රාජ්‍ය ආදායම් වැඩිකරන  බදු ප්‍රතිසංස්කරණ

976

2019 අග සිදු කළ බදු කප්පාදුව

 වර්තමානයේ අප මුහුණ දෙන ආර්ථික හා විනිමය අර්බුදයට හේතු වූ දිගුකාලීන සහ ආසන්න සාධක රැසකි. මේ සාධක අතරින් ආසන්න හේතුසාධක අතර ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසු 2019 වසරේ අග භාගයේ දී සිදු කළ විශාල බදු අඩු කිරීම සහ ඇතැම් බදු අහෝසි කිරීම මෙන්ම ඩොලරයේ අගය රුපියල් 203 ක ස්ථාවර අගයක දිගටම පවත්වාගෙන යෑම ද හේතු වී ඇත. මේ වන විට බොහෝ ආර්ථික විද්වතුන් මේ ගැන කරුණු දක්වා ඇති අතර මුදල් මණ්ඩලයේ සාමාජිකා ආචාර්ය රාණි ජයමහ මහත්මිය විනිමය අනුපාතය ස්ථාවර අගයක පවත්වාගෙන යාම ගැන පාර්ලිමේන්තුවේ කෝප් සභාවේ දී ඉතා පැහැදිලිව කරුණු හෙළි කර ඇත. 2019 අගදී මෙසේ බදු සහන ගණනාවක් හඳුන්වා දුන් අතර ඉන් ප්‍රධාන කරුණ සියයට 15 ක අගයේ පැවැති එකතු කළ අගය මත බද්ද සියයට 8 දක්වා සැලකිය යුතු ලෙස අඩු කිරීමයි. එසේම පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීම සහ එකතු කළ අගය මත බද්දෙහි හා පුද්ගල ආදායම් බද්දෙහි බදු පදනම සංකෝචනය කිරීම මෙම බදු ප්‍රතිසංස්කරණවලට ඇතුළත් විය. වර්තමාන අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසන්නේ මේ හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන  600 ත් 800 ත් අතර ප්‍රමාණයක බදු ආදායමක් රටට අහිමි වූ බවයි.

 අයවැය හිඟය වැඩි වීම

රාජ්‍ය ආදායම් වැඩිකරන  බදු ප්‍රතිසංස්කරණ

එදා මේ ආකර්ෂණීය බදු සහන දෙන විට කොවිඩ් වසංගතයක් තිබුණේ නැත. එසේම යහපාලන රජය යටතේ සිදු වූ දුර්වල ආර්ථික කළමනාකරණය නිසා ආර්ථීක වර්ධනය දිගටම පහත වැටී එය 2019 වසරේ දී සියයට 2.3 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබුණු බව ද අපට මතකය. මේ නිසා ආර්ථිකය පණ ගැන්වීමේ අවශ්‍යතාවක් ද තිබිණි. එය සත්‍යයක් වුවත් එතරම් විශාල රාජ්‍ය බදු ආදායමට විශාල හානියක් සිදුකරන බදු අඩු කිරීමක් කිසිවකු අපේක්ෂා කළේ නැත. එම බදු අඩු කිරීම නිසා රාජ්‍ය බදු ආදායම අඩුවීම හැරෙන්නට සාමාන්‍ය පොදු ජනයාට එතරම් සහනයක් සැලසුණේ ද නැත. එයට ද හේතු තිබේ. විශේෂයෙන් වැට් බදු අනුපාත අඩු කිරීමට අමතරව එම බද්ද අය කරන උපරිම සීමාවන් විශාල ලෙස වැඩි කිරීම නිසා එම බද්ද ගෙවිය යුතු ආයතන සහ පුද්ගලයන් ප්‍රමාණය ද විශාල ලෙස බදු දැලෙන් ඉවත් වීම සිදු විය. 2020 සහ 2021 වසරවල දී ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කරන ලද කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය සහ ඒ ආශ්‍රිත ප්‍රවණතා යම් තාක් දුරකට හේතු වී ඇත. එහෙත් 2019 දී කළ මෙම බදු ප්‍රතිසංස්කරණ, රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස අඩු වීමට හේතු වූ ප්‍රධාන සාධකය ලෙස මේ වන විට සැලකෙන අතර, මේ නිසා දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස කලාපයේ අඩුම බදු ආදායම් අනුපාතය මෙරටින් වාර්තා විය. 2019 වසරේ සියයට 12.7 ක් ව පැවති එම අනුපාතය, 2020 වසරේ දී සියයට 9.1 දක්වා අඩු වී, 2021 වසරේ දී එය සියයට 8.7 දක්වා තවදුරටත් අඩු විය. රජයට මෙසේ විශාල වශයෙන් ආදායම් අහිමි කිරීම ආර්ථික අපරාධයක් ලෙසට ද කෝප් සභාවේ දී අදහස් ඉදිරිපත් විය. මෙම බදු අඩු කිරීම නිසා රජයට වැඩියෙන් ණය වීමට සිදු විය. මේ නිසා රාජ්‍ය ණය ප්‍රමාණය ද සැලකිය යුතු ලෙස වැඩි විය.

 මුදල් අච්චු ගැසීමට සිදු වීම

 වියදම වැඩි වීම සහ ආදායම අඩු වීම නිසා අයවැය හිඟය පියවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලු රාශියක් නිර්මාණය වී තිබේ. 2020 සහ 2021 වසරවල දී, විදේශ මූලාශ්‍ර සඳහා වාර්තා වී ඇත්තේ ශුද්ධ ණය ආපසු ගෙවීමකි. මේ නිසා මුළු අයවැය හිඟයම දේශීය මූලාශ්‍රවලින් පියවීමට සිදුව ඇත. මේ දේශීය මූලාශ්‍ර අතුරින් බහුතරයක් බැංකු මූලාශ්‍රවලින්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගැනීමට සිදුව තිබේ. එනම් මහ බැංකුවට මුදල් අච්චු ගසා රජයට දීමට සිදුව ඇති බවයි. මෙසේ අඛණ්ඩව සැලකිය යුතු මුදලක් මහ බැංකුවෙන් ලබාදීම විශේෂයෙන්ම උද්ධමනයට සහ විනිමය අනුපාතයට අහිතකර ලෙස බලපෑම් එල්ල කර තිබේ. රාජ්‍ය ආදායම් අඩු නිසා තවදුරටත් මහා

 භාණ්ඩාගාරයට වැඩි වශයෙන් මහ බැංකු මුදල් ලබා ගැනීමට සිදුවන අතිශය අහිතකර තත්ත්වයක් තිබෙන අතර මේ තත්ත්වය වෙනස් කරගත යුතුව ඇත. එනම් ආදායම් වැඩි කර ගැනීමේ මෙන්ම වියදම් තාර්කීකරණය කිරීමේ ක්‍රියාමාර්ග ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ පසුබිම තුළ පුළුල් බදු ප්‍රතිසංස්කරණයක් කඩිනමින් මෙන්ම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවට මුදල් ඇමැතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඒ සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මේ ප්‍රධාන නව බදු යෝජනා මෙසේ සඳහන් කළ හැකිය.

 බදු ප්‍රතිසංස්කරණ යෝජනා

 2020 සහ 2021 වසරවල ආදායම් කාර්යසාධනය ඉතා දුර්වල වී ඇති නිසා පුද්ගල ආදායම් බදු අනුපාත ක්‍රමානුකූල ලෙස සංශෝධනය කිරීම මඟින් පුද්ගල ආදායම් බදු ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරයි. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, පුද්ගල ආදායම් බදු සහනය රු. මිලියන 3 සිට රු. මිලියන 1.8 දක්වා අඩු වේ. මේ සමග පුද්ගල ආදායම් බද්දට යටත් වෙන පිරිස ඉහළ යයි. එසේම 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු අනුපාත ද සංශෝධනය කර ඇත. බදු අය කළ හැකි ආදායම පළමු මිලියන 1.2 සඳහා බදු අනුපාතය සියයට 4 ක් වන අතර ඉන් පසු වැඩිවෙන සෑම මිලියන 1.2 ක් සඳහා බද්ද සියයට 4 බැගින් සියයට 32 දක්වා ක්‍රමයෙන් වැඩි වේ.

 රඳවා ගැනීමේ බදු

 2020 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඇතැම් ලැබීම් හැර ආයෝජන ලැබීම් මත, හවුල් ව්‍යාපාර ආදායම් කොටස මත, සේවා ගාස්තු සහ කොන්ත්‍රාත් ගෙවීම් මත වන රඳවා ගැනීමේ බද්ද ඉවත් කරන ලදි. 2020 අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සේවා නියුක්ති ආදායම සඳහා අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද හඳුන්වා දී ඇත. මේ බදු ප්‍රතිසංස්කරණ සහ සහන සීමාව ඉහළ දැමීම හේතුවෙන්, උපයන විට බදු ගෙවීම/ අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද යටතේ ආදායම් බදු ගෙවීමට ලියාපදිංචි වී සිටින බදු ගෙවන්නන් සංඛ්‍යාව 2019 අවසානය වන විට 1ල149ල883 සිට 2020 අවසානය වන විට 209ල800 දක්වා සියයට 81.8 කින් අඩු විය. පොලී මත රඳවා ගැනීමේ බදු/ අත්තිකාරම් ආදායම් බද්ද සඳහා ලියාපදිංචි වී සිටින නියෝජිතයන් සංඛ්‍යාව 2019 අවසානය වන විට 1627 සිට 2020 අවසානය වන විට 615 දක්වා අඩු වී ඇත. මේ යෝජනා හේතුවෙන් බදු ආදායමට ඇති වූ බලපෑම සහ අදාළ ක්‍රමවේදයේ සංකීර්ණ වීම පිළිබඳ සලකා බලා, 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද/ සේවා නියුක්ති ආදායම මත රඳවා ගැනීමේ බද්ද (උපයන විට ගෙවීමේ බද්ද) වර්ෂයකට රු. මිලියන 1.8 ක් වන බදු සහන සීමාව ඉක්මවන සියලුම බදු ගෙවන්නන්ට අනිවාර්යය කර ඇත. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, අත්තිකාරම් ආදායම් බද්ද/රඳවා ගැනීමේ බද්ද සියලුම බදු ගෙවන්නන් සඳහා අනිවාර්යය කිරීම සහ තනි පුද්ගල බදු ගෙවන්නන් සඳහා පොලී ද, සියලුම බදු ගෙවන්නන් සඳහා ලාභාංශ ද අවසානාත්මක ගෙවීම් ලෙස සැලකෙන අතර අඩු කිරීම කරනු ලබන අනුපාත ද පෙරේදා (31) රජය නිවේදනය කළේය. 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම මත රු. මිලියන 1.5 ක සහනයක් හඳුන්වා දී ඇත අතර එදින සිට වෘත්තිකයන් වැනි පුද්ගලයන් වෙත සිදු කරන මසකට රු. 100ල000 ක් ඉක්මවන සේවා ගෙවීම් මත සියයට 5 ක රඳවා ගැනීමේ බද්දක් පනවා ඇත.

 සංස්ථාපිත ආදායම් බද්ද

 2020 ජනවාරි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, ස්ථාවර සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 28 සිට සියයට 24 දක්වා අඩු කරන ලදි. තොරතුරු තාක්ෂණය හා සඵල සේවා මඟින් ලැබෙන ලැබීම් හා ලාභ, ආදායම් බද්දෙන් නිදහස් කරන ලද අතර ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා සඳහා සියයට 14 ක සහනදායී බදු අනුපාතයක් ද නිෂ්පාදන සඳහා සියයට 18 ක බදු අනුපාතයක් ද ලබා දෙන ලදී. මේ නිසා බදු ආදායමට වූ බලපෑම සලකා 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සම්මත සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 24 සිට සියයට 30 දක්වා සහ සහනදායී සංස්ථාපිත ආදායම් බදු අනුපාතය සියයට 14 සිට සියයට 15 දක්වා ඉහළ නැංවීම සිදු කර ඇත. 2023 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි වාසික සමාගමක් විසින් නිර්වාසික තැනැත්තකු වෙත ගෙවනු ලබන ලාභාංශ ආදායම් බද්දට යටත් කර ඇත. මේ යටතේ ඇතැම් බදු විරාම අහෝසි කිරීම ද සිදු කර ඇත.

 එකතු කළ අගය මත බද්ද

 2019 දෙසැම්බර් මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කරන ලද අතර මේ බද්ද සඳහා ලියාපදිංචි වීමේ සීමාව විශාල ලෙස ඉහළ දමන ලදි. මේ නිසා කොවිඩ් වසංගත තත්ත්වය ද සමග වැට් බදු ආදායම 2019 වසරේදී රු. බිලියන 443.9 සිට 2020 වසරේදී රු. බිලියන 233.8 දක්වා සියයට 47 කින් අඩු විය. මේ තත්ත්වයන් නිවැරදි කර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි, එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 8 සිට සියයට 12 දක්වා වැඩි කර තිබේ. එහෙත් මේ වන විට උද්ධමනය සියයට 40 කට ආසන්න වී ඇත. මේ අධික උද්ධමනය මහජනයාට බලපාන විශාල බද්දක් ලෙස හැඳින්විය හැකිය. මේ නිසා වෙනත් ක්‍රමවලින් ආදායම් රැස්කරගෙන මේ වැට් බදු වැඩි කිරීම මේ මොහොතේ තාවකාලිකව හෝ නොකර හිටියා නම් වඩාත් හොඳ බව අපගේ අදහසයි. මේ වන විට මහජනයා මුහුණ දෙන අධික උද්ධමන පීඩනය මේ නිසා තවත් උග්‍ර වනු ඇත. මේ නිසා හැකිතාක් වක්‍ර බදු වැඩි කිරීමෙන් මේ මොහොතේ වැළකී සිටී නම් මහජනයා තවත් අසහනයට පත් වීම වළක්වා ගත හැකිය. එසේම 2022 ඔක්තෝබර් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමේ සීමාව වසරකට රු. මිලියන 300 සිට වසරකට රු. මිලියන 120 දක්වා අඩු කර ඇත. එය වරදක් නැත. මේ නිසා වන්නේ මේ බද්ද ගෙවීමට ලියාපදිංචි වන පිරිස වැඩිවී බදු පදනම පුළුල් වීමයි. ඒ නිසා මේ අමාරු අවස්ථාවේ භාණ්ඩ මිල වැඩි වෙන යෝජනා හැර අනෙකුත් බදු ආදායම් යෝජනාවලට විරුද්ධ විය නොහැකිය.

 බදු වෙනස්කම් ක්‍රියාත්මක කිරීම

 වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බදු අනුපාතය සියයට 11.25 සිට සියයට 15 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත. ඔට්ටු හා සූදු බද්ද සම්බන්ධයෙන් වන බදු අනුපාත 2015 සිට සංශෝධනය කර නොමැති බැවින්, 2023 ජනවාරි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සූදු ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වාර්ෂික බද්ද රු. මිලියන 200 සිට රු. මිලියන 500 දක්වා වැඩි කිරීම ඇතුළු තවත් යෝජනා කිහිපයක් කර තිබේ. මේ බදු වෙනස්කම්වලට අමතරව, තාක්ෂණය මුසු කිරීමෙන් සහ ශක්තිමත් බදු විගණන සමඟ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආදායම් එකතු කරන ආයතනවල බදු පරිපාලනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද රජය කියයි. ඒවා ද අත්‍යවශ්‍ය දේවල්ය. එසේම මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ විධිවිධාන ද සංශෝධනය කිරීමට නියමිතය. කෙසේ හෝ මේ අමාරු වෙලාවේ පොදු මහජනයා වෙත තවත් බරක් ඇති නොවන පරිදි බදු ගෙවීමට ශක්තිය ඇති අයගෙන් වැඩි බදු ප්‍රමාණයක් අය කරගනිමින් රජයේ බදු ආදායම වැඩි කරගන්නා ලෙස අපි රජයට යෝජනා කර සිටිමු.

 ● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment