රට තුළට එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය විරෝධී බල අධිකාරියක් ස්ථාපිත කරනවා – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

206

විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා මත්ද්‍රව්‍ය විරෝධී බල අධිකාරියක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙමඟින් හැකියාව ලැබෙන බවද සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේය.

සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් බිලියන 4 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 200ක ප්‍රමාණය කොළඹ වරායට ඊයේ (24දා) රැගෙන ආ අවස්ථාවේ එය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා ගාල්ලට බටහිර දෙසින් නාවික සැතපුම් 91 (කිලෝ මීටර් 168) දුරින් ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන මෙලෙස කොළඹ වරායට ගෙනවිත් තිබිණි.

රට තුළට එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය විරෝධී බල අධිකාරියක් ස්ථාපිත කරනවා - ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

මෙම මත්ද්‍රව්‍ය විරෝධී ඒකකය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කරමින් තිබෙන බවත් ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය. මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් සිදු කරමින් අත්අඩංගුවට ගනු ලබන්නේ 65% ක් තරම් වන ප්‍රමාණයක් බවත් ඉතිරි 35%ක ප්‍රමාණය රටට ගෙන එනු ලබන බවත් පෙන්වා දුන් රත්නායක මහතා මත්ද්‍රව්‍ය රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් වැළැක්වීම සඳහා නවීන වැඩපිළිවෙළක අවශ්‍යතාවයද පැහැදිලි කළේය.

නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා මහතා ඇතුළු නාවික හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment