ඡන්ද කටේ-ගහපු ගැටේ මහත්වරුනි දෙමුද බැටේ!

172

මේ සතිය ආරම්භ වන්නේම ප්‍රබල උද්ඝෝෂණ, විරෝධතා, පා ගමන් මෙන්ම වර්ජන ආදී සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් සමඟය. ආණ්ඩුව සිය සුපුරුදු මර්දන යාන්ත්‍රනය පොලිසිය ලවා බලගන්වමින් ඒවාට ප්‍රතිචාර දැක්වූ ආකාරය ද පෙනුණි. රාජ්‍ය සේවකයන් ප්‍රමුඛ විවිධ වෘත්තිකයන් විසින් රු.20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා වීදි බැසීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එයට සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමත් බොහෝ සමාජ, ආර්ථික හා දේශපාලන අංශවල දැඩි අවධානයට ලක්වූ සිදුවීමක් ද වියට. ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය සාධනීය එකක් ලෙස අප සඳහන් කළේ වැටුප් වැඩිවීම්, ආර්ථික සහන ලබාදීම් සම්බන්ධයෙන් ඔහු අනම්‍ය පුද්ගලයකු වන බවට තිබෙන පූර්ව විනිශ්චය ද නිසාය. එහෙත් ඔහු සඳහන් කළ වැටුප් වැඩිවීම කෙබඳු දැයි වැඩ කරන ජනතාවට මෙන්ම රටටම නිශ්චිත වශයෙන් දැන ගත හැක්කේ එළඹෙන අය වැය ඉදිරිපත් කිරීමෙන් පසුවය. කුමක් වුවත් රු. 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා කෙරෙන උද්ඝෝෂණය ආණ්ඩුව තුළ තිගැස්මක් ඇති කළ බව ජනාධිපති දැක්වූ ප්‍රතිචාරයෙන් ම පෙනේ. එහෙත් ජනාධිපති රනිල්ගේ එම ප්‍රතිචාරය සමඟ ඔහුගේ දේශපාලන පරමාදර්ශය වන ජේ. ආර්. ජයවර්ධනගේ ධර්මිෂ්ඨ සමාජය හා ධාන්‍ය රාත්තල් අටක් ලබාදීමේ කුප්‍රකට පොරොන්දුව ද සිහියට එනු වැළැක්විය නොහැක. සැබැවින් ම එදා ජනතාව මෝහනයට පත් කළ ප්‍රබල ප්‍රතිඥා දෙකක් ලෙස එය හැඳින්විය හැකිය. එහෙත් ඒ එකක්වත් ඉටුවූයේ නැත. ධර්මිෂ්ඨ සමාජයක් බිහිකිරීම පසෙක තබමු. ධාන්‍ය රාත්තල් අට එබඳු කල්ගත වන්නක් ද නොවේ. එහෙත් එයද රැවටිල්ලක් පමණක් විය. ජයවර්ධනගේ ඇට අට ලෙස අදත් එය සමාජ දේශපාලන අංශවල උත්ප්‍රාසයට ලක්ව තිබේ.

ජනාධිපති රනිල් බොහෝ විට ආර්ථික දෘෂ්ටි කෝණයකින් ප්‍රශ්න දෙස බලන ජනතා දුක් සුසුම්වලට අසංවේදී නායකයකු ලෙස සමහරු චෝදනා කරති. ඒ අසංවේදී චෝදනාව මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් බොහෝ දෙනකු සම්බන්ධයෙන් ම සාධාරණ යැයි අපට සිතේ. පොහොට්ටුවේ ඇමැති දොළ දුකෙන් ආඩාපාලි කියන්නෝ ද ඒ අසංවේදී විවේචනයට සුදුස්සෝ ය. ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට එකඟ වෙද්දී (කවර ප්‍රතිශතයකින් හෝ) බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කියන්නේ එය කිසිසේත් කළ නොහැකි බවය. ඔහු එයට හේතු සාධක පවා පෙන්වා දෙයි. එහි හරය වන්නේ ආණ්ඩුවට තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්‍ෂා කළ ආදායම් හා බදු ඉලක්ක සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිසා අරමුදලෙන් ලැබෙන දෙවන ණය වාරිකය ද හිරවී තිබේ යනුයි. එපමණක් නොව වෙරිටේ රිසර්ච් වැනි ආයතනයක් පවසන්නේ මේ ආණ්ඩුවේ පසුගිය අය – වැය යෝජනා සම්බන්ධයෙන්වත් විමර්ශනයක් කළ නොහැකි බව ය. එම ආයතනය බරපතළ අවධාරණයක් ද කර තිබේ. 2023ට අදාළව ඉදිරිපත් කළ අය- වැය පොරොන්දුවලින් 68%ක ප්‍රගතිය පිළිබඳව හෝ තක්සේරුවක් කළ නොහැකි බව ද එම වාර්තාව පෙන්වා දෙයි. එසේම ජනතාවගෙන් ලබාගන්නා බදු මුදල්වලට කුමක් සිදුවේද යන ප්‍රශ්නයත් එහිදී මතුකර ඇත. අයි.එම්.එෆ්. එකඟතාවන්ට අනුව කටයුතු කිරීමට ද ආණ්ඩුව අසමත් වී තිබෙන බව එහි වූ තවත් අවධාරණයකි.

රටේ මූල්‍ය විනය – ආර්ථික අර්බුද විසින් උත්සන්න කරනු ලැබ ඇතැයි මෙහිදී ආණ්ඩුවට පැවසිය නොහැක. අවිධිමත් ආර්ථික පිළිවෙත් හා ගජ මිතුරන්ට අනුග්‍රහ දැක්වීම් ආදිය සම්බන්ධයෙන් ගෝඨාභය පාලනයට ඉදිරිපත් වූ බරපතළ චෝදනා පත්‍රය තවමත් වලංගුව තිබේද? ජනාධිපති රනිල් ඒ නොසන්ඩාල ආර්ථික ක්‍රියා මාර්ගවලින් ඉවත්ව රටට ප්‍රතිපත්තිමය ආර්ථික ස්ථාවරත්වයක් ලබා දෙනු ඇතැයි සමහරු විශ්වාසය ද පල කළහ. ඔහු බොහෝ විට මැතිරුවේද ආර්ථිකය ඔහුගේ ප්‍රමුඛතාව බව ය. එහෙත් වසරකටත් වැඩි කාලයක් රට මෙහෙයවන රාජ්‍ය නායකයා මෙන්ම මුදල් ඇමැතිවරයා ද ජනාධිපති රනිල් ය. එසේ නම් ඔහු මේ චෝදනාවලට ප්‍රතිචාර දැක්විය යුතුය. සාමාන්‍යයෙන් තවමත් මෙරටේ දූෂණ, වංචා, යටිමගඩි ගැන විවිධ පුවත් ඇසෙයි. විශේෂයෙන් කෝප් කමිටුව අබියස හෙළිවන දූෂණ, වංචා මෙන්ම ඒවාට වගකිව යුතු ඇතැම් නම් ගම් ද ප්‍රකාශ වන අවස්ථා ද වේ. මහා පරිමාණ ව්‍යාපෘතිවලින් ගසාකෑ හැටි, ජාතික සම්පත් කොල්ල කෑ හැටි, කෙතරම් හෙළිදරව් වුව ද ඒවා හුදු ප්‍රවෘත්ති පමණි. සමහරු කොප් කමිටුවට උත්ප්‍රාසනීය පිළිතුරු දීමට ද එඩිතර වෙති. කුමක් වුවත් මේ චර්යා විරෝධී වගකීම් විරහිත හැසිරීම් සියල්ලට අද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලක්‍ෂ 220ක් වූ ජනතාවට ය.

ඡන්ද කටේ-ගහපු ගැටේ මහත්වරුනි දෙමුද බැටේ!

මේ රටේ දූෂිත නිලධාරීන් නිසා රාජ්‍ය සේවය විනාශ වී ගියත්, ඒවායේ යහපත් මිනිස්සු සිටිති. ඒ බොහෝ දෙනෙකුගේ ජීවිත සැඳෑවන් දුක්බර වුවත් ඔවුහු මේ රටට ණය නැති උතුම් අය වෙති. ලක්‍ෂ 15ක් පමණ වන මේ රාජ්‍ය සේවයට අද අත්ව තිබෙන දුක් පීඩාවන් ද අපමණය. දේශපාලන බලය, වෘත්තීය නිලවල රස්නය, ඔවුන්ට බොහෝ විට ලැබෙයි. එහෙත් රු.20,000ක් සිය වැටුපට එකතු විය යුතු බව ඔව්හු අවකංවම කල්පනා කරති. ඒ වෙනුවෙන් වීදි බැසීමට ඔවුහු පසුබට නොවෙති. කුමක් වුවත් වසර ගණනකට පසු සිය වැටුප රු.20,000කින් ඉහළ යන්නේ නම් එය ඔවුන්ට සෑහෙන අස්වැසිල්ලක් ද විය හැකිය. එසේ වුවද වටිනාකමක් නැති රුපියල් නෝට්ටු ගොන්නකින් ඔවුන් කිසි කෙනෙකුට මේ ආර්ථික යුද්ධය ජයගත නොහැකි බව පුන පුනා කිව යුතු ද නොවේ.

කෙසේ හෝ ආණ්ඩුව තමන් හිර වී සිටින ආර්ථික උගුලේ ස්වභාවය කුමක් වුවත් මහජන සේවාවක් උදෙසා ජීවිත දියකරන සේවකයන්ට සැලකීම අගය කළ යුතුය. ජනාධිපති රනිල්ගේ ආර්ථික සමත්කම් දේශපාලන පරිණතභාවය සම්බන්ධයෙන් ඔහුගේම පක්‍ෂයෙහි සමහරුන් විසින් කරනු ලබන අතිශයෝක්තියෙන් පිරුණු වර්ණනා හාස්‍යජනක වුවත් ඔහු මේ රට වැටීමට ඉඩ නොදී එයට විසඳුම් සොයන බව ද අපි දනිමු. ඒවා පිළිබඳ විවේචන, විවාද තිබේ. එහෙත් ඔහුට වුවමනා සහාය හා අනුග්‍රහය පොහොට්ටුවෙන් නොලැබුණු බව ද රහසක් නොවේ. කුමක් වුවද අද මෙරටේ ආර්ථික යුක්තිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ද අපට සෑහීමකට පත්විය නොහැක. දසතින් නැගී එන ජනතා විරෝධතා එහි සංඥාවකි. දශක ගණනක ආර්ථික දේශපාලන විකෘතියක් ඔහුට සැණකින් ප්‍රකෘතිමත් කළ නොහැකි බව ද සත්‍යයකි. එහෙත් කොහොමටත් නැති අපට අහලා ගියත් මදැයි කීවා සේ ජීවන බරින් තුන්කුදු වී සිටින රාජ්‍ය සේවකයාගේ විඩාබර මුහුණට පුංචි හිනාවක් ඒමට ඒ විසිදාහේ මල්ල හේතු වනු ඇතැයි සිතේ.

ආණ්ඩුව එලෙස රාජ්‍ය සේවක වැටුප වැඩි කරන බව පවසමින් ලහි ලහියේ වැට් බද්ද 18% දක්වා වැඩි කිරීම ගැන ද වාද විවාද ඇසෙයි. මේ වැට් බද්ද පිළිබඳ අතීතයේ කොනක ගෝඨාභය ද සිටියි. කුමක් වුවත් මේ වැට් බද්ද සඳහා නිශ්චිත කාලයක් ද ප්‍රකාශ කර තිබේ. ඇත්ත වශයෙන්ම මෙලෙස වැට් බද්ද ඉහළ දැමීම නිසා රජයේ සේවකයාට ලැබෙන ආර්ථික සහනයට බාධාවක් නොවේද?. මේ බද්ද කල්තියා නිවේදනය කිරීම නිසා භාණ්ඩ එක්රැස් කර ගැනීම වැනි ක්‍රියාකාරකම් ද සිදුවිය හැකිය. එසේ කළ හැකි අයට එයින් ප්‍රතිලාභ ද අත්වනු ඇත. එහෙත් වැට් බද්ද එදිනෙදා අත්‍යාවශ්‍ය භාණ්ඩවලට හා සේවාවන්ට සෘජුවම බලපෑම වළක්වාලීමට කිසිවකුට නොහැක. පොහොට්ටුවේ නාමල් මන්ත්‍රීවරයා කී ආකාරයටම එය දුප්පතා තවත් හිඟමනට වට්ටවන පොහොසතාට වාසි සලසන දෙයක්ම නොවූවත් එබඳු ප්‍රතිචාර ද දැක ගත හැකි වනු ඇත. ඇත්තටම මෙහිදී සිදුවන්නේ එක් අතකින් දෙන දෙයක් අනිත් අතින් ආපසු ගැනීමකි. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ රජයේ සේවකයාගේ ජීවන රටාවෙහි පැහැදිලි වෙනසක් සිදු නොවීමය. ඔහුට අලුතින් කිසිවක් කළ නොහැකි බව ය. මෙතෙක් දුක් පීඩා දරා ගනිමින් අරපිරිමැස්මෙන් ගෙවූ ජීවිතය විසින් සීමාකරන ලද හා අත්හරින ලද කිසිම දෙයක් ජීවිතයට එකතුකර ගැනීමට ද ඔහුට නොහැකි වනු ඇත.

මේ සියලු දුක් පීඩා විපත් වැඩකරන ජනතාව ප්‍රමුඛ මේ රටේ ලක්‍ෂ 220ක් වූ ජනතාවගෙන් බහුතරයකගේ හිසමතට කඩා වැටුණේ ද දූෂිත දේශපාලනයක් නඩත්තු කිරීමට ඔවුන්ට සිදු වූ හෙයිනි. ලංකාවේ සමාජ – ආර්ථික දේශපාලනය අන්තයට පිරිහී ගිය කුණුපයක් බව පිටත සිට එදෙස බලා සිටින අය ද දනිති. විශේෂයෙන් ඒ දෙස අවධානයකින් බලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල බල සියල්ලෝ ම එහි යථාර්ථය දනිති. එපමණක් නොව ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සමඟ ඇතිකර ගත් එකඟතා මෙන්ම ආණ්ඩුව වගවීම හා විනිවිදභාවය සම්බන්ධයෙන් කිසිදු වර්ධනයක් අත්පත් කර ගෙන නොමැති බව ද ඔවුහු දනිති. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අතිශය වැදගත් අය – වැය සම්බන්ධයෙන් වුවද මෙරටේ පාලකයන් විසින් දක්වන ලද නොසැලකිල්ල, අඩු අවධානය, වගකීම් විරහිතභාවය දැන් සාක්‍ෂි සහිතවම ඕවුහු පසක් කර ගෙන සිටිති.

කෙසේ හෝ මෙ රටේ පුරවැසියන් ලෙස ජීවත්වන හැම කෙනෙකු තුළම අද ඇත්තේ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ අප්‍රසන්න චිත්‍රයකි. රට ආර්ථික වශයෙන් පමණක් නොව සමාජ දේශපාලන සම්බන්ධයෙන් ද ඔවුන් තුළ වර්ධනය වන්නේ අපේක්‍ෂා භංගත්වයකි. මේ මොහොත වන විටත් සෞඛ්‍ය, විදුලිබල, ඉන්ධන මෙන්ම අධ්‍යාපන හා ප්‍රවාහන අංශවල ද බරපතළ අර්බුද මතුවෙමින් තිබේ. විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව දවසින් දවස උත්සන්න වන ජනතා විරෝධය පීඩිත ජනතා හිස මතට කඩා වැටුණු හෙණයක් වැන්න. විදුලි පාරිභෝගික සංවිධානය විසින් දිවුලපිටිය මංසන්ධියෙන් ඉකුත් 01 වැනිදා ආරම්භ කළ පා ගමන කොළඹට පැමිණීම වළක්වාලීමට පොලිසියට හැකි විය. එහෙත් පොලිස් බලය හා හමුදා බලය යොදමින් මේ ආණ්ඩුවේ අනීතික හා අසාධාරණ මිල ඉහළ දැමීම මර්දනය කළ හැකි ද? මේ විරෝධතා දේශපාලන මෙහෙයුම් ලෙස හඳුන්වන ඇතැම් මුග්ධ චරිතවලට අද රටේ ජන ජීවිත කඩා වැටීමේ ඛේදවාචකය ගැන කම්පාවක් නැත. ඇත්තටම විදුලිබල මණ්ඩලය පිළිබඳ තිබෙන විවේචන හා නිලධාරි මාෆියාවට එල්ල වන චෝදනා ද බොහෝ ය. ඇත්ත වශයෙන් ම විදුලිබිල වැඩිකිරීමට සිදුවූයේ එහි වූ පරිපාලන අක්‍රමිකතා, දූෂණ, අයථා ගනුදෙනු ආදිය නිසා බවට දැඩි චෝදනාවක් ද ඇත. ලංකාවේ විදුලි පරිභෝජනය වැඩිවීම ප්‍රශ්නයක් බව ආණ්ඩුවේ සමහරු කියති. එහෙත් විදුලි බිල නොගෙවා ලක්‍ෂ ගණනින් පොලු තැබූ ව්‍යාපාරික හා දේශපාලන චරිත ගැන ද විවිධ අනාවරණයන් සිදුකර තිබේ. රාජපක්‍ෂවරුන්ගේ ලක්‍ෂ ගණන් හිඟ විදුලි බිල් ගෙවූ ආකාරය රටම දනී. ඒ විදුලි බිලට ලැබී තිබුණු සහන කාලය අවුරුදු 3කට නො අඩු විය. එහෙත් රු. 500ක, 1000ක විදුලි බිලක් සතියක් නොගෙවා සිටිය හැකි ද?. විදුලිබල මණ්ඩලය ප්‍රතව්‍යූහගතකරණය සඳහා කටයුතු සූදානම් කර අවසන් බව ඇමැති කංචන පවසා තිබේ. වෘත්තීය සංවිධාන චෝදනා කරන්නේ ජාතික සම්පතක් වන විදුලිය විකුණා දැමීම මේ ආණ්ඩුවේ තවත් දූෂණ ගනුදෙනුවක් විය හැකි බවය. මේවා විවාදාත්මක කරුණුය. පොහොට්ටුවේ සාගර මෙන්ම නාමල් පවා දැන් කියන්නේ ජාතික ආර්ථික පිළිවෙතක් රටට අවශ්‍ය බව ය. ජාතික ආර්ථිකයක් ගැන එබඳු ආඩම්බර කතා ඇහෙද්දී තවත් වටිනා කියන ආයතන ගණනාවක්ම වෙන්දේසි කිරීමට සූදානම් බව ද සමහරු පවසති.

මේ අතර ආණ්ඩුවේ බදු සංශෝධනය ඇතුළු තවත් ක්‍රියාකාරකම් කීපයක් සම්බන්ධයෙන් ද වෛද්‍යවරුන්, විශ්වවිiාල ආචාර්යවරුන් ප්‍රමුඛ වෙනත් ක්‍ෂේත්‍ර ගණනාවකම වෘත්තිකයන් හා වෘත්තීය සංවිධාන ද විරෝධය පළකර තිබුණි. වෛද්‍යවරුන් විසින් පළාත් මට්ටමින් ආරම්භ කරන ලද සංකේත වර්ජනය කැපී පෙනුණි. එහි පීඩනය ඒ පළාත්වල සාමාන්‍ය ජනතාව වෙහෙසට පත්කළ අයුරු ද මාධ්‍යවල වාර්තා කර තිබුණි. වෛද්‍ය සංගමය පවසන්නේ ඔවුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා තිබෙන බව ය. ඇත්තටම මේ විපත ආණ්ඩුව විසින් නොතකා හරින ලද ක්‍රියාවේ දුෂ්ට ඵලයකි. සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් එල්ල වූ විවේචන චෝදනා බොහෝ ය. සෞඛ්‍ය ඇමැතිට ද ඇඟිලි දික්විය. එහෙත් ආණ්ඩුව ඔහු රැකගත් ආකාරය ද අපට මතකය. අවසානයේදී ජනාධිපති රනිල් විසින්ම ඇමැතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට ක්‍රියා කළේය. එය දැන් දේශපාලන කුණාටුවක් බවට පත්ව තිබේ. පොහොට්ටුවේ ලේකම් පමණක් නොව මුල් පෙළේ සමහරු ද ජනාධිපතිවරයාගේ එම ප්‍රතිචාරය පිළිබඳව කනස්සල්ල පළ කළහ. පක්‍ෂයේ මහ ලේකම්ගේ ප්‍රතිචාරය වඩාත් දැඩි වූ අතර නාමල් මන්ත්‍රීවරයාටද ඒ ගැන නෝක්කාඩුවක් තිබුණි. ඒ කුමක් වුවත් දැන් සෞඛ්‍ය සේවයේ ආන්දෝලනයට තුඩු දුන් ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් ලැබෙන වාර්තා පුදුම සහතය. කාර්යාල වේලාවෙන් පසු හිටපු චූදිත නිලධාරියකු විසින් එහි තිබුණු ලිපිලේඛන විනාශ කරන ලද බවට බරපතළ චෝදනාවක් ද නගා තිබේ. අලුත් සෞඛ්‍ය ඇමැතිවරයාට ද මේ සාහසික හැසිරීම් විස්මය දනවනු ඇත. ඒ මොනවා වුවත් මහජනයා වෙනුවෙන් එම සේවය පිරිසිදු කිරීම හා දූෂිත – චෞර නිලධාරීන්ට දඬුවම් දීම ද නව සුව ඇමැතිවරයාටත් ආණ්ඩුවටත් භාර වූවකි.

දැන් අවසන් වශයෙන් මේ සතිය උණුසුම් කළ තවත් විරෝධතාවක් ගැන ද සඳහන් කළ යුතුය. ඒ මෙරටේ බුද්ධිමය සම්පත ලෙස පිළිගනු ලබන විශ්වවිiාල පද්ධතියෙන් සමාජගත වූවකි. කොළඹ ඇතුළු විශ්වවිiාල සියල්ලකම ආචාර්ය මහාචාර්යවරු ඒ විරෝධතාවන්ට එක්ව සිටියහ. ඔවුන්ගේ එක් ඉල්ලීමක් වෘත්තියට අදාළ වූවකි. ඒ බදු හා වැටුප් සම්බන්ධ වූවකි. අනෙක ජාතික අධ්‍යාපනය සුරැකීම හා විශ්වවිiාල පද්ධතියේ සුරක්‍ෂිතතාව වෙනුවෙනි. අද වනවිට විශ්වවිiාලවල මෙන්ම ගුරුවරුන්ගේ ද විරෝධයේ පාලකයන්ට එරෙහිව නැගෙමින් තිබේ. රටක අධ්‍යාපනය, සෞඛ්‍ය, රාජ්‍ය සේවය වැනි පද්ධතියේ කඩාවැටීම යනු ඒ රටේත් ඒ ජනතාවගේත් අනාගතය හා උරුමය අනතුරුට වැටීමේ පෙර නිමිත්තකි. අද පොලිසියට හා හමුදාවලට සිදුව ඇත්තේ ඒ විරෝධතා මැඬපැවැත්වීමය. එබඳු අවස්ථාවල පොලිසිය පත්වන අපහසුතාව ද රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවී ලෙස දැක ගැනීමට ද හැකිය. එහෙත් ඒවා යහපත් හෝ සතුටුවිය හැකි පුවත් නොවේ.

මේ සියල්ල තුළින් අද තහවුරු වන්නේ ජනතාවට අලුත් වෙනසක් වුවමනා බව ය. ජනාධිපතිවරයාට මෙන්ම අනෙක් නායකයන්ට ද ඒ ජන මනස වටහා ගැනිම අසීරු නැත. එසේ නම් අලුත් මහජන වරමක් ලබා ගැනීමට ආණ්ඩුව මෙන්ම අනෙක් සියලු පක්‍ෂ ද සූදානම් විය යුතු බව අපගේ ද අදහස ය. දේශපාලන ගුණ්ඩුවලින් ඒ මහජන මත පරීක්‍ෂාව යටපත් කළ නොහැකි බව ද නිසැකය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment