සිඟිති දරුවාත් තුරුළු කරගෙන බසයට යටවුණු මවක් ජීවිත සටනක
එක පාරට බ්‍රේක් එකක් ගැහුවා: බස් එක වම් පැත්තට ඇලවෙලා ගැරඬිඇල්ල ප්‍රපාතයට පෙරළුණා
මිනිස්සු මරළතෝනි දුන්නා: මොනව වුණාද හිතාගන්න බැහැ
දිවි බේරාගත් මගියෙක් කියයි
අනතුරින් මියගිය අයකු වෙනුවෙන් රජයෙන් ලක්ෂ 10ක වන්දියක්

රම්බොඩ බස් අනතුරෙන් 21ක් මරු දකිති

“බස් එක රම්බොඩ ගැරඬිඇල්ල හරියට එනකොට ස්පීඩ් ආවේ. එකපාරටම බ්රේක් පාරක් ගැහුවා. ඒත් එක්කම වම් පැත්තට ඇලවෙලා ගැරඬිඇල්ල ප්‍රපාතයට පෙරළුණා. බස් එකේ හිටිය මිනිස්සු මරළතෝනි දීලා කෑගැහුවා. කළුවරේ කිසිදෙයක් පෙනුණෙ නැහැ. මොනවා වුණා ද කියලා හිතාගන්න බැහැ” යැයි රම්බොඩ මාරක බස් අනතුරින් දිවි ගලවා ගත් මගියෙක් “දිවයින”ට ඊයේ (11 වැනිදා) කියා සිටියේය.

මෙසේ දිවිගලවා ගත් මගියා තවදුරටත් මෙසේ ද කීය.

“වට කීපයක් කැරකිලා කැරකිලා බස් එක පෙරළෙන එක නතර වුණා. මං අමාරුවෙන් එළියට ආවා. මිනිස්සු විලාප තියලා කෑගහනවා. මං බස් එකේ හිරවෙලා හිටිය හත් අටදෙනෙක්ම එළියට ගත්තා.

පුංචි ළමයි ගොඩක් තුවාල වෙලා හිටියා. ඒ අයව මුලින්ම ප්‍රපාතයෙන් උඩට ගන්න කටයුතු කළා. ඒ වෙනකොට ගමේ අයත් බස් එක පෙරළිච්ච තැනට ඇවිත් හිටියා. එයාලගෙ උදව්වෙන් තුවාලකාරයො කොත්මලේ රෝහලට ගෙනියන්න කටයුතු කළා.”

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ඊයේ (11 වැනිදා) අලුයම 4.30ට පමණ සිදුවූ මේ මහා ඛේදවාචකයෙන් බස් රථයේ ගමන් කරමින් සිටි මගීහු 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මේ මහා ඛේදවාචකය සිදුවන අවස්ථාවේ මගීන් 75 දෙනෙක් පමණ බස් රථයේ සිට ඇති අතර ඔවුන් සියලු දෙනා තුවාල ලබා තිබේ.

අනතුරින් මියගිය අය අතර බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ 38 හැවිරිදි කැලුම් චන්දන ද සිටින බව පොලිසිය පවසයි.

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මෙම අනතුරට මුහුණ පා තිබිණ.

පොලිසිය පවසන්නේ වේගයෙන් ධාවනය වී ඇති බස් රථය හිටිහැටියේ ම ඇති වූ කාර්මික දෝෂයක් නිසා මාර්ගයෙන් ඉවතට පැන ගැරඬිඇල්ල ප්‍රපාතයට පෙරළී යන්නට ඇති බවයි.

ඊයේ අලුයම 4.30ට පමණ මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඝන අන්ධකාරයක් පැවතිණි. බස් රථය අඩි 100ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී යෑම නිසා එහි සිරවී සිටි තුවාලකරුවන් ඉවතට ගැනීම බෙහෙවින් දුෂ්කර වී තිබිණි.

කෙසේ වෙතත් තුවාලකරුවන් කඩිනමින් බස් රථයෙන් පිටතට ගෙන ප්‍රපාතයෙන් උඩට ගෙන ඒමට ප්‍රදේශවාසීන් මෙන්ම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දැඩි වෙහෙසක් ගෙන තිබිණ.

අනතුර සිදුවූ අවස්ථාවේ හදකම්පා කරවනසුලු සිද්ධියක් ද එහි සිදුවී තිබිණි. බස් රථයට යටවූ මවක් සිය සිඟිති දරුවා ද තුරුළු කරගෙන ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වී සිටියාය.

මවගේ සහ දරුවාගේ ඉනෙන් පහළ කොටස බස් රථයට යට වී තිබීම නිසා ඔවුන් ඉන් පිටතට ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණි. පොලිසිය ආරක්ෂක අංශ මෙන්ම ප්‍රදේශවාසීන් මව සහ දරුවා බස් රථයෙන් පිටතට ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවද එය සාර්ථක වී තිබුණේ නැත.

අලුයම 4.30 සිට ඊයේ දහවල් බස් රථය ගොඩ ගැනීමට දොඹකර රැගෙන එනතුරුම මෙම මව සහ දරුවා එහි සිරවී දැඩි ලෙස අසරණ තත්ත්වයකට පත්ව සිටියහ. ඊයේ දහවල් විශාල දොඹකර ගෙන්වා බස් රථය ඉවත් කර එහි යට වී සිටි මව, දරුවා ඇතුළු තවත් මගීන් පිරිසක් ඉවතට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

වෙසක් උත්සවය වෙනුවෙන් නිවාඩු ලබා සිය ගම්බිම් බලා යමින් සිටි විශාල පිරිසක් මෙම ඛේදවාචකයට මුහුණ දී සිටියහ. මෙම මාරක අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් මුලින්ම කොත්මලේ රෝහලට ඇතුළත් කළ අතර බරපතළ තත්ත්වයේ පසු වූවන් පේරාදෙණිය, නුවරඑළිය, ගම්පොළ, නාවලපිටිය රෝහල් වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබිණ.

අනතුරින් මියගිය අයගේ සිරුර කොත්මලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මේ අතර මෙම අනතුර පිළිබඳ සොයා බැලීමට කථානායක ජගත් වික්‍රමරත්න, ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති වෛi ප්‍රසන්න කුමාර ගුණසේකර මහත්වරු ද අනතුර සිදුවූ ස්ථානය වෙත පැමිණ සිටියහ.

බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබන කීපදෙනකුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මෙම මාරක අනතුර සිදුවූ ගැරඬිඇල්ල ප්‍රපාතයේ සිට තුවාලකරුවන් පිටතට රැගෙන ඒම ඉතාම දුෂ්කර කටයුත්තක් වී තිබිණ. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බොහෝදෙනකුට දිවි අහිමි වී තිබුණේ ඔවුන් කඩිනමින් රෝහල් කරා ගෙන යෑමේ දුෂ්කරතාව නිසා බව ද රෝහල් ආරංචිමාර්ග කියා සිටී.

බස් රථය ගැරඬිඇල්ල ප්‍රපාතයට පෙරළී යන විට එහි පාපුවරුවේ සිටි මගීන් කීපදෙනකුම ඉන් පිටතට පැන දිවිගලවාගෙන තිබිණ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ අසුන්වල සිටි බොහෝ දෙනකු නින්දේ පසු වූ අතර ඇතැම්හු නින්දෙන්ම අවසන් ගමන් ගොස් සිටියහ.

තවත් මගීන් කිහිපදෙනකුගේ සිරුරු බස් රථයට යටවී තිබීම නිසා ඔවුන් බේරා ගැනීමට ආරක්ෂක අංශ හා ප්‍රදේශවාසීහු දැඩි උත්සායක් ගනිමින් සිටියහ. කොත්මලේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

මේ අතර මෙම අනතුරින් මියගිය අයගේ පවුල් වෙත රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට රජය කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

මේ අතර මෙම විපතෙන් මියගිය අය වෙනුවෙන් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝක පණිවුඩයක් ද නිකුත් කළේය. එහි මෙසේද දැක්වේ.

“අද (11) උදෑසන නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුර පිළිබඳ පුවත ඇසීමෙන් මම මහත් සේ කම්පාවට පත් වීමි. රට තුළ දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය ඉහළ යෑම රජයේ දැඩි අවධානයට යොමුව තිබෙන අතර එම අනතුරු වළක්වා ගැනීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය මේ වනවිට යුහුසුළුව කටයුතු කරමින් සිටී. මෙම අනතුරු සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගැනීමට පවතින නීති ක්‍රියාත්මක කිරීමෙන් මෙන්ම රියැදුරන්ගේ ආකල්ප දියුණු කිරීම මගින් ද හැකියාව ලැබෙන බව අපි විශ්වාස කරමු. ඒ වෙනුවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ මේ වනවිටත් වැඩසටහනක් සැලසුම් කර තිබේ.

අද උදෑසන සිදුවූ මෙම බිහිසුණු රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සියලුදෙනාගේ පවුල්වල ඥාතීන් වෙත මාගේ බලවත් සංවේගය පළ කරන අතර තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

එසේම තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අදාළ සියලු රෝහල් සූදානම් කිරීමටත් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ආරක්ෂක අංශ වෙත සහ සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබාදී තිබෙන බව ද සිහිපත් කරමි.

හේමන්ත රන්දුණු, නාලක රත්නායක


advertistmentadvertistment