ආර්ථික ප්‍රතිසංස්කරණවල බර අදින සාමාන්‍ය ජනයා

171

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශය (2024) ඉකුත් ජනවාරි 10 වැනිදා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉදිරිපත් කළේය. මහ බැංකු මූලස්ථානයේ දී පැවැති එම අවස්ථාවට රටේ බැංකු සහ මූල්‍ය අංශවල ප්‍රධානීන් රැසක් ද, මූල්‍ය සහ ආර්ථික කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන් මෙන්ම මහ බැංකුවේ උසස් නිලධාරීන් ද සහභාගි වී සිටියහ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය වර්තමාන සහ අපේක්ෂිත ආර්ථික තත්ත්වයන් මත පදනම්ව ඉදිරිපත් කළ අතර එය ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, ආර්ථික ඉදිරි දැක්ම සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට බලපෑ හැකි පවතින ආර්ථික තත්ත්වයන්ගේ අනපේක්ෂිත ප්‍රවණතා හේතුවෙන් දැනට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති සුදුසු පරිදි වෙනස් කිරීමට සිදු විය හැකි බවයි. මේ අනුව රටේ ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම මූල්‍ය සහ ආර්ථික අංශවල පාර්ශ්වයන්ට රටේ ඉදිරියට ක්‍රියාත්මක වීමට නියමිත මූල්‍ය ප්‍රතිපත්ති ගැන පෙර දැක්මක් ඇති කර ගැනීමට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉවහල් වේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

ආර්ථික ප්‍රතිසංස්කරණවල බර අදින සාමාන්‍ය ජනයා

‘පසුගිය වසර කිහිපය තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකයට සහ එහි ජනතාවට මුහුණ දීමට සිදු වූ අභියෝග නිදහසින් පසු ඉතිහාසයේ අත් විඳීමට සිදු වූ වඩාත් ම දුෂ්කර අභියෝග විය. කිසියම් දුරකට සැලකිය යුතු මට්ටමේ සමාජ-ආර්ථික පිරිවැයක් නිර්මාණය කරමින් වුවද, මේ දක්වා ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මගින් ස්ථායීතාව නැවත තහවුරු කිරීම සඳහා සහාය සැලසී ඇත. ශ්‍රී ලංකා ආර්ථිකයේ කෙටිකාලීන සහ මැදිකාලීන යථා තත්ත්වයට පත්වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගත් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ මාලාව සාර්ථකව අඛණ්ඩව ක්‍රියාවට නැංවීම මත රඳා පවතී. මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කරන අතර ම, රාජ්‍ය මූල්‍ය අංශයේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සහ බාහිර අංශයේ ස්වාරක්ෂක ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන විශ්වසනීය පියවර මෙයට ඇතුළත් වේ. තවද, ආර්ථිකය තිරසාර ලෙස යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සඳහා යහපාලනය වැඩි දියුණු කිරීම මෙන්ම, සමාජ සුබසාධනය සඳහා සහාය සැලසීම ද ඉතා වැදගත් වේ. ආර්ථික අර්බුදයෙන් පසුව දක්නට ලැබුණු ඍනාත්මක බලපෑම් යහපත් අතට පරිවර්තනය කර ගැනීම සඳහා ඉවහල් වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. මිල ස්ථායීතාව නැවත ස්ථාපිත කිරීම, විදේශ ස්වාරක්ෂක නැවත ගොඩ නැගීම, මූලය පද්ධති ස්ථාවරත්වය සහතික කිරීම, රාජ්‍ය ආදායම් වැඩි දියුණු කිරීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ශක්තිමත් කිරීම, දරිද්‍රතාවයෙන් පෙළෙන හා අවදානමට ලක්වූ කාණ්ඩවලට සහාය සැලසීම මෙන්ම, යහපාලනය වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග යනාදිය මේ දක්වා සාක්ෂාත් කරගෙන ඇති කැපී පෙනෙන ජයග්‍රහණ වේ. ආර්ථිකය පිළිබඳ විශ්වාසය යළි තහවුරු කිරීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම පිළිබඳව නැවත නැවතත් ගෝලීය බහුපාර්ශ්වික ආයතන වෙත අවධාරණය කිරීම තුළින් මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි විය. එහෙයින්, දැනට කරගෙන යනු ලබන ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අප්‍රතිහත කැපවීම මත ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය අඛණ්ඩව පවත්වා ගැනීම රඳා පවතී. මෙම පසුබිම යටතේ, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ දක්වා ඇති පරිදි, කම්පනවලට ඔරොත්තු දිය හැකි අන්දමේ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා සහාය සලසමින්, දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම හා පවත්වා ගැනීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සුරක්ෂිත කිරීම යන අරමුණු ඉටුකර ගැනීම සඳහා වන සිය කැපවීම හරහා වඩාත් හිතකර සාර්ව ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීමට මහ බැංකුව අඛණ්ඩව කටයුතු කරනු ඇත.’

ආර්ථික ප්‍රතිසංස්කරණවල බර අදින සාමාන්‍ය ජනයා

මෙහිදී මහ බැංකු අධිපතිවරයා කියන්නේ මේ දක්වා ක්‍රියාවට නැංවූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මගින් ආර්ථිකයේ ස්ථායීතාව නැවත තහවුරු කිරීම සඳහා සහාය සැලසී ඇති බවයි. එහෙත් ඒ සඳහා සැලකිය යුතු මට්ටමේ සමාජ-ආර්ථික පිරිවැයක් ද දැරීමට ද සිදුව ඇත. එනම් උදාහරණයක් වශයෙන් බදු වැඩි කිරීම් හරහා රජයේ ආදායම් වර්ධනය වීම රාජ්‍ය ආදායම පැත්තෙන් හොඳ වුවත් එහි බර දැරීමට සිදුව ඇත්තේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයාට ය. මෙහිදී රජය සෘජු බදු වැඩි කිරීමට වඩා වැට් වැනි වක්‍ර බදු හරහා රාජ්‍ය ආදායම් වැඩි කිරීමට යොමු වීම හරහා සාපේක්ෂව ඉහළ ආදායම් ලබන අයට වඩා අඩු ආදායම් ලබන රටේ බහුතර පිරිසක් වෙත වැඩි බරක් පටවා ඇති අතර එම බර ඉකුත් ජනවාරි 01 වැනිදා සිට තවත් උග්‍ර තත්ත්වයට පත්ව ඇත. මේ කාරණය විදුලි ගාස්තු වැඩි කිරීම සහ තෙල් මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් ද මේ ආකාරයටම පෙන්වා දිය හැකිය. මේ අනුව කිව යුතු වන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම අතින් ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කරගෙන ඇති බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මහ බැංකු අධිපතිවරයා කීවත්, එම ප්‍රතිසංස්කරණ මීට වඩා සාමාන්‍ය ජනයාට අඩු බදු බරක් පැටවෙන පරිදි වඩාත් සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීමේ ද හැකියාවක් පවතින බවයි. එසේ නොකර ලේසියට වැට් බද්ද අලුත් භාණ්ඩ රැසක් සඳහා ද සියයට 0 සිට සියයට 18 දක්වා අලුතින්ම පැනවීමෙන් ජනයාට එම භාණ්ඩ මත විශාල මිල පීඩනයකට මුහුණ දීමට සිදුව ඇත. මෙය සංචාරක කර්මාන්තය මත ද අහිතකර බලපෑම් දැනටමත් එල්ල කර ඇත. මේ නිසා රටේ පැවති තත්ත්වයට සාපේක්ෂව ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීමට අප සමත්ව ඇති බව සත්‍යයක් වන නමුත් එහිදී රජය එම ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති ආකාරය අනුව සිදුව ඇත්තේ මේ වන විට සාමාන්‍ය බහුතර ජනයාට ජීවත් වීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වීමයි. එම විශාල මහජන පීඩනය අද සෑම කෙනෙක්ම පාහේ බරපතල ලෙස අත්විඳිමින් සිටින අතර මේ බරපතල ආර්ථික අර්බුදය නිර්මාණය කිරීමට වගකිවයුත්තන් නම් වෙනදාටත් වඩා සැපෙන් සහ ආරක්ෂිතව සිටින බව පෙනෙන්නට තිබේ. ඒ සම්බන්ධයෙන් නම් සාමාන්‍ය ජනයාට ඇත්තේ බලවත් වෛරයක් සහ කේන්තියකි. මෙය මැතිවරණ වර්ෂයක් බව ජනපතිවරයාම කියා ඇත. ඒ නිසා මේ වන විට දේශපාලනය වහ කදුරු වී ඇති ජනයා, එකී මහජන පීඩනය ඉදිරි මැතිවරණ හරහා පිට කරනු ඇතැයි ද සිතිය හැකිය. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වුව ද මේ ආණ්ඩුව මෙන්ම ඉදිරියට පත්වෙන කවර රජයක් වුවද මේ සාමාන්‍ය බහුතර ජනයා මත අසාධාරණ ලෙස පටවා ඇති මේ අධික බදු බර සමනය කර, එම බදු බර සෘජු බදු හරහා ක්‍රමිකව බදු ගෙවීමට හැකියාව සහ ශක්තිය ඇති අය මත මෙන්ම බදු පැහැර හරින අය මත පැටවීමට ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය දෙයක් වනු ඇත. එහෙයින්, දැනට කරගෙන යනු ලබන ප්‍රතිසංස්කරණ ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් මේ ගැන දැඩිව අවධානය යොමු කළ යුතු බව අපි සාමාන්‍ය ජනයාගේ පැත්තෙන් කියා සිටිමු.

2024 සහ ඉදිරිය සඳහා මුදල් ප්‍රතිපත්ති උපායමාර්ග ගැන ද මහ බැංකු අධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වේ. මේ අනුව මුදල් ප්‍රතිපත්ති උපායමාර්ගය සහ ස්ථාවරය ගැන එහි සඳහන් වන්නේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවට අනුකූලව දේශීය මිල ස්ථායීතාව පවත්වා ගැනීමේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අඛණ්ඩව යොමු කෙරෙනු ඇති බවයි. එම ක්‍රියාමාර්ග ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටම කරා ළඟා වීමට පහසුකම් සලසනු ඇත. මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුම යටතේ රජය සමඟ එකඟ වී ඇති පරිදි කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය සියයට 5 ක මට්ටමේ පවත්වා ගැනීම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ඉලක්කය වී ඇත. කෙසේ වෙතත් 2024 ජනවාරි 01 වැනිදා සිට සියයට 18 දක්වා වැඩි කළ වැට් බදු නිසා මේ මාසයේ උද්ධමනය ඉහළ යනු ඇත. එසේම රජයේ පරිපාලන ක්‍රියාමාර්ග හමුවේ උද්ධමනය සඳහා ඉදිරියේ දී සැපයුම් අංශයේ පීඩනයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් මෙවැනි කෙටිකාලීන සැපයුම් බලපෑම් සඳහා මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල වෙනසක් අවශ්‍ය නොවන බව ද මහ බැංකුව කියයි. කෙසේ වෙතත් උද්ධමන ඉදිරි දැක්මට බලපෑම් ඇති විය හැකි ආර්ථික ප්‍රවණතා ගැන අවධානයෙන් සිට දේශීය මිල ස්ථායිතාව සහතික කිරීම සඳහා සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැනීමට ද මහ බැංකුව සූදානමින් සිටී. 2022 වසරේ දී උද්ධමනය සියයට 70 ඉක්මවා පාලනය කර ගැනීමට අපහසු අයුරින් වැඩි වූ බව අපට මතකය. මේ වන විට එම උද්ධමනය සැලකිය යුතු මට්ටමකට අඩු කරගෙන ඇති අතර, මේ වසරේ දී සියයට 5 කට වඩා අඩු මට්ටමේ පවත්වාගෙන යෑම මහ බැංකුවේ අරමුණ වී ඇත. එහෙත් මේ කියන්නේ විශාල වශයෙන් පසුගිය කාලයේ වැඩි වූ බඩු මිල අඩුවෙන බව නම් නොවේ. ඒ වෙනුවට සිදුවන්නේ බදු මිල වැඩිවෙන වේගය සැලකිය යුතු ලෙස අඩු කරගෙන එය අඩු මට්ටමක ස්ථාවර කර ගැනීමට හැකි වීමයි. ඒ නිසා මේ අධික ජීවන බරට හැඩ ගැසී ජීවත් වීමට ජනයාට සිදුවෙනු ඇත. හැකි සෑම කෙනෙක්ම පාහේ අතිරේකව ආදායම් උපයා ගත හැකි කිසියම් ආර්ථික කටයුත්තක නිරත වීමට ද උත්සාහ ගැනීම ද සුදුසු ය. නැතහොත් මේ අධික බදුබරට සහ බඩු මිලට මුහුණ දීම විශාල අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ශ්‍රී ලංකා මහ බැංකු පනතෙන් නියම කර ඇති පරිදි 2023 වසර අවසාන කාලයේදී ‘සම්බන්ධීකරණ සභාව’ පිහිටුවා ඇත. එමගින් රජයේ සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති එකිනෙකට බලපාන ආකාරය පිළිබඳ සවිස්තරාත්මකව සාකච්ඡා කිරීම සඳහා පහසුකම් සලසන ලදී. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ මහ බැංකුවේ මුදල් හා මූල්‍ය ස්ථායීතා ප්‍රතිපත්ති අතර මනා සම්බන්ධීකරණයක් සහතික කිරීම සඳහා සම්බන්ධීකරණ සභාව කාර්තුමය වශයෙන් රැස් වීමට නියමිත ය. උද්ධමනය, මුදල් තත්ත්ව සහ රාජ්‍ය මූල්‍ය මෙහෙයුම් කෙරෙහි රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල බලපෑම පිළිබඳ විවරණයක් සමගින් මෑතකාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා, ඉදිරි දැක්ම සහ අවදානම් පිළිබඳ තොරතුරු සහ අදහස් හුවමාරු කර ගැනීම මහ බැංකුව විසින් මෙහිදී සිදු කරනු ලබයි. සාමාන්‍යයෙන් මහ බැංකුවේ ඉල්ලුම් කළමනාකරණ ප්‍රතිපත්ති මගින් පිළියම් යෙදීමට අපහසු සැපයුම් අංශයේ සාධක සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් උද්ධමනය වෙත බලපෑම් ඇති විය හැකි බැවින් නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් තුළ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය වැදගත් බව මහ බැංකුවේ අදහස වේ.

එවැනි විටක උද්ධමනය, රජය සහ මහ බැංකුව ඒකාබද්ධව එකඟ වී ඇති උද්ධමන ඉලක්කයට වඩා වෙනස් විය හැකි වේ. එය අහිතකර උද්ධමන අපේක්ෂා ඇති වීමට හේතුවකි. මේ නිසා රජය සහ මහ බැංකුව අතර ප්‍රතිපත්ති සම්බන්ධීකරණය එවනි අවස්ථාවල වැදගත් වන අතර එය එම අහිතකර බලපෑම් කළමනාකරණය කිරීමට ද උපකාරී වනු ඇත. තවද, මහ බැංකුවේ තීරණ ගැනීමේ මණ්ඩලවල රාජ්‍ය නියෝජනයක් නොමැති අවස්ථාවක, ප්‍රධාන සාර්ව ආර්ථික තොරතුරු සහ ප්‍රතිපත්ති තීරණ නිසි කාලරාමුවක් තුළ හුවමාරු කිරීම හරහා මෙම යාන්ත්‍රණය මගින් රට තුළ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ස්ථාවරභාවය ඉහළ නැංවීමට බලධාරීන් අපේක්ෂා කරයි.

නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ මූලිකාංගයක් වන්නේ සාමානය ජනතාව ඇතුළු ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් වෙත ප්‍රතිපත්ති සන්නිවේදනය වැඩි දියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. උද්ධමනයේ හා මූර්ත ආර්ථික වර්ධනයේ ඉදිරි දැක්ම සහ ඒ ආශ්‍රිත අවදානම් පිළිබඳ මහජනතාව මනාව දැනුම්වත් කිරීම සඳහා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති වාර්තාව වසරකට දෙවතාවක් අඛණ්ඩව ප්‍රකාශයට පත් කරයි. එමගින් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල විනිවිදභාවය සහ විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. සාමාන්‍යයෙන් මහ බැංකුව මුලින්ම නිකුත් කරන්නේ ඉංග්‍රීසි වාර්තාව වන අතර සිංහල වාර්තාව ඇතැම් විට නිකුත් කිරීමට ප්‍රමාද වේ. මේ නිසා අප මහ බැංකුවට කියන්නේ මේ රටේ බහුතර ජනතාවට මේ තොරතුරු සිංහල මාධ්‍යයෙන් ද අප්‍රමාදව නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි. ඒ නිසා එම ප්‍රමාදය හැකිතාක් අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ද අපි ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment