විදේශ ණයක් ගෙවන්න ඩොලර් එකක් රුපියල් 524ට මිලට අරන් ගත්තු ණයෙනුත් ගසා කාලා

2023 විදේශ ණය සම්බන්ධව රජයේ මූල්‍ය ප්‍රකාශන බොරුවක්

ආර්ථික අර්බුදය හේතුවෙන් රට්ටුන් දැඩි පීඩාවට ලක්ව සිටිති. නා නා මාදිලියේ බදු වර්ග ජනතාව මත පැටවීම නිසා ජනතාව පත්ව ඇත්තේ දැඩි අසරණ තත්ත්වයකටය. පසුගිය පාලන කාලයේ දී තම ව්‍යාපාරික ගජමිතුරන්ට බිලියන ගණනින් බදු සහන ලබාදීම ඇතුළු නොයෙකුත් වංචා හා දූෂණ හේතුවෙන් මුළු රටම බංකොලොත් භාවයට පත්කොට ඇත. ආර්ථික අර්බුදයේ තරම කෙතරම් ද කිවහොත් ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 29.5ක් ඉකුත් වර්ෂයේ දී (2023) දරිද්‍රතා රේඛාවෙන් පහළින් ජීවත් වූ බව ලෝක බැංකුවේ නවතම තොරතුරු මගින් අනාවරණය කොට තිබුණි. මෙම තොරතුරු අනාවරණය වන්නේ මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේය.

එමෙන්ම මෙරට පුද්ගලයන් දස දෙනකුගෙන් හය දෙනකු (සියයට 55.7ක්) සෞඛ්‍ය, අධ්‍යාපනය, සහ ජීවන තත්ත්වය යන බහුමාන වශයෙන් අවදානමට ලක්ව ඇති බව ජාතික පුරවැසි සමීක්ෂණය මගින් (2022/2023) අනාවරණය කර ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ. පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත වන වසර ගණන, ශාරීරික සෞඛ්‍ය තත්ත්වය, ද බහුමාන අවදානම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. පාසල් අධ්‍යාපන කාලය, පාසල් පැමිණීම, නිදන්ගත රෝග, සෞඛ්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය, නිවාස, සනීපාරක්ෂාව, පානීය ජලය, ඉවුම් පිහුම් ඉන්ධන වත්කම්, මූලික පහසුකම් යනබහුමාන වශයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගෙන් සියයට 82ක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

රැයක් එළිවෙන කොට කෝටි 7500ක් අතුරුදන්

එම නිසා ණයගැතිභාවය, ආපදාවට ඔරොත්තුදීමේ හැකියාව සහ ජල මූලාශ්‍ර වෙත ප්‍රවේශවීම යන ක්ෂේත්‍ර යන අංශ කෙරෙහි අවධානය යොමු විය යුතු බවද මෙකී වාර්තාවේ සඳහන් වේ.

මේ රටේ ආර්ථික අර්බුදය කියාපාන දර්ශකයන්ය. පාලකයින් විසින් ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට ලක්කොට ජනතාව මත අසීමිත පීඩනයක් පටවා ඇති පසුබිමක විශාල වශයෙන් මූල්‍ය අපරාධ සිදුවෙමින් පවතින බවට විවිධ මූලාශ්‍ර මගින් අනාවරණය වී ඇත. මහ බැංකු බැඳුම්කර වංචාව ගැන අමුතුවෙන් කිවයුතු නැත.

මේ එවැනි පන්නයේ මූල්‍ය අපරාධයකි. විදේශීය සම්පත් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවට අනුව රජය විසින් ලබාගෙන තිබූ ඇමරිකානු ඩොලර් 332,704ක විදේශීය ණය මුදලක් ආපසු ගෙවීමේ දී එම ණය මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා ඉකුත් වර්ෂයේ දී (2023) ඇමරිකානු ඩොලර් 01ක් රුපියල් 524.6050 ක් ලෙස අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන තිබුණි.

රජයේ මූල්‍ය ප්‍රකාශන අනුව ආපසු ගෙවනු ලැබූ මෙම විදේශීය ණය මුදල දේශීය රුපියල් බවට පරිවර්තනය කිරීමේ දී අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇති බව නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 524.60 ක විදේශ විනිමය අනුපාතය යටතේ ඇමරිකානු ඩොලර් 332,704ක මුදල දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් දාහත්කෝටි හතලිස්පන්ලක්ෂ තිස්හයදහස් පන්සියදහ අටක (174,536,518 ) මුදලක් වැය කොට තිබුණි.

ආර්ථික අර්බුදය උත්සන්න වෙමින් පැවති කාලයේ දී රුපියලේ අගය වේගයෙන් අව ප්‍රමාණය වෙමින් තිබූ උපරිම අවස්ථාවේ දී පවා ඇමරිකානු ඩොලර් 01ක් සඳහා ගෙවා ඇත්තේ රුපියල් 363.17කි. එම විදේශ විනිමය අනුපාතය යටතේ ඩොලර් 332,704ක මුදලක් ලබා ගැනීම සඳහා වැය වන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය දොළොස් කෝටි අටලක්ෂ විසිඅටදහස් එකසිය එකොළහකි (120,828,111). ඒ අනුව අදාළ විදේශීය ණය මුදල ගෙවීම සඳහා ඩොලර් මිලදී ගැනීමේ දී රුපියල් මිලියන 53.7ක මුදලක් වැඩිපුර වැය කොට මූල්‍ය අපරාධයක් සිදුකොට ඇති බව හෙළිවී ඇත. මේ මුදල් අමාත්‍යාංශයේ කෙරුවාවය.

ඒ විතරක් නොව විගණනයට ඉදිරිපත් කරනු ලැබූ තොරතුරුවලට අනුව රුපියල් මිලියන 17,104.2ක විදේශ ණය 2023 වර්ෂය අවසන් වනවිටත් ගිණුම්ගත කොට නොතිබුණි. එසේ වුවද විදේශ රාජ්‍ය ණය වාර්තා කිරීමට භාවිතා කරනු ලබන පරිගණක පද්ධතියේ වාර්තාව සහ රජයේ මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේ දී මෙලෙස ගිණුම් ගත නොකළ විදේශ ණයවල එකතුව 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට රුපියල් මිලියන 15,823කි. ඒ අනුව රුපියල් මිලියන 1,281.1 ක වෙනසක් නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රජයේ මූල්‍ය ප්‍රකාශනවල පැහැදිලි කිරීමේ සටහන් යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ගිණුම්ගත නොකළ විදේශ ණයවල මුළු වටිනාකම රුපියල් 17,103.2ක් ලෙස දක්වා තිබුණි. ඒ අනුව 2023 12.31 දිනට රජයේ ගිණුම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇති විදේශීය ණය වටිනාකම නිවැරදි නොවන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ණය ගිවිසුම් 23කට අදාළව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට හා 2023 ජනවාරි මස 01 දිනට රුපියල් මිලියන 30,401ක වෙනසක් නිරීක්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව 2023 වර්ෂයේ දී විදේශ ණය අනුමතවීම්වල නිවැරදි වටිනාකම නිරූපනය නොවන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ විතරක් නොව 2023 ජනවාරි 01 වැනි දින වනවිට ශ්‍රී ලංකා රජය වෙත විශේෂ ප්‍රධාන ලෙස ලැබි ඇති නමුත් 2023 දෙසැම්බර් මස 31 දිනට අදාළ අරමුණට නොයොදවා අක්‍රීයව පවතින විදේශ ප්‍රදාන වටිනාකම රුපියල් මිලියන 107.6කි. එමෙන්ම විදේශාධාර සම්බන්ධ සියලු ගනුදෙනු මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු බව සඳහන් වේ. එහෙත් ඉකුත් වර්ෂයේ දී මහා භාණ්ඩාගාරයේ දැනුවත් වීමකින් තොරව ආයතන 11ක් සඳහා මිලියන 22,210 ක විදේශ ප්‍රදාන සෘජුව ලබාගෙන තිබුණි. එකී විදේශ ප්‍රදානවල වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබුණි.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවට ලබා දී තිබෙන විගණන වාර්තාවට අනුව වසරක් අවසානයේදී දෙසැම්බර් 31 වෙනි දින මූල්‍ය ප්‍රකාශනවල සඳහන් කරන ශේෂයන් ඊට පසුදින එනම් ජනවාරි 01 වෙනි දින ඉදිරියට ගෙන ඒමේ ගිණුම්කරණ සරල කටයුත්ත බරපතළ දෝෂ සහිතව දක්වමින් මූල්‍ය අපරාධ කර ඇති බව අනාවරණය වී ඇත..

එම විගණකාධිපති වාර්තාවේ 1.2 ඌ වගන්තියේ මේ සම්බන්ධයෙන් ප්‍රබල කරුණක් හෙළිකර ඇත. 2022 දෙසැම්බර් 31 වෙනි දිනට රජයේ මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය නොවන වත්කම්වල මුළු වටිනාකම රුපියල් 2,093,287,997,716 යනුවෙන් දක්වන ලද සංඛ්‍යාව 2023 ජනවාරි 01 දින ඉදිරියට ගෙන ඇත්තේ රුපියල් 2,017,866,940,344 වශයෙනි. මේ අනුව ආරම්භක ශේෂයේ රුපියල් 75,421,057,372ක වෙනසක් පවතී.

මෙයින් පැහැදිලි වන්නේ ඉතාම සුමට ආකාරයෙන් මූල්‍ය අපරාධ සිදු කිරීමට අවකාශ සලසාගෙන තිබෙන ආකාරය වේ.

එමෙන්ම ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවකට අනුව රාජ්‍ය ආයෝජන වශයෙන් ඉකුත් වසර 17 තුළදී රුපියල් බිලියන 9,213ක මුදලක් වැයකොට ඇතත් ඉන් රුපියල් බිලියන 7,120ක් හෙවත් සියයට 77ක් වටිනා වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි. 2006 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රාජ්‍ය ආයෝජන වශයෙන් රුපියල් බිලියන 9,213ක මුදලක් භෞතික වත්කම් ඉදිකිරීම, මිලදී ගැනීම හා වෙනත් ආයෝජන අත්පත් කරගැනීම සඳහා වැයකොට තිබුණි. මින් බිලියන 7,120ක් හෙවත් සියයට 77ක් වටිනා වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2022 වර්ෂයේ දී මින් මූල්‍ය නොවන වත්කම් ලෙස රුපියල් බිලියන 2,093ක මුදලක් වත්කම් ලෙස හඳුනාගෙන ගිණුම්ගත කොට තිබුණි. 2005 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා කාල පරාසය තුළ මූල්‍ය ප්‍රකාශනවල මූල්‍ය නොවන වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි. මූල්‍ය නොවන වත්කම් ගිණුම්ගත කිරීම ආරම්භකොට තිබුණේ 2015 වර්ෂයේ සිටය. විධිමත් සැලසුම්සහගතව රාජ්‍ය ආයෝජන සිදුකිරීමට කටයුතු කළ යුතු බැව් විගණනය මගින් නිර්දේශ කොට ඇත.

2022 වර්ෂයේ දී රාජ්‍ය ආයෝජන වශයෙන් උපයෝජනය කොට ඇති මුදල රුපියල් බිලියන 1014 කි. මේ පිළිබඳ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන්කොට ඇත්තේ රජයට අයත් සියලුම මූල්‍ය නොවන වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරගෙන යන බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගෙන් මේ පිළිබඳ කළ විමසුමකදී මෙසේ කීවේය.

විදේශ ණය මුදලක් ගෙවීම සඳහා රුපියල් 524.60ක මුදලක් ගෙවලා විනිමය ගනු ලැබුවාද කියන එක ගැටලුවක්. මෙතරම් විශාල විනිමය අනුපාත මුදලකට මේක පරිවර්තනය වෙන්න විදියක් නැහැ. ගැටලුසහගත තත්ත්වයක් තියෙනවා. මේ පිළිබඳ තවදුරටත් වීමර්ශනය කරලා බලන්න ඕන. අධික විනිමය අනුපාතයක් යටතේ ඩොලර් අරගෙන තියෙනවා. එහෙම නැතිනම් යම් ආකාරයේ වංචනික ක්‍රියාවක් මේ තුළ සිදුවෙලා තියෙනවා. රුපියල් 400ක විනිමය අනුපාතයක් යටතේ ඩොලර් මිලදිගත්තා නම් විනිමය හිඟ නිසා ගත්තා කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. මෙහෙම වුණේ ඇයි කියලා හේතු මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළයුතු වෙනවා. රුපියල් දීලා ඩොලර් මිලදී ගන්න විට රුපියල් කියන එක එන්නේ මේ රටේ බදුගෙවන ජනතාවගේ මුදල්වලින්. ඒ නිසා අවසානයට මහජනතාවට මේ අය වගකියන්න ඕන. ඒ නිසා අදාළ නිලධාරීන් විසින් මේ සඳහා හේතු වූ කරුණු පැහැදිලිව අනාවරණය කළ යුතු වෙනවා.

ලංකාවේ ණය පිළිබඳ ගිණුම්ගත කිරීම එකතැනකින් සිදුවුණේ නැහැ මීට කලින්. ණය පැහැර හැරලා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපිට සිදුවුණා. රජයට සිදුවුණා කෙතරම් ණය මුදලක් අරගෙන තියෙනවාද කියලා අනාවරණය කරන්න. සත්‍ය ණය අවතක්සේරුවීමක් තමයි නිතරම රට තුළ දක්නට ලැබෙන්නේ. රජයේ මූල්‍ය නොවන වත්කම් කාලයක් තිස්සේ නිවැරදි ලෙස ගිණුම්ගත වීමක් සිදුවුණේ නැහැ. ලෝකයේ පවතින උසස් ගිණුම්කරණ ක්‍රමවේදයන් භාවිතා කරලා අපේ ගිණුම් පද්ධතිය නවීකරණය කරලා ක්‍රියාත්මක වෙනවා නම් ඔය සියලු දේවල් ඇතුළත් වෙනවා. නමුත් එවැනි තත්ත්වයක් රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නැති බවද මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කීවේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment