විශ්ව ශක්තියෙන් රෝග සුවකළ හැකි ද?

391

මේ වර්තමානයේ මනුෂ්‍යයන් අතරට විවිධ දෘෂ්ටි ඇතුළු වෙමින් තිබේ. මෙම දෘෂ්ටි අතර “විශ්ව ශක්තිය” යනුවෙන් හදාගත්, මිනිසුන් සම්බන්ධ කරන ක්‍රමවේදයක් අප රටේ කලක පටන් පවතී. මොකක්ද මේ හතු පිපෙන්නාක් මෙන් මතුවන විශ්ව ශක්තිය කියා අපි බුද්ධිමත් අනාවරණයකට එක්වෙමු.

විද්‍යාඥයෝ ග්‍රහ තාරකාවන්ගෙන් විහිදෙන කෝටි සංඛ්‍යාත විශ්ව ශක්ති බයෝ තාක්‍ෂණයෙන් හඳුනාගෙන කෝටි සංඛ්‍යාත කෙමිකල් වර්ග නිපදවයි. විවිධ රසායනික නිපදවමින් රටට වැඩදායක තත්ත්වයක් නිර්මාණය කරයි. එසේම අහිතකර දේවලුත් ඇති කරයි. එයටත් වඩා වැදගත්ම දේ වන්නේ ඔවුන් මේ විශ්ව ශක්ති උපයෝගි කරගෙන ස්මාට්ෆොන් එකේ සිට ඩිජිටල් ලෝකයක් නිර්මාණය කිරීමයි.

එක් පැත්තකින් බයෝ තාක්‍ෂණය විද්‍යාගාර ඔස්සේ රටට එවැනි විශ්ව ශක්ති ක්‍රියාත්මක වෙද්දී, විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුවකරන තත්ත්වයේ ඇත්ත නැත්ත ගැන අපි මෙසේ විමසුම් කරමු. මේ සඳහා විශ්ව ශක්තියෙන් ලෙඩ රෝග සුවකරන ස්ථාන ගණනාවකට මම ගියෙමි. මට අවශ්‍ය වූයේ යම් රෝග පීඩා ඇති අයෙක් සමඟ මේ ස්ථානවලට ගොස් ඥානාන්විත විමසුමක් කිරීමටයි. මේ එවැනි අවස්ථාවකි.

මේ විශ්ව ශක්ති වෙදැදුරු ළඟට මම ගියේ දැන් ටික කලකට පෙර පාදවල අමාරුවක් ඇතිවූ කෙනකු සමග ය. ඔහුගේ දෑත්වල අල්ල රෝගියාට යොමුකළේ රෝගියාගේ කුස පැත්තටය. ටික වේලාවකින් ඔහු මෙසේ කීවේය. “මහත්තයට මතුරපු යමක් කන්න දීල තියෙනවා. ඒකෙන් තමයි මේ ලෙඩේ එන්නේ. අමනුෂ්‍යයෙක් කුස ඇතුළෙ ඉන්නවා. ඔහු කකුල්වලට බහිනවා. එතකොට ඔබට මේ අසනීපෙ එනවා.”

ඔහු යළිත් දෑත් කුසට අල්ලා මෙසේ විධානයක් කළේය. “කවුද ඔය කුස ඇතුළෙ ඉන්නේ, නම කියන්න කියමින් ත්‍රිශූලයක් බඩට ඇල්ලීය. විශ්ව ශක්තිය ගන්න ත්‍රිශූලයක් පාවිච්චි කරනවා කියා මට දැනුණු හෙයින් යම් හෝඩුවාවක් මගේ මනසට කාන්දු විය. “මහත්තයලෑ කවුරු හරි ළඟකදි මිය ගියා ද? ඔහු ඇසුවේය. “අපේ නැන්ද කෙනෙක් හිටියා. එයානම් මළා. එයා ටිකක් මා එක්ක විරසකයි.” මා සමග ගිය කෙනා කීවේය. “හරියට හරි එයා තමයි ඉන්නෙ. වෙන කවුරුවත් නෙමෙයි කියමින් ඔහු විශ්ව ශක්තිය දෑත්වලින් කුසට අල්ලා යළි ත්‍රිශූලය කුසට ගෑවෙන්න සලස්වා මෙලෙස කීවේය. “ඇයි උඹ මේ කුස තුළ ඉන්නේ. ඔහු එසේ අසා යළි රෝගියා දෙස බැලුවේය. එයා කියනවා ඒ කුසට දුන් දේ ජීවම් කරන කොට තමන් ඒකට ඇදිල ඇවිත් බැඳුණා කියලා. යළිත් ඔහු දෑත් විශ්ව ශක්ති කුසට අල්ලා මෙසේ කීවේය. තමුන් මෙතැනින් දැන් පිටවෙන්න ඕනෑ කියා මොහොතකින් ඔහු රෝගියාට මෙසේ කීවේය.

“මහත්තයා එයා කියනවා තමන්ට ගැලවිලා යන්න ඕනෑලු. නමුත් ගැලවෙන්න බැරි තරමට බැඳිලාලු ඉන්නේ. මේක ලොකු ප්‍රශ්නයක් මහත්තයා. මෙයා යවන්න විශාල කැපවීමක් කරන්න වෙනවා. මගේ රෝගියා බලාපොරාත්තු සුන්වූවා සේ කොහොමද වෙදමහත්තයා කරන්නෙ මේක.”

“මේ වැඩේ කරන්න මට පුළුවන්. ඒකට අවශ්‍ය බඩුවලට විසිදාහක් විතර යනවා. මගේ ගාස්තුව පනහයි. හැබැයි මේක එක දවසෙන් ඉවර කරන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් එහෙම වුණොත් දවස් දෙක තුනක් තව එන්න සිදුවෙයි. ඒ හැම දවසකම මෙතැනට එන සෙනඟගෙ වැඩ නොකර මහත්තයගෙ වැඩේමයි කරන්න වෙන්නේ. එතකොට මම තිහක් අයකරනවා. එක දවසකට. “හරි හරි මහත්තයා අපි වැඩේ කරමු කියා රෝගියා මට ඇසක් හීන්කර පැවසුවේය. විශ්ව ශක්තියෙන් රෝග සුවකරන ස්ථානයක ස්වභාවය එයයි. එතැනට අපි ගිය දා පොලිස් සේවයෙන් විශ්‍රාම ගිය කෙනෙක් ද පැමිණ සිටි අතර තොරතුරු කතාකරමින් අපි ටික වෙලාවක් සිටි නිසා මම ඔහුගේ දුරකථන අංකය ද ලබා ගතිමි.

මේ සිදුවීමෙන් පසු මගේ දැනුම අවදිකර මෙම “විශ්ව ශක්තිය” කුමක්දැයි විමසුම් කළෙමි. ඒ අනුව මට හැඟී ගියේ මේ විශ්ව ශක්ති වෙද මහතාගේ ඥාතියෙක් මහත් පිං දහම් කර පන්සිල් නොරැක සිටි කෙනෙකි. ඔහු මියගොස් “වේමානික” ප්‍රේත කුලයක උපත ලබා ඇත. වේමානික ප්‍රේත වූයේ සුගති ආත්මයක් ලැබීමට සීලය ඔහුට නොතිබුණ නිසාය. නමුත් යම් බලයක් ඔවුන්ට ඇත. ඒ මතුරපු දෙයක් තමන්ට කැවී ඇති බව නම් සත්‍යකැයි මගේ මිතුරා ද මට කීවේය.

මේ වේමානික ප්‍රේත ආත්මයට පිං බල තිබුණ නිසා කිසියම් ශක්ති කදම්බ ඔහුට පිහිටා තිබේ. මේ වෙද මහතාට ඔහුගේ ආකර්ෂණය ලැබෙන්නේය. ඒ ආකර්ෂණය ඔහුගේ අත්ල හා ඇඟිලිවලින් රෝගියාගේ ඇඟට ස්පර්ශ කර එම තත්ත්වය වෙද මහතාට කනට කියයි. මේ කනට කියන ස්වභාවය “කර්ණමූඪ” ශාස්ත්‍රය ලෙස ගුප්ත විද්‍යාවේ හඳුන්වයි.

මීට පෙර වෙතත් රෝගියෙක් සමඟ වෙනත් තැනකට මම ගියෙමි. එහිදී කළේ ඔහුගේ අතක තිබුණ රෝග පීඩාවකට “විශ්ව ශක්තියෙන්” ප්‍රතිකාර කිරීමය. ඔහුට සුවය ලැබිණ. නමුත් දින කීපයකින් නැවතත් අසනීපය මතුවී ආවේය. නැවතත් ඔහු ඒ ස්ථානයට ගොස් යළි විශ්ව ශක්ති ප්‍රතිකාරය කර නැවතත් සුවකර ගත් නමුත් යළිත් දින කීපයකින් මතුවිය.

මෙසේ තාවකාලික සුවය ලැබෙන්නේ ඒ වෙද මහතාට සම්බන්ධ ඥාතියාගේ තිබූ ගුණ දහම් සහිත කුසල් බලය අනුවය. විශ්ව ශක්තියෙන් රෝග සුවකිරීමේ ස්වභාවය මියගිය ඥාතියකුගේ බලයක් මිස වෙනත් දෙයක් නොවේ. මම එදා හිටපු පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා ගත් දුරකථන අංකයට කතාකර එදා ඔබට විශ්ව ශක්තියෙන් නිවැරදිව යමක් ලැබුණේ දැයි විමසුවෙමි. ඔහු මට කීවේ මෙවන් දෙයකි. “මහත්තයා මට යම් ආකාරයක සත්‍යයක් කීවත් ඒකට අදාළව කටයුතු කරන එකනම් එයා මුදල් හම්බකරන මගක් මිස වෙන සිදුවන දෙයක් නෑ.” යනුවෙනි.

එවිට මට සිතුනේත් මා සමග ගිය හිතවතාගේ පාද රෝගයටත් ඒ කියූ ආකාරයේ බාධකයක් ඇත්නම් ඒ කියූ මුදල් ගෙවා එය ඔහුට කරගත නොහැක්කක් බවයි. මුලින් ගිය විශ්ව ශක්ති ස්ථානයෙන් අතක තිබූ අසනීපය සුව වුණත් යළි එය හටගත්තේය. මේ අන්දමට දෙවන හිතවතා ද විශාල මුදලක් ගෙවා රෝගය සුවකර ගත්තත් යළි ඒ රෝගය පැමිණීමේ ඉඩකඩ තිබේ. එවැනි තත්ත්වයක් මේ “විශ්ව ශක්ති” ප්‍රතිකාර වල දක්නට ඇත. විශ්ව ශක්ති ලෙස මේ තැන්වල ඇත්තේ මියගිය ඥාතියකු හරහා ඇදී එන අවබලයකි. සැබෑ ලෙස විශ්ව ශක්ති ලබාගන්නේ විද්‍යාගාරවල සිට විද්‍යාඥයන් පමණි. සිල්වත්- ශ්‍රද්ධාව – ධර්මාවබෝධය – දන්දෙන – භාවනා වඩන අය තුළත් විශ්ව ශක්ති උපදී. ඒවා මියගිය ඥාතීන්ගෙන් එන ශක්තිවලට වඩා බලවත්ය.

විශ්ව ශක්තියෙන් රෝග සුවකළ හැකි ද?

ජ්‍යොතිෂවේදී අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය අසල, අගලවත්ත.
දු.ක.-071-2154253

advertistmentadvertistment
advertistmentadvertistment