වෙන්නප්පුව සහ දංකොටුවේ තෙල් පෝලිම්වල 2ක් මැරී වැටෙති

271

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (10 දා) සහ පෙරේදා (09 දා) මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ කොච්චිකඬේ දළුවකොටුව පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු සහ දංකොටුව ගෝනවිල පදිංචි 47 හැවිරිදි අයෙකි.

වෙන්නප්පුව පොලිස් වසමට අයත් තඹරවිල ඉන්ධන පිරවුම්හලෙන් ඊයේ (01 දා) උදෑසන 7.00ට පමණ මෝටර් රථයකට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු ඉන්ධන ලබාගැනීමෙන් පසු රථයේ ටයරකයට අවශ්‍ය හුළං ලබා ගැනීම සඳහා අදාළ ස්ථානයේ නැවැත්වීමෙන් අනතුරුව මෝටර්රථය තුළම මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොච්චිකඬේ දළුවකොටුව තක්කියාපාර යන ලිපිනයේ පදිංචි 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් මුහම්මදු ජසීම් නමැති පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

මෝටර්රථයට අවශ්‍ය හුළං ලබා ගැනීම සඳහා අදාළ ස්ථානයේ නැවැත්වීමෙන් පසු පිරවුම්හලේ සේවකයකු පැමිණ මෝටර්රථයේ සිට මෙම පුද්ගලයාට කතා කළත් එම පුද්ගලයා කථා නොකිරීම නිසා සුවසැරිය ගිලන් රථයකට දන්වා ඇත. එය පැමිණ පරීක්‍ෂා කිරීමේදී ඔහු මියගොස් සිටි බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

දංකොටුව ඉන්ධන පෝලිමේදී පෙරේදා (09දා) මියගිය පුද්ගලයා දින ගණනක සිට තම වාහනයට ඞීසල් ලබාගත නොහැකිව මහත් සිත් වේදනාවට පත්ව සිට ඇත.

ප්ලාස්ටික් බූලියක් ද අතැතිව දංකොටුව ඉන්ධන පෝලිමේ සිටියදී පෙරේදා (09 දා) රාත‍්‍රි 7.30ට පමණ ඇදවැටී මියගොස් ඇතැයි දංකොටුව පොලිසිය කියයි.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා ඇත්තේ දංකොටුව පොලිස් වසමේ අංක 306 ගෝනවිල ලිපිනයේ පදිංචිව සිටි දෙදරු පියකු වන අයි. ඇම්. චින්තක අබේරත්න නමැති 47 හැවිරිදි අයෙකි.

ඉන්ධන පෝලිමේ සිටියදී එක්වරම ඇදවැටී ඇති මොහු එම ස්ථානයේ සිටි පිරිසක් විසින් වහා මාරවිල රෝහලට රැුගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගිය අයගේ දේහය මේ වන විට මාරවිල රෝහලේ තැන්පත් කර ඇති අතර ඊයේ (10දා) සවස මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

සඳලංකාව-ධම්මික රාජපක්‍ෂ සහ කිරිමැටියාන-ඇන්ටනි රෝස්
 


advertistmentadvertistment