ලක්මව රනින් සැරසූ අපේ තරුෂි අභිෂේකා – ශ්‍රී ලංකාවට 9වැනි තැන

10

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් දින 04 ක් පුරා සෞදි අරාබියාවේ මියාම් නගරයේ දී ක්‍රියාත්මක කෙරුණු 06 වැනි ආසියානු යොවුන් ශූරතා වයස අවුරුදු 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ රටවල් අතරේ 09 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.

එක් රන් පදක්කමක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් සමගින් සමස්ත පදක්කම් 08 ක් දිනා ගනිමින් කැපී පෙනෙන්නට ඒ අනුව ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම ඉහළ අගයක් ගත්තේය. ආසියානු යොවුන් ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක දී සටහන් කර ගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව මෙය බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කර සිටී.

මෙරට නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනකු අතරේ ඉහළම අවධානය දිනා ගැනීමට සමත් වෙමින් රන් පදක්කම දිනා ගැනීමට එම්. ජී. තරුෂි අභිෂේකා පේමසිරි සමත් වූවාය. බාලිකා මීටර් 800 ඉසව්වේ දී මිනිත්තු 02.14.86 ක තරග නිමි කාලයක් සටහන් කරමින් අදාළ රන් පදක්කම ගෙල පැළඳ ගැනීමට එම්. ජී. තරුෂි අභිෂේකා පේමසිරි ට හැකියාව ලැබිණි. තරග ආරම්භය සහ අවසානය මැනවින් කළමනාකරණය කළ ආකාරය තරුෂි අභිෂේකා පේමසිරි වෙතින් දිස් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස චීනයේ “මෙයිලිං යේ” ට රිදී පදක්කමෙන් සෑහීමට පත්වන්නට සිදු වූවාය. මැදි දුර ජවන ඉසව්වක දී අවහිරයකින් තොරව පෙරමුණට පැමිණීම මෙන්ම වේගය වැඩි කිරීම සමග මුසු වූ වේගය දරා ගැනීම තරුෂී අභිෂේකා මැනවින් සංවිධානය කර ගෙන තිබීම ඒ අතරේ කැපී පෙණුනි. තරුෂී අභිෂේකා පේමසිරි ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විදුහලේ ශිෂ්‍යාවක් ලෙස මෙවර ශ්‍රී ලංකා යෞවන මලල ක්‍රීඩා කණ්ඩායමට සුදුසුකම් ලැබීය.

එකී ඉසව්වේ ලෝකඩ පදක්කම පිලිපීනය ට ද හිමි විය.

නාත්තන්ඩිය දම්මිස්සර ජාතික පාසලේ ඉගෙනුම ලබන එච්. ඩී. සවිඳු අවිෂ්ක මිනිත්තු 01.53.41 ක තරග නිමි කාලයක් සටහන් කරමින් බාලක මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කියූ අතර වාරයේ දී බාලක උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ජේ. එච්. පවන් නෙත්‍යා සම්පත් සමත් වූයේ මීටර් 02.03 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. එමෙන්ම, මීටර් 12.35 ක දක්ෂතාවයක් සටහන් කරමින් බාලිකා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම ගෙල පැළඳ ගැනීමට ඩිල්කි නෙහාරා සමත් වූවාය.

ධනංජනා ප්‍රනාන්දු, තරුෂී අභිෂේකා, එච්. එම්. එන්. එස්. සෙනෙවිරත්න සහ එම්. ඩිල්කි නෙහාරා එක්ව මෙවර බාලිකා මෙඩ්ලි සහාය දිවීමේ රිදී පදක්කම මව් බිමට රැගෙන ඒමට සමත් වීම විශේෂත්වයක් ගත්තේය. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ගතවූ කාලය මිනිත්තු 02.14.25 කි. මෙම තරග නිමි කාලය නව ශ්‍රී ලංකා යොවුන් වාර්තාවක් ලෙස සටහන් වීම කැපී පෙණුනි.

එකී රන් පදක්කම චීනයට (මිනිත්තු 02.11.11) ද ලෝකඩ පදක්කම තායිලන්තයට (මිනිත්තු 02.15.10) ද හිමි විය.

මෙම ජයග්‍රහණ අවසන් දිනයේ දී සටහන් වූ අතර ආරම්භක දිනයේ දී ජනිත් ලක්ෂාන් ජෙන්කින්ස් (රිදී) ද, දෙවන දිනයේ දී ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු (රිදී) සහ ඩී. ජී. ලහිරු අචින්ත (ලෝකඩ) පදක්කම් දිනා ගනිමින් කැපී පෙණුනි.

මෙවර යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස එන්. ඒ. ටී. ජයසිංහ මහතා ද පුහුණුකරුවන් ලෙස බුද්ධික නුවන් මහතා, අනුරාධ නානායක්කාර මහතා සහ එන්. ඉන්දික ඇටිපොල මහතා කටයුතු කළහ. ලක්නා වරාවිට බාලිකාවන් භාර නිලධාරිනිය ලෙස කටයුතු කළාය.

මෙවර බාලක කණ්ඩායමේ නායකත්වය සවිඳු අවිශ්ක විසින් ද බාලිකා කණ්ඩායමේ නායකත්වය තරුෂී අභිෂේකා පේමසිරි විසින් ද හොබවන ලදි.

මෙවර සමස්ත ශූරතාව චීනයට (රන් 19, රිදී 12, ලෝකඩ 05) ද, අනු ශූරතාව ජපානයට (රන් 03, රිදී 03, ලෝකඩ 01) ද තෙවැනි ස්ථානය සෞදි අරාබියාවට (රන් 03, රිදී 01, ලෝකඩ 02) හිමි වූ අතර 08 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට අසල්වැසි ඉන්දියාවට (රන් 01, රිදී 05, ලෝකඩ 05) සිදු විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment