රට ඉදිරියට යන්නේ විධිමත් සැලැස්මක් තිබුණොත් පමණයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනේදී අවධාරණය කරයි

0

දැන් ඉතින් හරි කියලා පුරුදු දේශපාලනයේ කරන්න හිතන්න එපා

රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බැවින් නැවත පුරුදු සාම්ප්‍රදායික දේශපාලනයේ නිරතවීමට හැකි බව කිසිවෙකු නොසිතිය යුතු බවත්, රට ඉදිරියට ගෙන යා හැක්කේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එබැවින් විවේචන සිදු කරමින් නොසිට රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙන ලෙස සියලු‍ දෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා විවේචන පහසු වුවත් විසඳුම් අසීරු බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගිය (02)දා පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

2020 අයවැය මගින් බදු අඩු කිරීම නිසා ආදායම් නැති වෙනවා. විදේශ විනිමය නැති වෙනවා. ඒ නිසා අපේ පළමු කාර්ය වන්නේ මේ රටට ඩොලර් බිලියන 03ක සංචිතයක් අවශ්‍යයි කියලා එදා අප ප්‍රකාශ කළා. කිසිවෙක් එදා එය පිළිගත්තේ නැහැ. මේ මොනවද කථා කරන්නේ කියලා අපේ කණ්ඩායමක් සමගි ජන බලවේගය හදන්න ඉවත්වී ගියා. ජනතා විමුක්ති පෙරමුණ සිනහා වුණා. පොහොට්ටුව විවේචනය කළා. එක්සත් ජාතික පක්ෂය තනි වුණා. නමුත් අප එයින් ඉවත් වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය සැමදා සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා. කෙතරම් තිත්ත වුණත් ඇත්ත කියනවා. 2020 එම බිලියන 03 ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දුන්නා නම් මෙවන් ඉරණමක් රටට අත් වන්නේ නැහැ.

රට ඉදිරියට යන්නේ විධිමත් සැලැස්මක් තිබුණොත් පමණයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනේදී අවධාරණය කරයි

එදා ආහාර නැති වුණා, පොහොර නැති වුණා, ඉන්ධන නැති වුණා, කර්මාන්ත ශාලා වැසි ගියා, ආදායම් මාර්ග අහිමි වුණා. සියලු‍ දෙනා පීඩාවට පත් වුණා. එවිට අරගලයක් ආරම්භ වුණා. මෙම අරගලය සිදු වුණේ පොහොට්ටුවේ ආණ්ඩුවට විරුද්ධවයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත් වුවායින් පසු සම්ප්‍රදායිකව සජිත් ප්‍රේමදාස මහත්තයට අගමැති ධූරය භාර ගන්නා ලෙස දැනුම් දුන්නා. නමුත් ඔහු ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. ආර්. ප්‍රේමදාස මහතා හෝ ජේ.ආර් ජයවර්ධන මැතිතුමා සිටියා නම් මෙම අවස්ථාව අත හරින්නේ නැහැ. එයයි සැබෑ එක්සත් ජාතික පක්ෂය.

ජනතා විමුක්ති පෙරමුණත් පැන ගියා. ඔවුන් කිසිවෙකුට විසඳුමක් තිබුනේ නැහැ. පැරණි දේශපාලනය සිදුකරමින්, බොරු කරමින් සිටින ඔවුන්ට විසඳුමක් තිබුණේ නැහැ.

මම බය නැතිව අගමැතිකම බාරගත්තේ මා තුළ විසඳුමක් තිබූ නිසයි. එදා ප්‍රකාශ කළ පරිදි බිලියන 03ක මුදලක් සොයා ගත්තොත් මේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හැකි බව දන්නා නිසා මම ඒ අනුව කටයුතු කළා. නමුත් අප තවමත් මෙම අර්බුදයෙන් ගොඩ ඇවිත් නැහැ. එදිනෙදා ජීවිතය ගත කිරීමට පමණයි මෙම ක්‍රමවේදය තුළින් හැකිව තිබෙන්නේ.

සම්පූර්ණ වාර්ෂික ආදායමට වඩා ණය වීතිබෙනවා නම් එයින් ගොඩ එන්නේ කොහොමද? ඒ සඳහා අලු‍තින් ආදායම් මාර්ග ඇති කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඊළඟ වසර 05 තුළ අප මෙම ආර්ථික ස්ථාවරභාවය ඇතිකරගන්නේ කොහොමද කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප ගිවිසුමකට එළැඹ තිබෙනවා. එය කඩකළහොත් නැවත ඔවුන්ගේ සහාය අපට හිමි වන්නේ නැහැ.

අපේ විදේශ ණය නැවත ගෙවීමට 2027 සිට 2042 වන තෙක් අපට කල් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව අප මෙම ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියා සිතිය යුතුයි. මෙම ණය ගෙවීම පමණක් නොවෙයි අප තවම ආනයන පදනම් කරගත් ආර්ථිකයක් නිසා සෑම වසරකම අපට විදේශ ණය ලබාගැනීමට සිදු වෙනවා.

රට ඉදිරියට යන්නේ විධිමත් සැලැස්මක් තිබුණොත් පමණයි - ජනාධිපති රනිල් වික්‍රමසිංහ එජාප කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ වැඩසටහනේදී අවධාරණය කරයි

එවිට දැනට තිබෙන බිලියන 83 ණය මුදල තවත් ඉහළ යනවා. එවිට තවත් වසර 05ක් ගත වන විට නැවත රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙනවා. එසේ නම් අප ඉදිරියට යන්නේ කෙසේද කියා අවධානය යොමු කළ යුතුයි. එයයි දැන් අප හමුවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙන්නේ.

අප එක්සත් ජාතික පක්ෂය ලෙස අනෙක් මන්ත්‍රීවරු සියලු‍දෙනා සමග එක්වෙලා මේ ප්‍රශ්නයෙන් රට බේරගත්තා. දැන් අප ඉදිරියට යා යුතුයි. එක් පක්ෂයක්වත් මෙතෙක් තම වැඩපිළිවෙළ ඉදිරිපත් කර නැහැ. ඔවුන්ට එය ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ. නමුත් අපි ආණ්ඩුවක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මිත්‍ර රටවල් සමඟ ඇතිකරගත් එකඟත්වය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිගත කිරීමට කටයුතු කරනවා. ආනයන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් බවට රටේ ආර්ථිකය පරිවර්තනය කිරීමට මේ නීතිය ඉදිරිපත් කර තිබෙනවා. එම ඉලක්ක අනුව කටයුතු කිරීමෙන් පමණයි මේ රට දියුණු කිරීමට හැකියාව ලැබෙන්නේ.

එසේනම් ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් සැලැස්මක් තිබිය යුතුයි. කිසිවෙකුට එවැනි සැලැස්මක් නැති නිසා සියලු‍දෙනා එකට එකතුවී මේ රටේ ආර්ථික පරිවරතන නීතියට සහාය ලබා දෙන්න කියලා මම සියලු‍දෙනාගෙන් ඉල්ලනවා. විවේචනය පහසුයි. නමුත් විසඳුම් අසීරුයි. ඒ නිසා විවේචනය කරන්නේ නැතිව විසඳුම ලබාදෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment