ශ්‍රී දළදා මාලිගාව හා මහජන බැංකුව එක්ව සමාජ සත්කාරක මෙහෙවරක් ලෙසින් ‘බෞද්ධ සුබසාධන අරමුදල’ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන පසුගියදා දියත් කරන ලදි.

මෙහි සමාරම්භය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, මහජන බැංකුව ප්‍රධාන කාර්යාලයේදි පසුගියදා සිදුකෙරිණි.

මෙහිදි මෙම වැඩපිළිවෙළ ආරම්භ කරමින් මහජන බැංකුව විසින් ‘බෞද්ධ සුබසාධන අරමුදල’ වෙත පරිත්‍යාගයක් සිදුකළ අතර, සිසු දරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමිමද සිදුවිය..

මෙහි නව වැඩපිළිවෙල 2024 මැයි මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර, එමඟින් දැනට ලැබෙන ප්‍රතිලාභ වැඩි කර අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන්ට ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂිතය. ඒ අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බොහෝමයක් අතරින්, එක් කොට්ඨාශයකින් සිසු සිසුවියන් 10 බැගින් තෝරාගනිමින් දියත් කරන මෙම වැඩසටහන තුළින් 6-11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2000කට මාසිකව ශිෂ්‍යත්ව පිරිනැමෙයි. එසේ වසර පහක් තුළ සිසු සිසුවියන් 10000කට පමණ ශිෂ්‍යත්ව පිරිනැමිම මෙහි අරමුණයි. මෙම වැඩපිළිවෙලේ පළමු අදියර ලෙස මහජන බැංකුව සහ එහි කාර්ය මණ්ඩලය මේ අරමුදල සඳහා දායකත්වය පිරිනමයි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) මංජුල දිසානායක, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තවෙල, ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල යන මහත්වරුන් ඇතුළු මහජන බැංකුවේ සහ ශ්‍රී දළදා මාලිගාවේ නිලධාරින් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment