විදුලිබල පුද්ගලික සමාගමේ හිටපු සභාපති ඇතුළු 5 දෙනා නිදොස් කොට නිදහස්

46

වෙනත් පාර්ශ්වයක් සමඟ අත්සන් කළ ගිවිසුමක් මගින් රජයට රුපියල් ලක්ෂ 39කට අධික පාඩුවක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා 12ක් යටතේ පවරා තිබූ නඩුවකින් සීමාසහිත ලංකා විදුලිබල පුද්ගලික සමාගමේ හිටපු සභාපති චම්පානි පද්මසේකර ඇතුළු විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග කළේය.

පැමිණිල්ලේ සාක්‍ෂි අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්‍ෂි කැඳවා නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් වී නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා, චම්පානි පද්මසේකර, නෙවිල් ප්‍රසන්න පෙරේරා, මේ වනවිට මියගොස් ඇති තුන්වන විත්තිකාර දේශප්‍රිය විමලකීර්ති අමුණුගම, විමල් පෙරේරා සහ ආරියතිලක සෙනෙවිරත්න යන විත්තිකරුවන් පස්දෙනා එලෙස සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් සිය නියෝගය නිකුත් කළේය.

2000.11.01 සහ 2007.05.01 කාලය තුළදී එකී වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි. නඩු විභාගයේදී ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි, ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න යන මහත්වරුන් දීර්ඝ ලෙස කරුණු දක්වමින් කළ ඉල්ලීම් සලකා බැලූ විනිසුරුවරයා, එම නියෝගය කළේය. නීතිඥ උදාර මුහන්දිරම්ගේ, මෙනුක ප්‍රේමචන්ද්‍ර, සසඳ ගමගේ හා නීතිඥ අමල් බණ්ඩාර යන මහත්වරු ද විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment