යාපනය හේව් විතාරණ දහම් පාසල වේල්ලවීදිය, කොළඹ වජිරාරාම දහම් පාසල ද විය.
මෙතුමාට ප්‍රධාන වශයෙන් මඟ පෙන්නුවේ පැලෑන වජිරඥාන මහා නායක ස්ථිවිර පාදයාණන් වහන්සේ සහ ගෞරවනීය නාරද මහා ස්වාමීන් වහන්සේ ද විය. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකු සහ උප නගරාධිපතිවරයකු වශයෙන් ද කටයුතු කළේය. 1978.02.06 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. 1988 ජනවාරි 02 දින ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපතිවරයා වශයෙන් වැඩ භාර ගත්තේය.
එතුමා තුළ තෙරුවන් කෙරෙහි තිබුණු අචල ශ්‍රද්ධාව නිසා එතුමා මහා ශ්‍රේෂ්ඨ – පුරුෂයකු බවට පත් කළේය.
එතුමා බෞද්ධ විහාරස්ථානයක උත්සව අවස්ථාවකට සහභාගි වූ සෑම අවස්ථාවකදීම එතුමාගේ කථනය වූයේ ධර්මයෙන් අනුශාසනා පැවැත්වීමයි. එතුමාගේ මේ ධර්ම දේශනාවන් මහජනයාගේ ඇස, කන පිනවන දේශනාවන් විය. එතුමාගේ මෙම දේශනාවන්ට මූලික වූයේ බුදු හිමියන් දේශනා කළ සතර සති පට්ඨානය ඇසුරෙන් ලබාගන්නා ලද දහම් කොටස්ය. එම නිසා එතුමාගේ එම දෙසුම් අසා සිටින මහ ජනයාගේ ප්‍රඥාව වඩවනසුලු විය. එතුමා 1991 මැයි 01 දින කොළඹ ආමර් වීදියේ ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බයකට හසුවී සදහටම නෙත් පියාගත්තේය. මෙසේ මෙම ශ්‍රේෂ්ඨ ජන නායකයාගේ අවසානය විය. ඉතින් ශ්‍රේෂ්ඨ ජනනායකයානෙණනි, ඔබට එම අමා නිවන් සුව බොහෝ දුර නොවේ.
දයාරත්න විතාරණ,
ශ්‍රී ලංකා පත්‍ර කලාවේදීන්ගේ සංගමය,
ලංකා කම්කරු පක්ෂයේ උප සභාපති.