වැසි ජලය රැස්කිරීම මගින් ආපදා අවදානම කළමනාකරණය

164

වර්තමානයේ අත්දකින කාලගුණික විපර්යාස සහ මදුරුවන්ගෙන් පැතිරෙන රෝගාබාධ අතර අනුලෝම සබඳතාවක් ඇති බව සොයාගත හැක. නූතන ජල චක්‍රය හා ගෝලීය උණුසුමට අනුව මදුරුවන් අභිජනනය වී පැතිරීමට සුදුසු ප්‍රායෝගික පසුබිමක් නිර්මාණය වීම ඊට මූලික කාරණාවයි. නිවාස වහල තුළට ඇදහැලෙන වර්ෂා ජලය අපතේ නොහැර එකතු කිරීම තුළින් නිරතුරු පරිසරයේ එකතුවන මදුරුවන් අභිජනනය වීමට සුදුසු පරිසර තත්ත්වයක් නිර්මාණය වීම අවම කරගත හැකිවනු ඇත. ඒ තුළින් ජීවිත හානි රෝග ප්‍රතිකාර සඳහා පුද්ගලික වියදම හා රජයේ වියදම සැලකියයුතු මට්ටමින් පාලනය කරගත හැකිවනු ඇත.

අද දවසේදී අත්දකින කාලගුණික විපර්යාස, වනාන්තර වේගයෙන් විනාශ කිරීම, ජල මූලාශ්‍ර වේගයෙන් වියළී යෑම, ජල පෝෂක ප්‍රදේශ සංවර්ධන අරමුණු සඳහා භාවිතා කිරීම, පවතින ජල ස්කන්ධයන් විවිධ හේතු නිසා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්කිරීම ආදි දහසකුත් එකක් හේතුමත ජලයම නිෂ්පාදන සාධකයක් ලෙසත් මානව අවශ්‍යතාවයක් ලෙසත් තුලිතව පැවතිය යුතු පරිසර සාධකයක් ලෙසත් මිල කළ නොහැකි සම්පතක් බවට පත්වෙමින් පවතී. ආහාරමය හා ආහාරමය නොවන භෞතික සම්පත් මත පදනම්ව ඈත අතීතයේ සිට යටත් විජිත අධිරාජ්‍යයන් හා ඊට පසු භූමිය තුළ සැඟවුණු මහා සාගර බඳු පොසිල මත පාදක කරගත් යටත්විජිතකරණයෙන් පසු වර්තමානය වන විට ‘පිරිසිදු ජලය’ මත පදනම් වූ යටත්විජිත රාජ්‍යයන්ගේ (නූතන ගෝලීය අධිරාජ්‍ය) උකුසු ඇස් යම් ප්‍රමාණයකට ජලය ජීවය කරගත් දුප්පත් රාජධානී කෙරේ යොමුවෙමින් පවතින ආකාරයක් ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

වැසිජලය කළමනාකරණය තුළින් මෙම ගැටලු සමුදායට විසඳුමක් පවතින්නේ ද එසේ නම් ඒවා ජාතික ප්‍රතිපත්තියක් තුළින් නාගරික, ග්‍රාමීය සමස්ත සමාජයට සමාජගත කරන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුවන වා සේම පවතින බාධකයන් ප්‍රායෝගික භාවිතයට ගැලපෙනසේ ද අවබෝධ කරගත යුතු වන්නේය. එසේම වැසි ජලය වැඩි වශයෙන් ලැබුණ ද අඩුවෙන් ලැබුණ ද එය ආශිර්වාදයක් ලෙස සතුටින් ලබා ගැනීමේ ධනාත්මක ආකල්ප අප සතුවිය යුතු වන්නේය. එසේ පැවසිම අවැසි වූයේ ප්‍රමාණය ඉක්මවා ලැබීම ජල ගැලීම් හා නායයෑම් වැනි විපත්වලට මගපෑදීමත් ප්‍රමාණාත්මකව නොලැබීම නියඟය හා වසංගත රෝග සඳහා දොර විවර කිරීමත් දෙකම සිදුවන්නේ එකම සාධකය වන වැසි ජලය හේතුවන නිසාවෙනි. ඉහත ප්‍රකාශ කළ ආකාරයට වැසි ජලය පිළිබඳ ‘ප්‍රමාණය’ රඳා පවතින්නේ අපගේ පූර්ව සූදානම මත පදනම්ව බව පැහැදිලිය.

කාලගුණික විපර්යාසවල හානිකර බලපෑම් අද දිනයේ සිදුවන ආකාරය ගෝලීයව මෙන් දේශීයව ද අත්දකින අතර, හෙට දවසේ අනිවාර්යෙන් සිදු වන බව පුරෝකථනය කර හමාරය. කාලගුණික විපර්යාස විෂය පථය තුළ නියඟය කවද්ද? කෙසේද? කුමන ප්‍රදේශයට ද? ගංවතුර කවදාද? කෙසේද? කුමන ප්‍රදේශයට ද? නායයෑම් කවදාද? කෙසේද? කුමන ප්‍රදේශයට ද? පුරෝකථනය කිරීම අභියෝගාත්මක වී ඇත. මේ සියලු ස්වාභාවික ආපදා ‘ජලය’ නමැති සාධකය කළමනාකරණය කර ගැනීමේ නොහැකියාව මත සිදු වූ බව තේරුම්ගත යුතු වෙයි. මෙම නොහැකියාව මිනිසුන්ගේ උගත්කම හෝ නූගත්කම මතම රඳාපවතින සාධකයක් පමණක් නොවන අතර, එය ප්‍රබල දේශපාලන සාධකයන් හා ආකල්පමය සාධක මත ඇතිවන ගැටලු බව විද්‍යමාන වෙයි. කුමන හෝ උපාය මාර්ගයක් තුළින් මෙම අව හෝ අධි ජල ප්‍රමාණයන් කළමනාකරණය කර ගත හැකිවේ නම් ජල ගැලීම්, නායයෑම්, නියඟය හා වසංගත වැනි උවදුරු ඇතුළු ජලය විෂවීම නිසා වැලඳෙතැයි සැක කරන වකුගඩු රෝගවලින් මිය යන, විනාශ වන ජීවිත හා දේපළ ප්‍රමාණය අඩු කරගත හැකි වනු ඇත.

අධික වර්ෂාව ඇති සමයේදී ගම්බිම් යටකර ගනිමින් ගංවතුර ගලන්නේ වැසි ජලය වරදින් නොවේ. වැසි රහිත කාලයේදී නියඟයේ බලපෑමට අප ලක්වන්නේ වැසි රහිත වීම නිසා නොවේ. එම නිසා මෙම ස්වාභාවික උවදුරු දෙකෙහිම වැස්සට චෝදනා කිරීම බැණ අඬගැසීම අප විසින් නොකළ යුතු වන්නේය. වාර්ෂික දල වර්ෂාපතනය (mean annual rainfall) මිලි මීටර් 2000 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා භූමියට ඊසාන දිග, නිරිත දිග හා සංවහන වැසි මඟින් ලැබෙන අතර ඒවා විවිධ ප්‍රමාණවලින් භාවිතයට ගැනීම හෝ විවිධ ස්වාභාවික සංතුලනයන්වලට භාජනය වනු ලබයි. එසේ මහපොළොවට වැටෙන මුළු වර්ෂාපතනයෙන් 78% ක් හා 50% ලෙස පිළිවෙළින් තෙත් හා වියළි කලාප තුළින් මුහුදට (runoff) ගලා යන බව සොයාගෙන තිබේ. තෙත් හා වියළි කලාප දෙකෙහිම මතුපිටින් මුහුදට ගලායන වැසිජල ප්‍රමාණය 64% තරම් ඉහළ අගයක් වීම කනගාටුදායක කරුණකි.

නායයෑම්වලට ගොදුරු වන බොහෝ නිවාස ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ මධ්‍යම කඳුකර තුළය. බෑවුම් සහිත භූමිවල ගෙපලක් කපා නිවාස ඉදි කිරීම අතමිට සරු නිසරු සියලු දෙනා අතින් සිදුවන ක්‍රියාවකි. නිවස ඉදිකළ අවසානයේදී වහලට වැටෙන සියලු ජලය තම නිවස අවට පවතින දුර්වල ජල අපවහන පද්ධතිය තුළදී පසට උරාගැනීම නිසා හෝ සෝදාපාළුව නිසාවෙන් නිවාසය අස්ථාවර වෙයි. සීමාව ඉක්ම වූ තැන නිවාස නායයෑමට ලක් වී රජයට මෙහි බරපැන දැරීමට සිදුවෙයි. නාය ගිය හෝ නායයෑමට අවදානමක් පවතින නිවාස සම්බන්ධව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධාන වාර්තාවල මෙම කාරණාව සටහන් වී පවතී. වහලයෙන් බිමට පතිත වන මෙම වැසි ජලය ක්‍රමානුකූලව එකතු කර ගත හැකි නම් තම නිවාස නායයෑමෙන් ආරක්ෂා කරගත හැකි සේම රජයට ඒ වෙනුවෙන් එක් නිවසක් සඳහා දරන ලක්ෂ 16කට ආසන්න මුදල් හා ලබා දෙන පර්චස් 10 කට ආසන්න භූමිය වඩා ඵලදායී දෙයකට යොදාගත හැකිය.

කඳුකරයේ හා කඳුකර නොවන බිම්වල ඉදිකළ නිවාසවල වහලයට ඇදවැටෙන වැසි ජලය ටැංකියකට එකතු කරගත හැකි නම් ප්‍රාදේශීය මට්ටමේ සිදුවන ජල ගැලීම්, කානු පද්ධති උතුරා යෑම් මෙන්ම ගංවතුර තර්ජනයන් ද යම් ප්‍රමාණයකට මැඬ පවත්වාගත හැකි වන්නේය. වැස්ස සමග මානව ක්‍රියාකාරකම් හේතුවෙන් නිරාවරණය වූ පොළොව මතුපිටින් ගලායන ජලය හේතුවෙන් විශාල වශයෙන් පාංශු ඛාදනය හා පස නිසරුවීම් සිදුවන බව නොරහසකි. එසේ සෝදා යන පස් ජලාශවල තැන්පත් වීම වර්තමානයේ මුහුණපාන විශාල ගැටලුවක් වී පවතී. ඒ ආකාරයට ප්‍රාදේශීය වශයෙන් හෝ සමාජයක් ලෙස තම වහලයට නොමිලයේ ඇද හැලෙන වැසි ජලය ඒකරාශි කරගැනීම තුළින් පාංශු ඛාදනය, පස නිසරු වීම, ජලාශ ගොඩවීම වැනි පාරිසරික ගැටලු විශාල ප්‍රමාණයක් වියදමකින් තොරව අවම කරගත හැකිවෙයි. දේශගුණික විපර්යාසවල බලපෑමට අනුව කෙටි කාලයක් තුළ කුඩා ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පාංශු ඛාදනයට අමතරව යටිතල පහසුකම්වලට ඇතිකරන්නේ ප්‍රබල බලපෑමකි. ජාතික ධනය වියදම් කරමින් සංවර්ධන කටයුතු ලෙස ඉදිකර ඇති ඇති බොහෝ යටිතල පහසුකම් අනපේක්ෂිත ජල ප්‍රවාහ හේතුවෙන් විනාශ වෙමින් පවතී.

මූලික අවශ්‍යතාවය සඳහා ජලය ප්‍රමාණවත් ලෙස නොලැබුණු කල්හි පානීය කටයුතුවලට, ගෙදරදොර කටයුතුවලට, සනීපාරක්ෂක කටයුතුවලට, ගෘහස්ථ මට්ටමින් සිදු කරන සත්ව පාලනයට, ගෙවතුවල කටයුතුවලට නිවාස අලංකාරයට වගා කරන විසිතුරු මල් වගාවට භාවිතා කළ හැකිවනු ඇත. ප්‍රමාණයෙන් වර්ග අඩි දහසක වර්ගඵලයක් සහිත වහලකට මි.මී. 100 වැස්සක් ඇද හැලුනහොත් ඝන මීටර් 10 ක ජලධාරිතාවක් ගබඩා කරගත හැකි වනු ඇතැයි ගණන් බලා තිබේ. එනම් ආසන්න වශයෙන් ජල ඒකක (යුනිට්) 10 ක් ලෙස දැක්විය හැක. මෙය සාමාන්‍ය පවුලක මාසික ජල අවශ්‍යතාවයට ආසන්නය. මේ තුළින් දැක්වෙන්නේ පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා වැසි ජලය ප්‍රමාණවත් ලෙස යොදාගත හැකි බවත් මාසිකව ජල බිල්පත අඩුකරගත හැකි මාවතක් පිළිබඳව අවබෝධ කරගත යුතුවේ. එසේ තම පුද්ගලික අවශ්‍යතාව සපුරා ගතහැකි අතර, ජාතික ජල ගැටලුව ජල සම්පාදනයට රජය දරන වැයබරට මහජනයාට දායක විය හැකි බවයි.

ඊට අමතරව ලංකාවේ වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල ඔඩුදුවා ඇති වකුගඩු රෝගයට (CKD) මූලික හේතුවක් ලෙස සැක කෙරෙනුයේ භූගත ජලයේ, වැව් ජලයේ හෝ ජල සම්පාදනය ක්‍රමයක් තුළින් සැපයෙන ජලයේ ඇති රසායනික ද්‍රව්‍ය බව අනුමාන කර ඇත. එවැනි රසායනික ද්‍රව්‍ය සහිත ජලය වසර ගණනාවක් පානයට ගැනීම තුළින් රෝගීවන ප්‍රජාව සඳහා රජය දරන වියදම හා රෝගීන් වන ප්‍රජාවට රටේ සංවර්ධනයට දායක වීමට නොහැකියාව ජාතියක් ලෙස බරපතල සංවර්ධනයට නිෂේධනාත්මක සාධකයකි. විද්‍යාත්මකව තහවුරු නොකළ ද වැසි ජල පානය කිරීම තුළින් තම රෝගී තත්ත්වයේ යම්කිසි පාලනයක් ඇති වී පවතින බව රෝගීන් ප්‍රකාශ කරයි. වැසි ජලය අවශ්‍ය ප්‍රමාණයට පිරිපහදු කර භාවිතා කළ හැකි නම් ඉහත සඳහන් රෝගී තත්ත්වයන්ට හා ඒවා වෙනුවෙන් රජය දරන වියදම අවම කරගැනීමට හැකිවනු ඇත.

වර්තමානයේ අත්දකින කාලගුණික විපර්යාස සහ මදුරුවන්ගෙන් පැතිරෙන රෝගාබාධ අතර අනුලෝම සබඳතාවක් ඇති බව සොයාගත හැක. නූතන ජල චක්‍රය හා ගෝලීය උණුසුමට අනුව මදුරුවන් අභිජනනය වී පැතිරීමට සුදුසු ප්‍රායෝගික පසුබිමක් නිර්මාණය වීම ඊට මූලික කාරණාවයි. නිවාස වහල තුළට ඇදහැලෙන වර්ෂා ජලය අපතේ නොහැර එකතු කිරීම තුළින් නිරතුරු පරිසරයේ එකතුවන මදුරුවන් අභිජනනය වීමට සුදුසු පරිසර තත්ත්වයක් නිර්මාණය වීම අවම කරගත හැකිවනු ඇත. ඒ තුළින් ජීවිත හානි රෝග ප්‍රතිකාර සඳහා පුද්ගලික වියදම හා රජයේ වියදම සැලකියයුතු මට්ටමින් පාලනය කරගත හැකිවනු ඇත.

වැසි ජලය කළමනාකරණය තුළින් නොඑසේ නම් භාවිතා කිරීම තුළින් මේසා ප්‍රමාණ, පාරිසරික වාසි, ආර්ථික වාසි, සමාජීය වාසි, ජාතික ධනය සුරක්ෂිත කරගැනීමේ වාසි, ආපදා අවදානම අවම කර ගැනීමට ඇති හැකියාව සියල්ලම ධනාත්මකව කියවිය හැකිව තිබියදී සමස්ත සමාජය එසේ කියවන්නේ නැත්තේ ඇයිදැයි විමසා බැලිය යුතුවෙයි. ඊට අමතර වැසි ජලය එක් රැස් කර තබා ගැනීම සඳහා රජයේ වියදමින් හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය යටතේ ඉදිකර ඇති වැසි ජල ටැංකි භාවිතයට දක්වන නැමියාව අඩුවීමට හේතුව විමසා බලා ඊට විසඳුම් සොයා බැලිය යුතු වන්නේය.

උදාහරණයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කය පමණක් සැලකූ විට එහි මාසික දළ වර්ෂාපතනය වසර 05 ක් තිස්සේ සංසන්දනය කර බැලු කල මාසික වර්ෂාපතනයේ හා වාර්ෂික වර්ෂාපතන රිද්මයේ සැලකිය යුතු කාලීන වෙනසක් සිදුවී ඇති බව පෙනේ. එය ගෝලීය දේශගුණික විපර්යාසවල බලපෑමකි. ඒ අනුව ප්‍රතිඵලය ඉදිරියේ ඇතිවන දැඩි නියඟය අධික වැසිරීම වැනි ආන්තික කාලගුණික අත්දැකීම් බව ඉතා පැහැදිලිය. වැසි ජලය එක් රැස් කර භාවිතයට උනන්දු කරවන්නේ ගැටලුවට විසඳුමක් වශයෙනි.

මූලාශ්‍ර; කා.වි.දෙ

ඉහළ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ද දැඩි නියං තත්ත්වයන් වාර්තා වන අතර එම කාලයේ දී එම ප්‍රදේශවලට රජයේ වියදමින් ජලය බෙදා හැරීමට සිදුවේ. එනමුත් වැසිජල භාවිතා කිරීම හෝ බීම පිළිබඳව කඳුකරයේ ජනතාව සමාජීය වශයෙන් දරනු ලබන්නේ ඉතාමත් පසුගාමී ආකල්පයකි. සමාජය තුළ මුල්බැසගත් ආකල්පය යහපත් ලෙස හසුරුවා ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවිය යුතු අතර ඒ සඳහා දේශපාලනික හා රාජ්‍ය නිලධාරීන් තම ආකල්ප වෙනස් කර ගත යුතු වන්නේය. රාජ්‍ය නිලධාරීන් මෙම සංකල්පය අවශෝෂණය කරගන්නේ නම් මහජන නියෝජිතයන් මේ සඳහා අවනත කරගැනීම අපහසු නොවනු ඇත. වැසි ජලය නිවැරදිව පිරිපහදු කිරීමේ ඕනෑතරම් ක්‍රමවේද මේ වන විට සොයාගෙන ඇත. එසේ පිරිපහදු කළ වැසි ජලයේ ගුණාත්මය සම්බන්ධ සහතික ද ඇති බැවින් පානීය ජල හිඟය සඳහා ඉතා හොඳ විසඳුමක් ලෙස වැසි ජලය හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලාංකික ජන සමාජ තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම අභියෝගයක් ලෙස අප ඉදිරිපිට පවතී.

මූලික ලෙස ඉදිරියේදී ඉදිවන සෑම නිවාසයකම සැලසුම තුළ වැසිජල රැස්කරන පද්ධතියක් අනිවාර්ය කිරීම හා ඉදි කිරීමේදී පළාත් පාලන ආයතන මගින් අධීක්ෂණය කර අනුකූලතා සහතිකය ලබා දීමේදී එය මූලික සාධකයක් ලෙස සලකා බැලීම තුළින් මෙම ප්‍රතිපත්තිය පහසුවෙන් ක්‍රියාත්මක තලයට පත් කළ හැක. ඒ සමගම රජයේ ඉදිවන සියලු ගොඩනැගිලිවලට වැසිජල පද්ධති අනිවාර්ය අංගයක් ලෙස එක් කිරීම (පාසල්, රෝහල්, කර්මාන්තශාලා, මහල් නිවාස සංකීර්ණ, වෙළඳ සංකීර්ණ, ආපදා හේතුවෙන් නැවත පදිංචි කිරීමේ නව නිවාස ව්‍යාපෘති) තුළින් මෙම සංකල්පය කෙටිකාලයක් තුල සමාජගත කිරීම කෙටි මාර්ගයක් ලෙස දැක්විය හැක. දැනටමත් නාගරික සංවර්ධන පනතට අනුව එම ප්‍රදේශවල ඉදිකරන සියලුම නිවාසවලට වැසි ජල ටැංකි පැවතීම අනිවාර්යය කර ඇති නමුත් නිවැරදි අධීක්ෂණයක් නොමැතිකමින් එය යථාර්ථයක් වී නැත.

සාමාන්‍යයෙන් වැසි ජල ටැංකියක් සාදා නිම කර ගැනීම සදහා වර්තමාන වියදම එක් ලක්ෂ පනස්දාහක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබෙන තොරතුරුවලට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් භාවිතයට නොගෙන අත්හැර දමා ඇති වැසි ජල ටැංකි ප්‍රමාණය අවම වශයෙන් පන්සීයක් පමණ වේ. ඒ අනුව බලන විට එහි මූල්‍ය වටිනාකම කෝටි හත ඉක්ම වූ භෞතික සම්පතක් අවභාවිතයට ලක්වී ඇත. වර්තමාන අභියෝග හමුවේ සැබැවින්ම එය අපරාධයකි නාස්තියකි.

ක්‍රි.ව. 286 දී මහසෙන් රජතුමා මින්නේරිය නදිය හරස් කොට ඉදිකළ ජලාශය වැසි ජලයේ පෝෂණය ලබමින් තවමත් කුඹුරු අක්කර දස දහස් ගණනක් අස්වැද්දීමට ජලය සපයමින් පවතී. එකල ජනයා මහසෙන් රජතුමා මින්නේරිය දෙවියන් ලෙස නම් කිරීමට තරම් කෘතවේදී විය. වැසි ජලය කළමනාකරණයට ඉතිහාසයේ සිට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් රජවරුන් දෙවිවරුන් සේ පුදන්නට යෙදුනේ නම් මින්නේරිය පරපුරේ කෘතවේදී ජනතාව අප සමාජය තුළ තවමත් සිටින බව අමතක කළ යුතු නොවේ.

අප රටේ ජාතික ප්‍රතිපත්තිය ඕනෑ තරම් තිබුණ ද ඒවා බිම් මට්ටමේදී ක්‍රියාත්මක කරන නිලධාරීන් දක්වන උනන්දුව හා ඔවුන්ගේ ආකල්ප රට සංවර්ධනයේදී අභියෝගාත්මක වී ඇති ආකාරයටම මෙහිදී ද එම බලපෑම ඇත. වත්මන් ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තිය වන “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ශ්‍රී ලංකා වැඩසටහන තුළින් රාජ්‍ය නිලධාරීන්ගේ ද ආකල්පමය වෙනසක් ඇති කිරීම හරහා මෙම වැඩසටහන දියත් කිරීම අනාගත අවදානම අවම කර ගත හැකි ඉතාම වැදගත් උපාය මාර්ගයක් බව පැහැදිලිය. එහි සඳහන් වන ජල මූලාශ්‍ර සංරක්ෂණය, විකල්පයක් බලශක්තිත් ප්‍රභවයන් හඳුනා ගැනීම වැනි ජාතික කාරණා සමග ඒකාත්මික වීමට ඉතාම සුදුසු යෝජනාවකි.

ඊ.එම්.එල්. උදය කුමාර,
නියෝජ්‍ය අධ්‍යක්ෂක,
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය.


advertistmentadvertistment