වර්ජනයකට යනවාද තීරණයට බස් සංගම් අද රැස්වෙයි

94

පොලිසියෙන් පෞද්ගලික බස්රථවල සැරසිලි ඉවත් කරන ලෙසට එල්ලවන බලපෑම් සහ පීඩා හේතුවෙන් බස් රථ ධාවනයෙන් ඉවත්වන වාද නැද්ද යන්න තීරණය කිරීමට අද (08දා) සියලු බස් සංගම් කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

පොලිසිය සිදුකරන මෙම අසාධාරණ ක්‍රියාව සම්බන්ධයෙන් මානවහිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය.

“කාටවත් වදයක් නොවී කරගෙන යන පෞද්ගලික පොදු මගී සේවාව මේ ආණ්ඩුව හා පොලිසිය හිතාමතාම කඩාකප්පල් කරන්න හදනවා. රටේ තියෙන ප්‍රහ්නවලට විසඳුම් නොදී ඒවා අමතක කරන්නයි ආණ්ඩුව හදන්නේ. බස් රථ සේවකයන් 40,000ක් ඉන්නවා. බස් රථ හිමියන් 10,000ක් ඉන්නවා. මේ අයගෙන් ලක්ෂ 5ක් යැපෙනවා. මේ වගේ දේවල් කරන කොට බස් රථ සේවකයන්, හිමිකරුවන් අන්ත අසරණ වෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ මේවා නෙමෙයි. අපිට හුස්මගන්න පුළුවන් පිරිසිදු වාතය සහිත පරිසරයක් හදලා දෙන්න. අද අපි තීරණය කරනවා වැඩවර්ජනයකට යනවද නැද්ද කියලා.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment