කුවේටයේදී වෙඩි කෑ ශ්‍රී ලාංකිකයා එරට තානාපති කාර්යාලයට රැගෙන එයි

199

කුවේට් රාජ්‍යයේ ආහාර ඇණවුම් බෙදාහැරීමේ නිරත වී සිටි සාගර ලක්ෂ්මන් එරට නිවැසියෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව, ඔහුගේ ජීවිත ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ඔහු මේ වනවිට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙනවිත් ඇති බව එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර මහතා ඊයේ (26දා) පැවසීය.

කේ. පී. සාගර ලක්ෂ්මන් 44 හැවිරිදි වියේ පසුවන රාජාංගනය යාය 11 ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

ඔහු කුවේට් රාජ්‍යයේ ප්‍රසිද්ධ අවන්හලක ආහාර නිවෙස් කරා ප්‍රවාහනය කරන වෘත්තීයක නියැළී සිටි අතර, ඉකුත් 2024 ජනවාරි මස 10 දින අලුයම 04.00 ට පමණ සිය ආහාර ඇනවුම ප්‍රමාද වූවා යැයි උරණ වූ කුවේට් ජාතිකයෙකු විසින් සාගර ලක්ෂ්මන්ට වෙඩි තබා තිබුණි.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ පිළිබඳ එරට අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක දී එසේ වෙඩි තැබූ කුවේට් ජාතිකයා හඳුනා ගෙන තිබූ අතර, ඔහු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද එහෙත් තවදුරටත් සාගර ලක්ෂ්මන් එරට විවෘත පරිසරයක වාසය කිරීම, ඔහුගේ ජීවිතය අවදානමකට ලක් විය හැකි බැවින් ඉකුත් 02/19 දින සිට ඔහු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ වාසය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ජනක සමරසේකර මහතා පැවසීය .

මේ පිළිබඳ නඩු විභාගය කඩිනමින් අවසන් කර, සාගර ලක්ෂ්මන්ට මෙම අනතුර සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දී, ඉක්මනින් ශ්‍රී ලංකාවට එවීම සඳහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම් මහතාගේ අධීක්ෂණය යටතේ තෙවන ලේකම් ජනක සමරසේකර සහ භාෂා පරිවර්තක අමීර් හසන් යන මහත්වරුන් පියවර ගනිමින් සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment