මිනිස්කම වල් වැදී සරුංගලයකට මරා ගැනීම

686

මිනුවන්ගොඩ ඝාතන රැල්ල: අවුරුදු 06 ට මිනී මැරුම් 07 ක්!

පානදුරේ සංගීත සංදර්ශනයක දී කැප් එකක් මත ඇති වූ ගැටුමක් අවසන් වූයේ විටින් විට දාහත් දෙනකු ඝාතනය කරමින්. එකල මෙම ගැටුම ඇති වූයේ පානදුරේ ප්‍රබල පාතාල කණ්ඩායම් දෙකක් අතරයි. එම ගැටුම එකල මෙරට ප්‍රසිද්ධ මෙන්ම ආන්දෝලනාත්මක සිද්ධියක් බවට ද පත්විය. එම ගැටුම අවසන් වූ පසු යළිත් මෙරටින් මතු වූයේ සරුංගලයක් නිසා සිදුවූ ඝාතන දාමයක්ය. එය වාර්තා වූයේ 2017 වර්ෂයේ මිනුවන්ගොඩින්ය. තවමත් එය නැවතී නොමැත. පසුගියදා ඝාතනය වූ එකම පවුලේ පිය පුතු ඝාතනයත් සමඟ යළිත් එය කරලියට පැමිණියේය. එම මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධව පුද්ගලයන් 04ක් මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සරුංගල් යැවීමේ දී ඇතිවූ ආරවුලක් හේතුවෙන් වර්ෂ 2017 දී ඇතිවන ඝාතන දාමයේ දී ඝාතනය වූ තරුණයකුගේ තාත්තා සහ මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායි සිට ලබා ගත් පාතාල අපරාධකරුවකුගේ ගෝලයන් තිදෙනෙකි. පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට පත්වන්නේ අනුරාධපුරය බලා යන බස් රථයක ගමන් කරමින් සිටියදීය.

මාකිලංගමුවේ සංජීවගේත් පාතාල මඟපෙන්වන්නෙක් ලෙස කටයුතු කළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වූ බව කියන මෙම අපරාධකරු මේ වනවිට ඉන්නේ ඩුබායිවලය. සිය ගමේ මිතුරෙක් ගමේ කමට ඉල්ලූ උපකාරය ඔහු ඉටු කර තිබුණ බව අපරාධ විමර්ශකයෝ පැවසූහ.

මේ මරාගැනීම් සිදුවන්නේ ඥාති පවුල් දෙකක් අතරය. ඊයේ සිදුවූ ඝාතනයත් සමග මෙම ඝාතන දාමය පස් වසරක් තුළ මිනී මැරුම් 07ක් තෙක් දික්ගැස්සී තිබේ. වර්ෂ 2017 දී සරුංගල් යැවීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම ඝාතන දාමය ආරම්භ වන්නේ පියෙක් සහ පුතෙක් ඝාතනය කිරීමෙනි. සරුංගල් යැවීමේ දී ඇතිවූ බහින්බස් වීමක් හගිස්සා පහර දීමට නිවසට කඩා වැදුන ලාල් ප්‍රේමසිරි සහ ඔහුගේ පුත් සුරාජ් ධනංජය මෙම සිද්ධියේ දී ඝාතනය වූයේය.

පසුගිය දින 6 වැනිදා ගමන්ගෙදර නිවසේ දී ඝාතනය වූයේ ලාල් ප්‍රේමසිරි සහ සුරාජ් ධනංජය ඝාතනය කළ බවට සැක පිට රක්ෂිත බන්ධනාගාරගත වී සිට ඇප මත නිදහස් වී සිටින අකලහන්දි ලක්ෂ්මන් කුමාර හෙවත් රාලහාමි (50), ඔහුගේ වැඩිමහල් පුතා වන සුරේෂ් ජීවන්ත (24) යන දෙදෙනාත් බාල පුතා වන රොෂාන් මධුවන්ත (22) යන තරුණයාත්ය.

මීට පෙර මෙම ඝාතන දාමයේ පුරුකක් ලෙස වර්ෂ 2018 දී ජස්ටින් රත්නසීල නැමැත්තෙක් ඝාතනය විය. ඒ ඝාතනය වූ ජස්ටින් රත්නසීල (65) ඝාතනය වූ රාළහාමිගේ සහෝදරයාය.

ජස්ටින් රත්නසීල වෙඩි තබා ඝාතනය කිරීමට සැක පිට අත්අඩංගුවට ගනු ලැබ ඇප පිට නිදහස් වී සිටින පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙක් වූයේ ලක්ෂිත ලක්ෂාන් නොහොත් සුද්දා නැමැති තරුණයාය. සුද්දා 2021 දී ඝාතනය වූයේය. නැවත සුද්දා ඝාතනයට සැක පිට ඊයේ ඝාතනයට ලක් වූ පියාත් පුතුන් දෙදෙනාත් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් වී සිටියේය. මේ ත්‍රිපුද්ගල ඝාතනය එම ඝාතනයට සිදුවූ පලිගැනීමක් ලෙස සිදුවූවක් බව පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත..

හෙළිදරව් වී ඇති කරුණු අනුව මෙම ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගන්නා එක් පුද්ගලයෙක් වන්නේ සුද්දාගේ පියාය. ඔහු 2017 සරුංගල් මරණ දාමය ආරම්භ කරමින් ඝාතනය වුණු ලාල් ප්‍රේමසිරිගේ අයියාය. මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වන්නේ විශේෂ කාර්ය බළකායෙන් සහ ගම්පහ අපරාධ කොට්ඨාස විමර්ශන කාර්යාංශයෙනි.

ඝාතනය සිදුවූ පසුගිය 6 වැනිදා උදේ පොලිස් ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුන පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් මිනුවන්ගොඩ ගමන්ගෙදර නිවසට පැමිණ තිබේ. එලෙස පැමිණි ඇති ඔවුන් පවසා ඇත්තේ නිවසේ ගිනි අවි ඇතැයි ලැබුණු ඔත්තුවක් මත සම්පූර්ණ නිවසම පරීක්ෂා කිරීමට අවශ්‍ය බවය.

ඒ අනුව එම පිරිස නිවස පරීක්ෂා කිරීමට ඉඩ ලබා දී තිබේ. අනතුරුව එම තිදෙනා නිවෙස් හිමියාගේ බිරියට සහ දියණියට කාමරයකට ගොස් දොර වසාගන්නා ලෙස අණ කර නිවෙස් හිමියාත්, පුතුන් දෙදෙනාත් නිවසේ සාලයේ දණගස්වා වෙඩි තබා තිබේ.

පුතුන් දෙදෙනා වන සුරේෂ් ජීවන්ත (24) සහ බාල පුතා වන රොෂාන් මධුවන්ත (22) එතැනම මියගොස් ඇති අතර අකලහන්දි ලක්ෂ්මන් කුමාර හෙවත් රාලහාමි (50) මිනුවන්ගොඩ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබුණි. පසුව මෙම ත්‍රිපුද්ගල ඝාතනය ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය. පොලිසිය වහාම පරීක්ෂණ පැවැත්වීය.

ඒ අනුව ඝාතකයන් පැමිණි වාහනය සහ යතුරුපැදියක් ඊයේ දහවල් බඩල්ගම මඩම්පැල්ල ප්‍රදේශයේ අත්හැර ගොස් තිබිය දී පොලිසියට හමුවී තිබිණි. මෙම වාහනයේ හිමිකාරිත්වය තිබුණේ මිනුවන්ගොඩ පල්ලමවත්ත ප්‍රදේශයේ කාන්තාවකටය. ඇය එම වාහනය කුලී පදනම මත වාහන සපයන ආයතනයක් වෙත ලබා දී තිබුණේ දැනට මාස කිහිපයකට පෙරයි.

පසුගිය 04 වැනිදා තරුණයෙක් පැමිණ මෙම වාහනය කුලී පදනම මත රැගෙන ගොස් මෙම අපරාධය සිදු කිරීම සඳහා භාවිතා කර තිබුණි.

ඝාතනයට ලක් වූ පියා සහ පුතුන් දෙදෙනා සරුංගල් නඩුවට අදාළව මුල්ම මිනීමැරුම් සිද්ධිය වූ පිය පුතු ඝාතනයට සැක පිට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප පිට නිදහස් වූ පුද්ගලයන්ය.

ඝාතන සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් නිලධාරීහු පවසති. සරුංගලයක් නිසා ඇතිවූ මෙම මිනීමැරුම් දාමය මෙතනින් අවසන් වේ යැයි සිතීමට නොහැකිය. ඒ මන්ද යත් එම පවුල් දෙකේ සාමාජිකයන් තවමත් සිටිනුයේ ජම්මාන්තර වෛරක්කාරයන් ලෙසින්ය.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment