ලෝක නාට්‍ය දිනයට එන අසමා සැණකෙළිය

91

ලෝකයේ පිළිගත් පරණම සහ හොඳම නාට්‍ය ශෛලීන් සහ තේමාවන් පාදක කොට ගනිමින් දරුවන් වෙනුවෙන් සහ වේදිකා නාට්‍ය කලාවට ප්‍රේම කරන ආදරණීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ප්‍රේමණීය මෙන්ම දේශපාලනික වශයෙන් සමාජීය දේවල්වලින් පෝෂණය වූ “රූකඩ ගෙදර, ගොඩෝ එනකං, රතු කොළ දඩයම, සාකුන්තලය, ජුලියස් සීසර්, ඊඩිපස්ට් වැනි තවත් නාට්‍ය 11ක් එකම දිනයක දී ඔබ වෙත තිළිණ කරන්නට වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක අඛිල සපුමල් විසින් මාර්තු 27 වැනි දාට යෙදී තිබෙන “ලෝක නාට්‍ය දිනය” පාදක කොට ගනිමින් ඔහුගේ “අසමා සැණකෙළිය” නාට්‍ය උළෙල මාර්තු මස 28 වැනිදා උදෑසන 9.00 සිට රාත්‍රී 10.00 දක්වා මරදාන එල්ෆින්ස්ටන් රංග ශාලාවේදී වේදිකා ගත කරන්නට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. මේ ඒ පිළිබඳව අඛිල සපුමල් සමග කළ කතාබහයි.

අඛිල “අසමා සැණකෙළිය” නාට්‍ය උළෙල පිළිබඳව අපි මුලින්ම කතා කරමු.

අපි මේ නාට්‍ය උළෙල ගිය අවුරුද්දෙත් කළා. ළමයි ගොඩක් පැමිණියා. ගොඩක් අය කියන්නේ නාට්‍ය දවස් ගණන් පෙන්නනකොට ඒ අයට එන්න යන්නත් වියදම වැඩියි,පුළුවන්නම් එක දවසේ ඔක්කොම නාට්‍ය පෙන්නන්න කියලා. ඒ නිසා තමයි උදේ 9.00 සිට රාත්‍රී 10.00 දක්වා එකම දවසේ නාට්‍ය 11ක් පෙන්වන්න තීරණය කළේ. ඇත්තෙන්ම මේවා විෂය නිර්දේශයන්වල දරුවන් ඉගෙන ගන්න නාට්‍ය. ඒ නිසා සාමාන්‍ය ප්‍රේක්ෂකයෝ එනවා අඩුයි. අධ්‍යාපනික වශයෙන් වැදගත්කමක් තියෙන උසස් පෙළ සහ විශ්වවිද්‍යාල විෂය නිර්දේශවල තියෙන හැම නාට්‍යයක් වගේම සියයට අනූවක්ම කවර් වෙලා තියෙන්නේ දැන්. ඒ වගේම කියන්න ඕනෑ මේ සියලුම නාට්‍ය නිර්මාණය කළෙත් ඒ නාට්‍ය සම්ප්‍රදායන්ගේ ශෛලිය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරමින්ම තමයි.

ලෝක නාට්‍ය දිනයට එන අසමා සැණකෙළිය

මේ නාට්‍ය උළෙල පාසල් හා විශ්වවිද්‍යාල දරුවන් වෙනුවෙන්ම නිර්මාණය කරන නාට්‍ය උළෙලක් ද?

ඔව්. මෙහෙමයි, පිට අයටත් එන්න පුළුවන්. ගිය පාරත් ආවා. හැබැයි එහෙම එන්නේ අලුත් නාට්‍ය සම්ප්‍රදායන් දැකගන්න කුතුහලයක් තියෙන, උසස්ම රස වින්දනයක් තියෙන අයයි. ඒ අයටත් එන්න පුළුවන්. විශේෂයෙන්ම O/L, A/L දරුවන් සහ ගුරුවරු තමයි කණ්ඩායම් වශයෙන් පැමිණෙන්නේ. ඒ වගේම මෙවර පෙන්වන නාට්‍ය එකොළහේ ජපන්, ඉංග්‍රීසි, සංස්කෘත නාට්‍ය පෙන්වන ගමන්ම දරුවන්ට අපේ දේශීය ශෛලිය මේකයි කියලා පෙන්වන්න කෝළම්,සොකරි,නාඩගම්,නූර්ති ශාන්තිකර්ම වලින් හදපු සාම්ප්‍රදායානුකූල නාට්‍යයක් වන “උඩරට කොල්ලයි පහතරට කෙල්ලයි” නාට්‍ය අන්තිමට පෙන්වනවා.

“අසමා සැණකෙළිය” නාට්‍ය උළෙල පවත්වන්න විශේෂ අරමුණක් තියෙනවා නේද?

ඔව්. මේ උළෙලේ විශේෂ පරමාර්ථය වන්නේ, අපේ ආරියවංශ රණවීර සර්ට උපහාර දැක්වීමයි. මේ පාර උළෙල නම් කළේ සහ “අසමා සැණකෙළිය” කරන්නේ අරියවංශ සර්ට උපහාරයක් පිණිස කියලා. එතුමාට ගරු කරන්න,එතුමා වෙනුවෙන්ම මේක නම් කළා. එතුමාව හවසට කැඳවලා උපහාර පුද කරලා එතුමා වෙනුවෙන් කරන්න පුළුවන් සත්කාරය මේ උළෙල යොදාගෙන කරන්න අප උත්සාහ කරනවා.

මෙම නාට්‍ය උළෙලේ පැවැත්වෙන නාට්‍යය පිළිබඳවත් අපි මතක් කරමු ?

නාට්‍ය තියෙන පිළිවෙළ අනුවම මම කියන්නම්. රූකඩ ගෙදර, ගොඩෝ එනකං, පැන්ස තුනේ ඔපෙරාව, සුමි ද නදිය හා දෝජෝ විහාරය,රතු කොළ දඩයම, සාකුන්තලය, ජුලියස් සීසර්, ඊඩිපස් සහ උඩරට කොල්ලයි පහතරට කෙල්ලයි.

මේ අර්බුදකාරී ආර්ථික ක්‍රමය හමුවේ නාට්‍ය බලන්න පැමිණෙන ප්‍රේක්ෂකයින්ගේ අඩුවක් නැද්ද?

නැහැ. දැන් ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ අපි නාට්‍ය පෙන්නද්දි අපිට අර්බුදය දැනුනේම නැහැ. අඩුම තරමේ එල්ෆින්ස්ටන් එකේ කටවුට් එකක්වත් දැම්මේ නැහැ ටිකට් ඉවර වුණා. ඒ කියන්නේ, දැන් මේ අවශ්‍යතාවය දරුවෝ දන්නවා. මේ නාට්‍ය සියල්ල දරුවන්ට එක පාරක් බලා ගත්තම හරිම ලේසියි ඉගෙන ගන්න. ඒ වගේම ගුරුවරුන්ට උගන්වන්නත් හරිම පහසුයි. ඒ අවශ්‍යතාව තියෙන ළමයි 500යි අපට ඕනෑ. මොකද හෝල් එකට දාන්න පුළුවන් පන්සීයයි. ඉතින් ඒ පන්සීය ඉක්මනටම පිරෙනවා.

පාරමී කෞෂිකා

ලෝක නාට්‍ය දිනයට එන අසමා සැණකෙළිය
advertistmentadvertistment
advertistmentadvertistment