ව්‍යාජ මැණික් ගල් 14ක් කෝටි 13කට විකිණීමට යද්දී අත්අඩංගුවට

84

මැණික් ගල් 14ක් රුපියල් කෝටි 13 2/1කට අලෙවි කිරීමට ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු කටුගස්තොට පොලිසිය මගින් පසුගිය 24දා කටුගස්තොට නගරාසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කටුගස්තොට පොලිසිය පවසයි.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගත් පිරිස ගාල්ල, හිනිදුම හා කොළඹ පදිංචිකරුවෝ වන බවත්, මෙම සැකකරුවන් අතර අඹු – සැමි යුවළක් ද සිටින බව පොලිසිය පවසයි.

මෙම මැණික් ගල් ව්‍යාජ ඒවා බවට පොලිසිය සැක කරන අතර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් එම මැණික් ගල්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කරන ලද බවත්, සැකකරුවන් මෙම මැණික් රැගෙන මහනුවරට පැමිණ ඇත්තේ යතුරුපැදිවලින් බවත් පොලිසිය සිදුකරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මැණික් ගල් පරීක්ෂා කිරීමට යොදා ගන්නා විදුලි පන්දමක් ද සැකකරුවන් සතුව තිබී පොලිසිය සොයාගෙන ඇති අතර, මැණික් ගල් දෙකක් සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් නිකුත් කළ සහතියක් ද සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇත. එය ද ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවට පොලිසිය සැකපළ කරයි. එම වාර්තාව ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට පොලිසිය මේ වන විට කටයුතු යොදා ඇත.

කටුගස්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ආර්. රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment