විල්පත්තුව මැදින් තවත් පාරවල් එපා….

43

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන්ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට සමාන අයිතිය හිමි ස්වාභාවික පද්ධතියක් මිස පක්ෂ දේශපාලනික අරමුණු හෝ ජාතිවාදී අරමුණු මත පදනම් වූ වනාන්තර පද්ධතියක් ලෙස සැලකීම පළමුව අත්හල යුතු ය. එවිට විල්පත්තු වනාන්තර පද්ධතිය මගින් පෝෂණය කරන දිය දහරාවන් කෘෂිකර්මාන්තය ගොඩනැඟීමට ලබා දෙන දායකත්වය, අලි – ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාවට වාසස්ථාන සැපයීම මගින් ගොවි ජනතාවගේ වගා බිම්වලට ලබා දෙන ආරක්ෂාව, ඊසාන දිග මෝසම් සුළං මගින් රට තුළට රැගෙන එන වළාකුළුවල ජලය පොළොවට ඇද ගැනීමේ යාන්ත්‍රණය හා එම වැසි ජලය ක්‍රමාණුකූලව රඳවා ගැනීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සහ ඒ තුළින් සමස්ත පරිසර පද්ධතියේ තුළිත යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය අපට අවබෝධ වනු ඇත.

විල්පත්තුව මැදින් තවත් පාරවල් එපා….

නමුත් මේ පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා රිශාඩ් බදුර්දීන් ඇතුළු පිරිස විසින් 2010 වසරේ දී විල්පත්තු වනාන්තර පද්ධතියේ තුළිත පැවැත්ම පළමුව බිඳ දැමීම ආරම්භ කෙරිණ. ඔවුන් විසින් හමුදාව මෙහෙයවමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වෙරළ සීමාවේ හා ඒ ආශ්‍රිතව කිලෝමීටර් 38 ක් බැගින් දිගු මාර්ග දෙකක් ඉදි කර විල්පත්තු වන විනාශය ආරම්භ කළේය. ඉන් පසුව විල්පත්තු උතුරු අභය භූමියේ ජනතාව පදිංචි කෙරිණ. ඉන් අනතුරුව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල් ආරු වනාන්තර ප්‍රදේශය මහ පරිමාණයෙන් එළිකර ජනතාව පදිංචි කිරීම ආරම්භ කෙරිණ.

විල්පත්තුව මැදින් තවත් පාරවල් එපා….

මේ අතරතුර විල්පත්තු ජාතික වනෝද්‍යානයට නැගෙනහිරින් පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන ඇතුළු වනාන්තර හා වගා බිම් ප්‍රදේශයේ අක්කර 15000 ක් පමණ එළිපෙහෙළි කර පහළ මල්වතුඔය වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ සියල්ලම විල්පත්තු වනාන්තර පද්ධතියේ පැවැත්මට අහිතකර බලපෑම් එල්ල කරන ක්‍රියාවලීන් වේ.

මේ අතුරින් ආරක්ෂිත වනාන්තර විනාශ කර මාර්ග ඉදි කිරීමට හා ජනතාව පදිංචි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එම ක්‍රියාවලීන් නතර කර තිබිය දී පසුගිය වසරේ ජූලි මාසයේ දී මැතිවරණ ඉලක්ක කර ගෙන රට තුළ ජාතිවාදී අරගල ඇති කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණ මත විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍රකර ගෙන ගැටලු නිර්මාණය කිරීමට ඇතැම් පෙරමුණු සූදානම් විය.

ඔවුන් ගේ සැලැසුම වූයේ 2010 වසරේ දී හමුදාව විසින් නීති විරෝධීව බලහත්කාරයෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළින් කිලෝමීටර් 38 ක් විහිදෙන පරිදි සකස් කළ නමුත් අධිකරණය විසින් පොදු භාවිතය සඳහා තහනම් කළ මාර්ගය විවෘත කර ගැනීම සඳහා බලපෑම් කිරීම ය. ඒ සඳහා 2024 ජූලි මස 07 වන ඉරිදා පුද්ගලයන් 300 ක ගෙන් පමණ සමන්විත පිරිසක් ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී තහනම් කළ මාර්ගය භාවිත කිරීමට සූදානම් විය. නමුත් එම ක්‍රියාවලිය අප ගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි විය.

නමුත් විමතියට කරුණ වන්නේ මේ සියල්ල ඉතා හොඳින් දන්නා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව නැවත වරක් විල්පත්තු මාර්ගය විවෘත කරන බවට ප්‍රකාශ නිකුත් කිරීම ය. “මොළය ඇති විට බලය නැහැ, බලය ඇති විට මොළය නැහැ” යන ජනවහරේ පවතින ප්‍රකාශය සිහි ගන්වන ඔවුන්ගේ ප්‍රකාශ මගින් පෙනී යන්නේ විල්පත්තු මාර්ග ඉදිකිරීම හා සම්බන්ධ අනෙක් ප්‍රශ්න ජාලය පිළිබඳව නිවැරදි අවබෝධයක් මොවුන් දෙපළටම නොමැති බව ය. වනාන්තර පද්ධති දෙකඩ කරමින් මාර්ග ඉදිකිරීම හේතුවෙන් ඇති වන ජෛව විවිධත්ව හායනය මෙන්ම අලි – මිනිස් ගැටුම වර්ධනය වීම වැනි පාලනය කළ නොහැකි තත්ත්වයන් වර්ධනය වීම මෙන්ම මේ වන විට ක්‍රියාත්මක කරන පහළ මල්වතුඔය වාරි ව්‍යාපෘතිය හේතුවෙන් වාසස්ථාන අහිමිවන අලි – ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාවට වාසස්ථාන සුරක්ෂිත කිරීම සඳහා විල්පත්තු වනාන්තර පද්ධතිය සුරක්ෂිත කර අලි – මිනිස් ගැටුම මෙන්ම වගා බිම්වලට වන සතුන්ගෙන් වන හානි අවම කිරීම සඳහා උපායමාර්ග සකස් කිරීම වෙනුවට එම තත්ත්වයන් තවත් සංකීර්ණ මට්ටමකට වර්ධනය වන තීන්දු තීරණ ගැනීම යනු ඉතාම අමනෝඥ ක්‍රියාවකි.

විල්පත්තුව තුළින් මාර්ගයක් අවශ්‍ය ද?

අධිකරණය විසින් විල්පත්තුව හරහා අලුතින් ඉදිකරන ලද මාර්ගය භාවිත කිරීම තහනම් කර ඇත්තේ නීති විරෝධීව ඉදිකරන ලද මාර්ගයක් වීම හා ඒ තුළින් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පැවැත්මට හානි කර බලපෑම් ඇති විය හැකි බව සඳහන් කරමිනි. මෙම අධිකරණ නියෝග උල්ලංඝනය කරමින්, අධිකරණය හෑල්ලුවට ලක් කරමින්, නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කිරීමට කිසිවකුට කටයුතු කළ නොහැක.

අවතැන් කළ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානය හා සම්බන්ධ වනාන්තර පද්ධති විනාශ කිරීම නතර කර එම ජනතාවගේ පාරම්පරික භූමිය නැවත එම ජනතාවට ලබා දීමට බලපෑම් නොකර මේ ආකාරයෙන් වනෝද්‍යානයට හානි කර බලපෑම් ඇති වන නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට වගකිවයුතු දේශපාලනඥයන් කටයුතු කිරීම ඉතාම ගැටලු සහගත ය. එයින් පෙනී යන්නේ ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ අයිතිවාසිකම් අහිමි වූ ජනතාව ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම නොව පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ලංකාවේ පැරණිතම හා සුවිශේෂීම ජාතික වනෝද්‍යානයක් හා ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් රැම්සාර් තෙත් බිමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති විල්පත්තු ජාතික වනෝද්‍යානය විනාශ කිරීමට සැලැසුම් සකස් කිරීම ය.

සත්‍ය වශයෙන්ම විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළින් මාර්ගයක් සකස් කිරීම අත්‍යවශ්‍ය ද යන්න පළමු ව විමසා බැලිය යුතු ය. පුත්තලම සිට මන්නාරමට විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළින් සකස් කර ඇති මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 120 කි. එම මාර්ගය පුත්තලම, එළුවන්කුලම, මොල්ලිකුලම, සිලාවතුර හරහා මන්නාරම දක්වා විහි දී ඇත. දැනට භාවිත වන පුත්තලම සිට මන්නාරම දක්වා වන මාර්ගය නොච්චියාගම, විලච්චිය, සිලාවතුර හරහා මන්නාරම දක්වා විහි දී ඇත. එහි දිග කිලෝමීටර් 150 කි. කිලෝමීටර් 30 ක වැඩි වන දුර ප්‍රමාණය වෙනුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය දෙකඩ කර විනාශ කිරීම යුක්ති සාධාරණ ද යන්න සිතා බැලිය යුතු ය.

සජීව චාමිකර


advertistmentadvertistment