රුසියාවේ රැකියා දෙනවා කියා කෝටි ගණන් වංචා කළ සැකකරු දැලේ

73

රුසියාවේ රැකියා සඳහා යවන බව පවසා විශ්‍රාමික හමුදා සාමාජිකයන් 22 දෙනකුගෙන් රුපියල් කෝටියක පමණ මුදල් වංචා කළ සැකකරුවකු මොරටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කටුබැද්ද, බණ්ඩාරනායක මාවතේ පදිංචි 52 හැවිරිදි පත්ම ගමගේ නමැත්තකු වන අතර එම සැකකරු මොරටුව අතිරේක මහෙස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රසන්න සංජීව නමැත්තකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස මොරටුව පොලිසිය කළ ඉල්ලීම කෙරෙහි ද අවසරය ලබාදෙමින් විදෙස් ගමන් තහනම එම සැකකරුට එරෙහිව පැමිණවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රුසියාවේ ගොවිපළ ආශ්‍රිත රැකියා සඳහා යවන බවට පවසා මෙම මුදල් වංචා කළ බව අනාවරණය කරගෙන ඇත. මෙම ජාවාරමට හසුවූවන් මොරටුව, පානදුර, ගාල්ල, පුත්තලම, කුලියාපිටිය, ඇල්පිටිය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන් එක් අයකු රුපියල් ලක්ෂ 08-10 වශයෙන් සැකකරුට ලබාදී ඇති බවද අනාවරණය කරගෙන ඇත.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රහක්මන මහතාගේ උපදෙස් මත මොරටුව සහකාර පොලිස් අධිකාරි තරිඳු අනුරංග, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එල්. සිල්වා, පොලිස් සැරයන් රාජකරුණා යන මහත්වරුන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඉරංග ගුණවර්ධන – මොරටුව විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment