ඔබේ උරුම රැකියාව පෙන්වන කේන්ද්‍රයේ දසවැන්න..

1201

කුඩා කල සිටම කවරෙකුගේ වුවද අපේක්ෂාව වන්නේ වැඩිහිටියෙකු වූ පසුව සැපවත් ජීවිතයක් ගත කිරීමයි. ඒ සඳහා උසස් රැකියාවක් සිදු කළ යුතු යැයි විශ්වාස කරන අතර, කුඩා කල සිටම අධ්‍යාපනය ලබමින් වෙහෙසෙන්නේ ද, දෙමාපියන් තම දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදීමට බොහෝ කැපකිරීම් කරන්නේද ඒ අරමුණ වෙනුවෙනි. දෙමවුපියන්ගේ ඒකායන අපේක්ෂාවද තම දරුවාට උසස් රැකියාවක් හිමි කර දීමයි. මේ අනුව පුද්ගලයෙකුගේ රැකියාව හෙවත් වෘත්තීය මට්ටම තුළ ඔහුගේ ජීවිතය ආලෝකවත් වන අතර ඒ මත ජීවිතයේ සියලු අනාගත අපේක්ෂාවන්ද තීරණය වේ. පුද්ගලයෙකුගේ ජන්ම කේන්ද්‍රය මැනවින් විමර්ශනය කිරීම තුළින් ඔහුට හිමිවන රැකියා ක්ෂේත්‍රය කවරක්දැයි කල් ඇතිව හඳුනාගත හැකිය.

ජන්මියෙකුට රජයේ රැකියාවක් සඳහා බලය ලැබෙන්නේ රවිගෙනි. රවි ආත්ම කාරක ග්‍රහයා මෙන්ම රජයට සම්බන්ධ ග්‍රහයාද වෙයි. රවිගේ බලය, ඔහු හා බැඳුණු උසස් ග්‍රහ සංයෝග හා ග්‍රහ දෘෂ්ටි දෙස අවධානය යොමු කිරීමෙන් රජයේ රැකියාවකට ඇති අවස්ථා පිළිබඳ තීරණය කළ හැකිය.

10 අධිපතියා උච්ච හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටීම හෝ 10 වැන්නේ වෙනත් ග්‍රහයෙකු උච්චව සිටීම හා ශුභ දෘෂ්ටි ලැබීම ද, කේන්ද්‍රගත හෝ ත්‍රිකෝණගතව සිටින 10 අධිපතියාගේ බලවත් දෘෂ්ටියකට හසුවීමද රවි බුධ සංයෝගය කේන්ද්‍රගතව හෝ ත්‍රිකෝණගතව යෙදී 10 වැන්නට දෘෂ්ටි ලැබීමද, රවි බුධ සංයෝගයට ගුරු සම්බන්ධ වීමද රාජ්‍ය අංශයේ රැකියා හිමිවීමට ඉවහල් වේ. එම ග්‍රහ සංයෝග පිහිටි රාශ්‍යාධිපති හා ඊට දෘෂ්ටි ලබා දුන් ග්‍රහයන් සැලකිල්ලට ගැනීමෙන් රැකියා ක්ෂේත්‍රය තීරණය කළ හැකිය. රවි, ගුරු, කුජ සහ රවි, බුධ, ගුරු ආදී ග්‍රහ සංයෝග 10 වැන්නේ නම් ස්ථිර රජයේ රැකියාවක් ස්ථිරය. 2 වැන්න වෘෂභ හෝ කටක රාශියක් වී චන්ද්‍රයා එහි සිටීමත් 2 වැන්න ධනු, මීන යන රාශියක් වී ගුරු එහි සිටීමත් රජයේ සේවයට ඉවහල් වන සුබදායි ග්‍රහ පිහිටීම් වේ.

ස්ත්‍රී ග්‍රහයෙකු මෙන්ම ජලීය ග්‍රහයෙකු වන චන්ද්‍රයා 10 වැන්නේ යෙදීමෙන් ජලයට සම්බන්ධ රැකියාවක් උරුම වේ. චන්ද්‍රයා බලවත්ව සිකුරුගේ සුබ දෘෂ්ටි සහිතව සිටින්නේ නම් සිසිල් බීම ආදිය සම්බන්ධ රැකියාවක් හිමි වේ. චන්ද්‍රයා කුජ සමග සංයෝග වීමෙන් හෝ දෘෂ්ටි ලැබීමෙන් නාවික හමුදාව වැනි අංශයකට යොමු විය හැකිය. 10 වැන්නේ සිටින චන්ද්‍රයාට සෙනසුරු හෝ රාහුගේ සංයෝගයක් ලැබී ඇත්නම් නම් මත්ද්‍රව්‍ය සම්බන්ධ රැකියාවලට උරුමකම් හිමිවන අතර රවි සිකුරු ද සංයෝග වුයේ නම් ඒ ආශ්‍රිත රාත්‍රී සමාජ ශාලාවක සේවය කිරීමේ අංශයකට යොමු වීමේ ප්‍රවණතාව වැඩිය. චන්ද්‍රයා සිකුරු හා රාහු සමග සංයෝගව 4 වැන්නේ දුර්වලව සිටී නම් ජන්මියා ගණිකා මඩම් වැනි කටයුතුවලින් ධනය රැස් කරන්නෙක් වේ. චන්ද්‍රයා ආහාර පාන වලටද සමීප සම්බන්ධයක් ඇති ග්‍රහයෙකු බැවින් ධනස්ථානාධිපති ග්‍රහයාගේ යම් සම්බන්ධයක් වේ නම් එම අය ඒ ආශ්‍රිත රැකියාවක නිරත විය හැකිය. චන්ද්‍රයා සිකුරු වැනි තවත් ස්ත්‍රී ග්‍රහයකුගේ බලපෑම ලැබූ විට ජන්මියා වඩාත් ස්ත්‍රීන් හා සම්බන්ධ රැකියාවක නිරත විය හැකිය. චන්ද්‍රයා බලවත්ව රවි, ගුරු, ආදීන් හා සම්බන්ධ නම් තානාපති තනතුරු වැනි උසස් තනතුරු ලැබීමටද වාසනාව ඇත.

ගුරු 10 වැන්නේ සිටීම මිල මුදල් සම්බන්ධ උසස් ආයතන වල රැකියා හිමිවීමට හේතු වේ. ගුරු 10 වැන්නේ සිටින්නන්ට සමාජයේ ගෞරවය නිතැතින්ම හිමි වෙයි. තමන් යටතේ වැඩ කරන්නන්ගේ සිත් දිනාගෙන කටයුතු කිරීමටද ඔවුන් දක්ෂය. පාප දෘෂ්ටි නොලබා ගුරු 10 වැන්නේ සිටීමෙන් ගුරු සේවය වැනි බොහෝ දෙනාගේ ගරු සරු ලැබිය හැකි කාර්යයන් රැකියාව ලෙස ලැබෙයි. තිබෙන රැකියාවෙන් ක්‍රම ක්‍රමයෙන් උසස් වීමටද වාසනාව ඇත. රාහු 10 වැන්නේ සිටී නම් විප්ලවවාදී දේවලට සිත යොමුවේ. විදේශගත රැකියාවලටද හිමිකම් ඇත. එසේම තැනින් තැන සංචාරය කරමින් කරන රැකියා ක්ෂේත්‍ර නිලධාරි, අලෙවි නියෝජිතයන් ආදී රැකියාවන් හිමිවේ. කේතු 10 වැන්නේ නම් ඥානය වෙහෙසවා කරන කාර්යයන් සඳහා ඉතා යහපත්ය. ලිපිකරුවන්, ගුරුවරුන් ලේඛකයන් ආදී අය 10 වැන්නේ කේතු සිටීමෙන් බිහි වේ.

කුජ 10 වැන්නේ තැන්පත් අය බොහෝ විට ආරක්ෂක අංශයට අයත් රැකියාවල නිරත වන්නේය. සුබ සංයෝග හෝ සුබ දෘෂ්ටි සහිතව කුජ සිටීමෙන් ආරක්ෂක අංශයේ උසස් තනතුරුවලට පත් විය හැකිය. කුජ අසුබ ලෙස පිහිටා ඇත්නම් පාතාල නායකයෙකු බිහි කරයි. කුජ කෙසේ හෝ තම අරමුණ ජය ගැනීමට අප්‍රතිහත ධෛර්යක් ජන්මියා තුළ ඇති කරයි. සිකුරු ලග්නාධිපති වී 10 වැන්නාධිපති සමග බලවත්ව 10 වැන්නේ සිටීම ඉතා සුන්දර කලා නිර්මාණ බිහි කරන රැකියාවලට හිමිකම පෙන්වයි. ඊට කුජගේද සහාය ලැබුණේ නම් කාර්යය අතරමග නතර නොකර අලසකමින් තොරව අවසානය දක්වාම කර ගෙන යාමේ ශක්තිය හිමි වෙයි.

සෙනසුරු 10 වැන්නේ නම් හෝ 10 වැන්න සෙනසුරුගේ රාශියක් වී එයට සෙනසුරුගේ දෘෂ්ටිය ලැබේ නම් දහදිය මහන්සියෙන් කටයුතු කරන රැකියාවක් උරුම වේ. වෛද්‍ය වෘත්තිය හෝ ඖෂධවේදී තනතුරු වැනි අංශ සඳහා ද මෙම පිහිටීම් ඉවහල් වේ. මේ සඳහා කුජගේ සම්බන්ධතාවක් ඇති වූයේ නම් ඉංජිනේරු වෘත්තීන්ට යොමු වීමටද පුළුවන.

2 වැන්න මිථුන, කන්‍යා රාශියක් වී එහි ශුභ දෘෂ්ටි සහිතව රවි, බුධ, යෝගය, රවි, ගුරු යෝගය යෙදීම ලේඛන කලාව සම්බන්ධ රැකියාවක් පෙන්නුම් කරයි. 10 වැන්නාධිපති 10 බලවත් නම් ගුරු වෘත්තියද යෝග කාරක ග්‍රහයන් 4 දෙනකු රවි හෝ සඳු සමඟ කේන්ද්‍රයේ යෝග වීමෙන් රජයේ රැකියාවක්ද පෙන්නුම් කරයි. 10 වැන්නාධිපති සෙනසුරු සමඟ යෝග වූ විට කම්කරුවන් ආශ්‍රිත කය වෙහෙස, කරනු ලබන රැකියාවක් හිමි වන අතර 10 අධිපති රාහු සමඟ යෝග වූ විට අයුතු මාර්ගවලින් ධනය උපයනු ලබයි.

කේන්ද්‍රයේ 2 වැන්න කටක හෝ වෘෂභ රාශියක් වී සඳු යහපත්ව පිහිටා ඇත්නම් ගුරු වෘත්තීය වැනි අවවාද අනුශාසනා කරන වෘත්තීයකට හෝ ඒ සමාන වෘත්තියකට හිමිකම ඇත. එහිදි රවි ගුරු බලවත්ව 10 වැන්නේ හෝ දසවැන්නට දෘෂ්ටි හෙලයි නම් කථිකාචාර්ය, මහාචාර්ය වැනි ගරු නම්බු සහිත උසස් වෘත්තියකට හිමිකම ලැබේ. දක්ෂ ලේඛකයන් ද වේ. 2 වැන්න බුධ හිමි රාශියක් වී රවි බුධ එහි යෝග වීමෙන් හා රවි ගුරු යෝගය යෙදීමෙන් එම බලය තවදුරටත් වර්ධනය කරයි. රවි බලවත් නම් තම ක්ෂේත්‍රයේ ප්‍රධානියෙකු වීමට හැකියාව ලැබේ. වෘෂභ හෝ තුලා ලග්නය වී සිකුරු බලවත්ව 10 වැන්න අධිපතියා සමඟ සිටී නම් කලා අංශයට යොමු වේ. තුලා ලග්න හිමියන්ගේ බුධ ග්‍රහයා බලවත් නම් ව්‍යාපාර ආශ්‍රිත රැකියාවලට යහපත්ය. සිංහ හෝ කුම්භ ලග්නය වී බුධ සමඟ සඳු 10 වැන්නේ හෝ ලග්නයේ හෝ 10 වැන්න සමඟ බලවත්ව සංයෝග වී නම් පොළොවට සම්බන්ධ ව්‍යාපාරවලින් දියුණු වීමට පුළුවන.

ඔබේ උරුම රැකියාව පෙන්වන කේන්ද්‍රයේ දසවැන්න..

ජ්‍යොතිෂවේදී,අ වාස්තු විද්‍යා උපදේශක
විදුහල්පති දේශමාන්‍ය දේශබන්දු ආචාර්ය කපිල ඉන්ද්‍රික ගුණදාස
මාලිබොඩ දැරණියගල. 076 8248000

advertistmentadvertistment
advertistmentadvertistment